කුලියාපිටියේ වොක්ස්වැගන් සමාගමට වාහන ඒකාධිකාරයක් … අති දැවැන්ත ලාබයක් හා බදු සහන …

කුලියාපිටියේ වොක්ස්වැගන් සමාගමට වාහන ඒකාධිකාරයක් … අති දැවැන්ත ලාබයක් හා බදු සහන …


කුලියාපිටියේ වොක්ස්වැගන් සමාගමට වාහන ඒකාධිකාරයක් … අති දැවැන්ත ලාබයක් හා බදු සහන …

(23.10.2023 – 15:50 +0530 – lankacnews.com)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ධූරයෙන් ඉවත්කර වෙනත් අමාත්‍යධූරයකට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම මගින්, එදා විපක්ෂය විසින් රඹුක්වැල්ල අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒම නිවැරදි බවත්, ආණ්ඩුව ඊට එරෙහි වෙමින් රඹුක්වැල්ල මහතාගේ සෞඛ්‍ය අමාත්‍යධූරය රැකගැනීමට ක්‍රියා කිරීම වරදක් බවත් ජනාධිපති වරයා විසින් තීරණය කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව ප්‍රකාශකර සිටියේ අද දින (23) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය :

ආණ්ඩුව වාහන ජාවාරමක

සාමාන්‍යයෙන් ලෝක ශූරයන් තමන්ගේ වාර්තාව තමන්ම අළුත් කරනවා. ඒ නිසාදෝ ජනාධිපතිතුමා විසින්ම මහ බැංකු වංචාවටත් වඩා දැවැන්ත වංචාවකට පාර කපන ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ලංකාවට විදුලි වාහනයක් ගෙන එන විට 100% ත් 200% ත් අතර බදු මුදලක් අය කරනවා. නමුත් ජනාධිපතිතුමා විසින් මුදල් ඇමති විධියට 2023.09.08 දිනැති ඇමති මණ්ඩල පත්‍රිකාවක් යෝජනාවක් ගෙන එනවා ලංකාවේ එකලස් කරන විදුලි සහ දෙමුහුන් වාහන සඳහා ගෙනෙන කොටස් සඳහා කිසිම බදු මුදලක් අය නොකිරීමට. ඒක හොඳ යෝජනාවක්. කාටවත් විරුද්ධ වෙන්න බෑ. නමුත් ගැටළුව තිබෙන්නේ semi knock down නැතිනම් අර්ධ ලෙස සවි කළ වාහන සඳහා මේ අවසරය ලබා දීමයි. ඒ කියන්නේ විදුලි වාහනයක සුක්කානමයි රෝද හතරයි ගලවලා ලංකාවට ගෙනාවොත් එක රුපියලක් බදු නොගෙවා රට තුලට වාහන ගෙන ඒමට අවස්ථාව ලැබෙනවා. මොකද රට තුල එකතු කළ යුතු අවම අගයක් ගැන කිසිම කොන්දේසියක් මේ ඇමති මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වෙන්නේ නෑ. දැනටමත් ආයෝජන මණ්ඩලය සමග වාහන එකලස් කිරීමේ ගිවිසුම් තිබෙන අයට මේ වාසිය ලබා දෙන බව ඇමති මණ්ඩල පත්‍රිකාවේ කියනවා. කාටද මේ වාසිය ලබා දෙන්න හදන්නේ?

ජනාධිපතිවරයා ආයෝජන ඇමති විධියට 2023 අගෝස්තු මාසයේ තව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඒකෙන් යෝජනා කරන්නේ 2015 දී ලංකාවට ‘වොක්ස්වැගන්’ කම්හලක් ගේනවා කියූ කුප්‍රකට ‘සෙනොක් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි සමාගම’ට වාසියක් ලබා දෙන්න. ඒ ඇමති මණ්ඩල පත්‍රිකාවෙන් යෝජනා කරන්නේ දැනට කොටස් කර ගෙනෙන වාහන සඳහා 30% ක් තීරු බදු ගෙවීමට ඒ සමාගම සහ ආයෝජන මණ්ඩලය අතර අත්සන් කළ ගිවිසුම අවලංගු කරලා තීරු බදු රහිතව මේ කොටස් ගෙන්නන්න. ඒ අනුව අලුත් ගිවිසුමක් ආයෝජන මණ්ඩලය සමග අත්සන් තැබීමටද යෝජනා කර තිබෙනවා.

මේ යෝජනාව හරහා එක පැත්තකින් රුපියල් බිලියන ගණනක දැවැන්ත රාජ්‍ය ආදායමක් රටට අහිමි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුන් පොරොන්දු ඉටු කරන්න කියලා වෘත්තියවේදින්ට බදු පිට බදු ගහලා අද වෛද්‍යවරු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු රට හැරලා ගිහින් අද රෝහල් සහ විශ්ව විද්‍යාල පවත්වා ගෙන යන්න බැරි තත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ වන විට වෘත්තීය වේදීන්ගෙන් 2023 වර්ෂයට අපේක්ෂිත බදු ආදායම ඉක්මවා බදු ආදායමක් එකතු කරන්න සමත්වෙලා තියෙනවා සැප්තැම්බර් මාසය වන විට. නමුත් මේ වාහන අනයනය කරන ගජ මිතුරු සමාගම්වලට සහන ලබාදීලා ඒ ආදායමත් එකතු කිරීමේ පීඩනය වෘත්තීය වේදීන් මත පටවන්නයි ආණ්ඩුව උත්සහ දරන්නේ.

ජාත්‍යන්තර කීර්තියට පත් බටහිර සන්නාමයක් අරන් එනවා නම් මේ වාසිය ලබාදෙනවා කියලා කියනවා. බටහිර රටවලින් ගේන ඒවට විතරයි මේ වාසිය ලබා දේන්නේ. අපි ආසියානු රටක්. අපි ‘බ්‍රික්ස්’ වලට එකතු විය යුතු රටක්. ජපන් වාහන ඉන්දියානු වාහන වෙනුවට බටහිර වාහනවලට ඒකාධිකාරියක් ඇතිකරලා අනවශ්‍ය දේශපාලන ප්‍රශ්ණයක් ඇතිකිරීමේ කුමන්ත්‍රණයක්ද තියෙනවා.

ඒ වගේම මේ සමාගමට ලංකාවේ විදුලි වාහන සහ දෙමුහුන් වාහන පිළිබඳ ඒකාධිකාරියක් අසාධාරණ විධියට ගොඩ නැගෙනවා. ශ්‍රී ලංකාව මෙතරම් ආර්ථික අර්බූදයකට තල්ලු වෙලා තිබුණත් ගජමිතුරු දේශපාලනය, ඩීල් දේශපාලනය එක අංශුමාත්‍රයකින් වත් අඩු කිරීමට ආණ්ඩුව සූදානම් නෑ කියන එකයි මින් පෙනී යන්නේ.

ප්‍රශ්ණ සහ පිලිතුරු :

ප්‍රශ්ණය
මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි බිල වැඩි කරනවාට එරෙහිව ප්‍රමානවත් මැදිහත් වීමක් වුනේ නෑ නේද ?

පිලිතුර
මහජන උපයෝගිතා කොමිසම මේ පිළිබදව මහජන අදහස් විමසීමේ දී විදුලි බල විෂයේ ප්‍රවීනයන් , විවිධ සංවිධාන ඉතාමත් තාර්කික විද්‍යාත්මක කරුණු දැක්වීමක් කලා විදුලි බිල වැඩි කිරීමේ අසාධාරණ ක්‍රමවේදය ගැන. ඒ නිසා කොමිසම කරුණු විමසීමක් කියලා රගපෑමක් වෙනුවට සැබැවින්ම මහජන අදහස් විමසුවා නම් මේ විදුලි බිල වැඩි කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල යුතුව තිබුණා. අසාධාරණ විදුලි බිල් වැඩි කිරීම් වලට එරෙහිව හිටපු සභාපති ජනක රත්නායක මහතා සටන් කලා. ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය පාවිචිකරලා ඒ සභාපති ඉවත් කරලා මහජන උපයෝගිතා කොමිසමට දුන්නා පණිවිඩයක්. ‘නුඹලා විදුලි ක්ෂ්‍රේත්‍රය නියාමනයට නමට හිටියට නුඹලා කල යුත්තේ අපි එවන දේ අනුමත කිරීම පමණයි’ කියන එකයි ඒ පණිවිඩය. ඒ නිසා මොන මහජන මත විමසුවත් සිය තනතුරු රැකගැනීමේ අභිලාෂයෙන් තමයි මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරන්නේ. ජනක රත්නායක මහත්තයට අත්වෙච්ච ඉරණම තමන්ට අත්වෙනවට දැන් ඉන්න අය කැමති නෑ.

ප්‍රශ්ණය
කෙහෙළිය ඇමතිතුමා සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කරලා පරිසර අමාත්‍ය ධූරය දීලා. මොකද ඔබතුමාට හිතෙන්නේ ?

පිලිතුර
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය දරද්දී ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය ගෙනාවා. අප එයට පක්ෂව ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ බහුතරය ඊට එරෙහිව ඡන්දය දීලා ඇමතිවරයා රකින්න කටයුතු කලා. නමුත් ජනාධීපතිවරයා මේ කැබිනට් සංශෝධණය හරහා තීරණය කරලා තියෙනවා විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුව හැසිරුණු හැටි වැරදියි විපක්ෂය හැසිරුණු හැටි හරියි. මේ අමාත්‍යවරයාට තව දුරටත් මේ අමාත්‍යංශ්‍ය කරගෙන යන්න බෑ කියලා.

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ උතුරු කොළඹ ආසන සංවිධායක මංජුල නිස්සංක, මොරටුව ආසන සංවිධායක කුමාර රාජරත්න යන මහත්වරුන් ද එක්වූහ.

++++++

+


පිළිකාව සමග සටන් කළ නර්තන ශිල්පිණී රැජිණි සෙල්වනායගම් දිවියට සමුදෙයි

(21.10.2023 – gossip.nethnews.lk)

ප්‍රවීණ නර්තන ආචාර්යවරිය වූ කලාශූරී, විශ්වකලා කීර්ති, රැජිණි සෙල්වනායගම් මහත්මිය 71 වන වියේදී දිවි සැරිය නිම කළාය. මීට වසර හයහමාරක (6½) පමණ කාලයක සිට පෙනහළු පිළිකා රෝගය සමග සටන් කරමින් සිටි ඇය ඊයේ (20) රාත්‍රියේදී අභාවප්‍රාප්ත විය.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය දේශීයව පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද සුපතළ ‘නර්තන රැජිණිය’ ලෙස විරුදාවලිය ලද්දියයි.

චන්න – උපුලී ඇතුළු මෙරට පසුකාලීන නර්තන පරම්පරාවන්ගේ ද මුල් ගුරුවරියයි.

ඇය ‘කලා කීර්ති’ සහ ‘විශ්ව කලා කීර්ති’ යන සම්මානවලින්ද පිදුම් ලැබ සිටි අතර දහස් ගණනක් නර්තන ශිල්පීන් බිහිකළා සේම මෙරට නර්තන සංස්කෘතිය ලෝකය හමුවේ බබලවන්නට මුල්වූ තැනැත්තියකි.

නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කිරීමට පැමිණියේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතය.නර්තන කලාව තුළින් සංස්කෘතිය, සම්ප්‍රදාය සහ සිරිත් විරිත් ප්‍රවර්ධනය කරමින් සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරමුණින් කුඩා පන්ති කාමරයක් ලෙස 1975 දී ආරම්භ කරන ලද ‘චාමර‘ කලායතනයේදී ඇය බොහෝ සිසු සිසුවියන්ගේ ජීවිත සරු කිරීමට පටන් ගත්තාය.

එතැන් පටන් ඇය වරප්‍රසාද නොලත් සිසුන් ඇතුළු විවිධ පසුබිම්වලට අයත් සිසුන් රැසකට උපකාරක ගාස්තුවක්වත් අය නොකර ඉගැන්වූවාය. ඇය ශ්‍රී ලංකාවේ බොහෝ නර්තන තරඟ සඳහා විනිසුරුවරියක් ලෙස සහභාගී වී ඇති අතර බොහෝ තරුණ දක්ෂ සිසුන් සඳහා ඇයගේ කාලය සහ මග පෙන්වීම ලබා දී ඇත.

2016 දී පෙනහළු පිළිකාවකින් පෙළෙන බව හඳුනාගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොමු වූ ඇය මියයනතුරු කලාකටයුතු අත් හැරියේ නැත.

රැජිණි සෙල්වනායගම් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

+++++++++

+


කාන්තාවක් වමනය දැමීමට බසයෙන් එළියට දැමූ තම හිස ඉදිරියෙන් පැමිණි ලෝරි රථයක ගැටී බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට

(23.10.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය හබරණ ප්‍රදේශයේ 38 වන සැතපුම් කණුව අසන්නේ කාන්තාවක් වමනේ දැමීමට හිස එළියට දැමිමේ දී ඉදිරියෙන් පැමිණි ලෝරි රථයක ගැටී බරපතළ තුවාල ලබා එම කාන්තාව මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

කතරගම සිට අනුරාධපුර දක්වා ගමන් ගත් ලංගම බස් රථයක ගමන් කරන අතරතුර මෙම අනතුර සිදු ව තිබෙන්නේ.

පොලිසිය පැවසුවේ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ෴


නැගෙනහිර පළාතේ ඉරිදා හා පෝය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම්

(23.10.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ඉරිදා දිනවල පස්වරු 02:00 දක්වා හා පෝය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාර පංති පැවැත්වීම මෙලෙස තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායකගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබීමට කාලයක් නොමැති බැවින් මේ තීරණය ගෙන ඇති බවයි.

එසේම මෙම උපදෙස් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය උතුර, කන්තලේ, අම්පාර, මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


කෙහෙළියගේ සෞඛ්‍ය ඇමති ධූරය ගැලවෙයි; කැබිනෙට්ටුවේ හදිසි සංශෝධනයක්

(23.10.2023 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල එම ධුරයෙන් ඉවත් කර නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර තිබෙනවා. ඒ ඔහු දැරූ කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවූ නසීර් අහමඩ් දැරූ පරිසර අමාත්‍ය ධුරයේ කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දී ඇති අතර, එම අමාත්‍යාංශය පසුගිය සති කිහිපයේ පැවතියේ ජනාධිපතිවරයා යටතේයි.

එමෙන්ම වෛද්‍ය රමේෂ් පතිරණ දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ අමාත්‍ය මහින්ද අමරවීර දිවුරුම් දී තිබෙනවා. ඒ ඔහු දැනට දරන කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරවයි.

මීට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය එම ධුරයට අමතරව කැබිනට් නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

+

+


රුපියල් මිලියන 100 ක බදු අහිමි කරමින් කොළඹ දිරන සුපිරි වාහන ගැන CIA අනාවරණයක්

(23.10.2023 – 20:30 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – ජාපාල වත්ත ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ මධ්‍යස්ථානයක නීතිවිරෝධී ලෙස ආනයනය කළ වාහන ඇති බවට ලද තොරතුරක් මත වලාන දූෂණ මර්දන ඒකකය සහ රේගු දෙපාර්තමේන්තුව වැටලීමක් සිදු කරන්නේ මීට වසර 06 කට පෙර එනම් 2017 වසරේ ජනවාරි 31 වැනිදායි.

මෙම වැටලීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති රට හමුවේ අනාවරණය කළේ රටට අහිමි වීමට ගිය රුපියල් මිලියන ගණනක බදු ආදායමක් යළි හිමිකර දීමේ අරමුණෙන්.

එදින සිදුකළ වැටලීමේදී ආනයන අපනයන නීති උල්ලංඝණය කරමින් මෙරටට ගෙන්වූ අධි සුඛෝපබෝගී වාහන 54 ක් රේගු නිලධාරීන් හඳුනා ගත්තා.

ඉන් වාහන 28 ක් රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන මට්ටක්කුලියේ පිහිටි ශ්‍රී ලංකා රේගුවේ මෝටර් රථ රැඳවුම් අංගනයක් වෙත රැගෙන ආ අතර අනෙක් වාහන 26 වැටලීම සිදුකළ ස්ථානයේම තබා මුද්‍රා තැබීමට කටයුතු කෙරුණා.

කෙසේවෙතත් එලෙස මුද්‍රා තැබූ වාහන 26 නීතියේ ඇසට වැලි ගසා ඊට පසු දිනම අස්ථානගතවීම අදටත් පුදුමසහගත කරුණක්.

වර්තමාන වෙළෙඳපොළ තුළ රුපියල් මිලියන දහසකට (1000) අධික වටිනාකමක් ඇති මෙම අධි සුඛෝපබෝගී වාහන මෙරටදී අලෙවි කර රජයට අහිමි වූ බදු මුදල යළි අයකර ගත නොහැකිද?

මේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ‘හිරු CIA’ වෙත සුවිශේෂී අනාවරණයක් කළා.

දැඩි ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මොහොතක රජයට රුපියල් මිලියන ගණනින් බදු වංචා කිරීමට රාජ්‍ය සේවයේම ඉහළ නිලධාරීන් කටයුතු කරන්නේ නම් එය විමතියට කරුණක්.

එම වාහන නිකරුණේ දිරාපත් වීමට ඉඩ දී සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මුදල් සොයන මෙවැනි රජයේ ඉහළ පුටුවල වැජඹෙන නිලධාරීන් පිළිබඳව සොයා බැලීම රජයේ වගකීමක් නොවන්නේ ද?

මෙම වාහන නිසි ක්‍රමවේදයකට අනුව වෙන්දේසි කර ඉන් රජයට ආදායමක් ලබාගැනීම බලධාරින්ගේ යුතුකමක් බව සිහිපත් කරන ‘හිරු CIA’ මේ සම්බන්ධයෙන් බලධාරින්ගේ ඇස් අරෙනතුරු අවධානයෙන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *