මහා පරිමාන හෙරොයින් ජාවාරමට ‘කුඩුසාදුවෙකු’ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

මහා පරිමාන හෙරොයින් ජාවාරමට ‘කුඩුසාදුවෙකු’ ඇතුළු පිරිසක් අත්අඩංගුවට


මහා පරිමාන හෙරොයින් ජාවාරමට ‘කුඩුසාදුවෙකු’ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

(01.11.2023 – 19:10 +0530 – lankacnews.com ඇසුරෙන්)

බහුදින යාත්‍රාවක ප‍්‍රධානි වශයෙන් කටයුතු කරමින් මහා පරිමානයේ හෙරොයින් ජාවාරමේ නිරත විම හා ඊට අනුබල දීම යන චෝදනා යටතේ චීවරධාරියෙකු (‘කුඩුසාදුවෙකු’), කාන්තාවක් සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) ඇතුළු සිව් (04) දෙනෙකු අද (01) සවස ගාල්ල, තවලම පිහිටි ඕපාත පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් හෙට (02) ගාල්ල, උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ‘නො. 45/10, සුභද්‍රාරාම පාර, බළපිටිය’ ලිපිනයේ පදිංචි ‘කළුදුර චමින්ද තාබ්‍රේව්’ (43) නොහොත් ‘බළපිටියේ බොබ්මාලි’, ‘නො. 337/5, කැන්දලියද්ද පාලුව, ගණේමුල්ල’ ලිපිනයේ පදිංචි ‘වෙන්ගප්පුලි විදානච්චිගේ සුජානි කුමාරි වික්‍රමරත්ත’ (37), ‘නො. 99/1, ‘රංගිරි’, බුද්දගයා, වීරපාන’ ලිපිනයේ පදිංචි ‘මහේන්ද්‍ර රණසිංහ’ සහ ‘ශ්‍රී බෝධිරාජාරාමය, බතලහේනවත්ත, ගෝනවල, කැළණිය’ ලිපිනයේ පදිංචි ‘වීරපානේ සීලසුමන’ (27) යන සිව් (4) දෙනාය.

ඉහත සිව්වන (04) සැකකරු වන වීරපානේ සීලසුමන ‘කුඩුසාදු’ ගිහිකල ජීවත්ව සිටි නිවසේ සැකකරුවන් රැඳී සිටියදී ලද තොරතුරක් මත ඔපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දහවල් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පලාගොස් තිබේ. පසුව පොලීසිය විසින් ඔවුන් ලුහුබැඳ ගොස් වීරපාන, ඕපාත කදු සහිත කැළෑබද ප්‍රදේශයකදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙහි පළමු සැකකරු, 2021 අගෝස්තු 31 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් බේරුවල වෙරළ තීරයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 228 යි ග්‍රෑම් 644 ක් ප්‍රවාහනය කරන ලද බහුදින යාත්‍රාවේ ‘ස්කිපර්’ (skipper) වශයෙන් කටයුතු කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබුණි. ඔහු සන්තකයේ තිබී එම අවස්ථාවේදී හෙරෙයින් ග්‍රෑම් 100 ක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් වූ නඩුව කොළඔ, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ බී – 55635/1 යටතේ විභාග වෙමින් තිබෙන බවද ඕපාත පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙම සැකකරුවන් මෑතකදි නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද මහා පරිමාන හෙරෙයින් ජාවාරමට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

ජයකාන්ත ලියනගේ


රත්ගම හෝටලයක නවාතැන් ගත් විදේශිකයන් දෙදෙනෙකුගේ දේපල සොරාගනී

(01.11.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තයේ වර්ධනය රටේ ප්‍රගමනයට අත්‍යාවශ්‍ය කරුණක්.

කෙසේ වෙතත් දිවයිනට පැමිණෙන සංචාරකයින්ට සහ ඔවුන්ගේ දේපලවලට නිසි ආරක්ෂාවක් ලබා දීම ඒ සඳහා අත්‍යාවශ්‍ය වන්නේ ඇතැම් සිදුවීම් මෙරට සංචාරක කර්මාන්තයට මෙන්ම රටේ කීර්තියට ද දැඩි බලපෑම් එල්ල කරන නිසාවෙන්.

මීට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ගාල්ල – බූස්ස ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනයකින්.

බ්‍රිතාන්‍යයේ රෝහලක සේවය කරන කාන්තාවන් දෙදෙනෙකු (2) පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර ඔවුන් ගාල්ල සහ හික්කඩුව අවට සංචාරය කර ඊයේ (31) රාත්‍රියේ නවාතැන් ගෙන තිබුනේ අදාළ සංචාරක නිකේතනය තුලයි.

කෙසේ වෙතත්, දොර අගුලු කඩා ඊට ඇතුලු වූ අයෙකු එහි තිබූ මුදල්, ඔරලෝසු සහ රන් ආභරණ සියල්ල සොරකම් කර පලාගොස් තිබුණා.

මෙම විදේශීය කාන්තාවන් දෙදෙනා (2) ප්‍රකාශ කර තිබුණේ තම ගමන් බෑගයන් අසල මුහුදු වෙරළේ තිබී පසුව සොයා ගත් බවයි.

එසේම, අදාළ සංචාරක නිකේතනයේ භාරකරුවන්ගෙන් තමන් මුහුණදුන් ගැටලුව සදහා නිසි විසදුමක් නොලැබුණු බව ප්‍රකාශ කර ඇති ඔවුන් ඒ පිළිබඳව රත්ගම පොලීසියට පැමිණිලි කර තිබුණා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රත්ගම පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රුපියල් ලක්ෂ 4 ක පමණ වටිනාකමින් යුත් විදේශීය මුදල් සහ ස්වර්ණාභරණ මෙලෙස සොරකම් කර ඇති බවයි.

මේ වනවිටත් ඊට අදාළ පරික්ෂණ ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ මෙම විදෙස් කාන්තාවන් දෙදෙනා (2) ශ්‍රී ලංකාවේ සංචාරය අවලංගු කර යලි බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට සූදානම්ව සිටින බවයි.

රටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවීම එතරම් සුබදායක කරුණක් නොවේ.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය සංචාරක පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ ප්‍රදේශයේ පොලීසියට සිදුකරන පැමිණිල්ලකින් විදේශිකයන් තෘප්තිමත් නොවේ නම් ඒ පිළිබදව සංචාරක පොලීසියේ ඕනෑම ඒකකයකටම පැමිණිලි කළ හැකි බවයි.

භාෂාව සම්බන්ධයෙන් ගැටලු පවතී නම් ඒ පිළිබදව ද නිසි මැදිහත් වීමක් සිදුකිරිමට සංචාරක පොලීසිය කටයුතු කරන බව ඔහු පැවසුවා.

මේ අතර, ඇල්ල සංචාරක කලාපයේ පිහිටි හෝටලයක ඊයේ (31) රාත්‍රීයේ සිදුවූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය වැල්ලවාය නගරයට ආසන්න ප්‍රදේශයක දමා ගොස් තිබියදී හමුවී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) ටී-56 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ එම වෙඩි තැබීමෙන් අදාළ හෝටලයේ සේවය කරමින් සිටි මීටියාගොඩ – දොමන්විල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවා ෴


දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළිවෙයි

(01.11.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala)

අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත යෙදූ පීඩනයක් මත සිදුව ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (01) ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය පිළිබඳව සොයා බැලීමට පත් කළ පංච (5) පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වාර්තාවෙන් අනාවරණය වූ තොරතුරු මත අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නිගමනයට පැමිණ තිබෙනවා.

+


විදෙස් රැකියා දෙන බව පවසමින් රට පුරා පුද්ගලයින් රැවටූ අයෙක් අත්අඩංගුවට

(01.11.2023 – 17:48 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රට පුරා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඔහු විවිධ ප්‍රදේශවලදී පුද්ගලයින් රැසක් රවටා විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුට එරෙහිව හලාවත, ගනේමුල්ල, වැලිකඩ, මීගොඩ, ආනමඩුව, කඩවත, පිළියන්දල සහ කුරුණෑගල යන පොලිස් ස්ථාන වෙත මෙවැනි වංචාකිරීම් සම්බන්ධ පැමිණිලි 14 ක් ලැබී තිබේ.

රුපියල් මිලියන 10 කට අධික මුදලක් සැකකරු විසින් මේ වනවිට වංචා කර ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම සැකකරුට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු 10 ක් නිකුත් කර ඇති බවද පොලීසිය පවසයි.

ඒ අනුව අදාළ සැකකරුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


තවත් සීනි බදු වංචාවක් අත ළඟ

(01.11.2023 – 20:43 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආනයනය කරන ලද සීනි තොගයක් වෙළෙදපොළට නිකුත් නොකර ගබඩා කර තැබීම සඳහා එම සීනි තොගය ආනයනය කරන ලද නමගිය සමාගම සූදානම් වන බව හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වී තිබෙනවා.

අදාළ සීනි තොගය අඩංගු නෞකාව මේ වන විට කොළඹ වරායේ නැංගුරම් දමා ඇති අතර, නෞකාවෙන් සීනි ගොඩ බෑමේ කටයුතු මන්දගාමිව සිදුවන බවයි වාර්තා වන්නේ.

නෞකාවේ සීනි මෙට්‍රික් ටොන් 18,000 ක් පමණ තිබෙන අතර, අදාළ සිනි තොගය වෙළඳපොළට නිකුත් කිරීම ප්‍රමාදකිරීමට ව්‍යාපාරිකයා කටයුතු සිදු කරමින් සිටිනවා.

එළැඹෙන අයවැය යෝජනාවලින් සිනි සඳහා අදාළ වන පරිදි පැනවීමට යෝජනා කර ඇති බද්දක් නිසා සිනි තොගය වෙළෙඳපොළට මුදා හැරීම මෙලෙස ප්‍රමාද කරන බවයි වාර්තා වන්නේ.

මිට පෙර රට තුළ සිදු වූ මහා පරිමාණ සිනි බදු වංචාවට වඩා වැඩි වංචාවකට මෙම සමාගම මෙලෙස සුදානම් වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සීනි තොගය ආනයනය කර ඇත්තේ ද මිට පෙර සීනි බදු වංචාවට නම කියැවුණු ආදාළ සමාගම විසින් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ ෴


‘හරක්කටා’ මුදාගැනීමට සැලසුම් හැදූ ‘මිදිගම චූටි’ගේ නිවස වටලයි

(01.11.2023 – 20:28 +0530 – hirunews.lk/sinhala)

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ප්‍රබල පාතාල කල්ලි නායක ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමට සැලසුම් කළ බව කියන ‘මිදිගම චූටි’ සහ ‘ඉබ්බාවල රුවන්’ නැමති පාතාල සාමාජිකයන්ගේ නිවෙස් පොලිසිය විසින් වටලා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම වැටලීම සිදු කර ඇත්තේ එම දෙපාර්තුමේන්තුවට ලද විශේෂ බුද්ධි තොරතුරකට අනුවයි.

ඒ අනුව විශේෂ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමට එක්ව තිබෙනවා.

‘මිදිගම චූටි’ දැනට ඉන්දියාවේ සැඟව සිටින බවටයි අනාරණය වී ඇත්තේ.

ඔහු විසින් ‘හරක්කටා’ මුදා ගැනීමේ සැලසුම් සඳහා මුදල් වියදම් කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට ‘මත්වන කිරි ටොෆි’ ලබා දීම සහ කමාන්ඩෝ බටයන් යොදවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ මෙහෙයුම ඔහුගේ සැලසුමක් බවද සඳහන්.

බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන ඇති තොරතුරුවලට අනුව ‘මිදිගම චූටි’ගේ නිවසේ ස්ථාන කිහිපයක් පොලිසිය හාරා ඇති අතර පොළව අභ්‍යන්තරය පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍රයක්ද ඊට යොදා ගැනුණා.

එසේම ‘මිදිගම චූටි’ගේ ගෝලයන් කිහිප දෙනෙකුද අත්අඩංගවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව ‘ඉබ්බාවල රුවන්’ නැමති පාතාල සාමාජිකයාද ‘මිදිගම චූටි’ගේ සමීපතයෙකු ලෙස සැලකෙන අතර ඔහු ‘හරක්කටා’ගේ ද ගෝලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ ෴


වාහන ආනයන ජාවාරමක නිරත වූ මධ්‍යම පළාතේ හිටපු ඇමතියෙකු අල්ලන්න විමර්ශන

(01.11.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස වාහන ආනයනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ මධ්‍යම පළාතේ හිටපු ඇමතියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඔහු විසින් ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නාරහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල සුපිරි මහල් නිවාස සංකීර්ණයක් තුළ සඟවා තිබියදී ‘වලාන මධ්‍යම දූෂණ මර්ධණ ප්‍රහාරක බලකාය’ විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

අදාල නිවස කොළඹ පිහිටි ප්‍රසිද්ධ වාහන ආනයනය කර බෙදා හරිනු ලබන ප්‍රදර්ශනාගාරයක කළමනාකරුවෙකුට අයත් වන අතර දත්ත වෙනස් කළ ජීප් රථයක් රුපියල් කෝටියක් (1,00,00,000) වැනි අඩු මුදලකට එහි අලෙවියට සූදානම් කර ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී තිබුණේ.

ඒ අනුව ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ’ බුද්ධි නිලධාරී රහසිගත තොරතුරු පරීක්ෂාවක නිරත වීමෙන් පසුව එහි විශේෂ පොලිස් කණ්ඩායමක් අදාල ස්ථානය වටලා සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ අදාළ සුඛෝපභෝගී ජීප් රථය හිටපු ඇමතියා විසින් ආනයනය කර ඇති බවයි.

එය මධ්‍යම පළාතේ වාහන ආනයනය කර බෙදා හරිනු ලබන ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙකු නමින් වර්තමානයේ ලියාපංචි කර ඇති බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

මහනුවර ප්‍රසිද්ධ නීතිඥවරියක් සහ විශේෂඥ වෛද්‍යවරයෙකු එය අලෙවි කිරීම සඳහා තමන්ට ලබා දුන් බවට සැකකරු පොලිසියට කරුණු අනාවරණය කළා.

අදාළ මෝටර් රථයේ ඇන්ජින් සහ චැසි අංක ව්‍යාජ ඒවා බවට හෙළි වී ඇති අතර ඒ අනුවයි හිටපු ඇමතියා සහ මෙම ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ෴


ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට (02) සංකේත වැඩ වර්ජනයක

(01.11.2023 – 19:12 +0530 – hirunews.lk/sinhala)

හෙට (02) දින ඌව පළාතේ වෛද්‍යවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම වැඩ වර්ජන පවත්වනු ලබන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බවයි සඳහන් වන්නේ ෴

++++++++

+


උඩරට දුම්රිය මාර්ගයේ සිදුවන්නට ගිය මහා අනතුරක් වැළකෙයි

(01.11.2023 – 23:25 +0530 – sinhala.adaderana.lk)

දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් අද (01) රාත්‍රී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වීමට තිබී ඇති අතර දුම්රිය මාර්ග පරීක්ෂකවරයෙකුගේ සැලකිලිමත්භාවය හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී තිබේ.

වාර්තාවන අන්දමට අදාළ ගස කඩාවැටීමට ආසන්න බව දුටු එම මාර්ග පරීක්ෂකවරයා මේ පිළිබඳව කඩිනමින් දෙමෝදර දුම්රිය ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබේ.

ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානය වෙත පිවිසීම සඳහා අදාළ සංඥා නිකුත් නොකිරීමට පියවර ගෙන ඇත.

අනතුරුව එම ස්ථානය පරීක්ෂා කිරීමට යන අවස්ථාවේ අදාළ ගස කඩාවැටී තිබේ.

මේ හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවී තිබේ.

පසුව පැය දෙකකට (2) ආසන්න කාලයක් එම දුම්රිය නවත්වා තැබීමෙන් අනතුරුව දුම්රිය මාර්ගයක් යථාතත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව කොළඹ බලා දුම්රිය ධාවනය කර ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *