කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි


කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

(14.10.2023 – 19:48 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, සැකකාරියව අද (14) අලුත්කඩේ අංක 7 මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියව ඊයේ (13) දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කරමින් ආගමන විගමන පාලකයවරයාට අත්තනෝමතික ලෙස ලිපියක් යොමු කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කිරීම හේතුවෙනි.

සැකකාරියව අද (14) අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ, ජීවිතාරක්ෂණ සමාගමකින් රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් ව්‍යාජ ලේඛන සකසා වංචා කිරීම හේතුවෙන් වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පුද්ගලයාට එල්ලවූ චෝදනා 8 න් 7 කට වරදකරු කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා සිරදඬුවම් පමුණුවා තිබුණේ පසුගියේ පෙබරවාරී මස 15 වනදා බවය.

එදිනම අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් යොමුකරමින් අදාළ සැකකරු ඇප ලබාගෙන තිබු බවද ඔවුන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට එම නඩු ගොනුව මහාධිකරණය වෙත යැවීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ලේඛන භාර නිලධාරිණිය සෙවූවද එය හමුවී නොමැත.

පසුව ඇය විසින් එය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට දැනුවූවද ඇය එය මගහැර සිට ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

එවන් පසුබිමක සැකකාර රෙජිස්ට්‍රාර්වරිය පසුගිය 12 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ යතුරු ලියන තැනැත්තියට විදෙස්ගමන් තහනමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ආකෘති පත්‍රයක් නඩු අංකයක් ද සමගින් ලබාදී එය ටයිප් කර දෙන ලෙස පවසා තිබේ.

ඒ පිළිබඳව සැක සිතී යතුරුලියන තැනැත්තිය, ලේඛනභාර නිලධාරිණියට මේ පිළිබඳව දැනුම්වත් කර තිබේ.

අදළ ලේඛයයේ ඇති නඩු අංකය හා අස්ථානගත වී ඇති නඩු අංකය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී අදාළ අංක දෙකම එකක් බව තහවුරුවී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අතුරතුර ආගමන විගමන පාලකවරයා වෙත සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ෆැක්ස් පණිවිඩයක් යවා අදාළ සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉවත්කළ බව පවසා ඇති බවද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ කොළ කැබලි කිහිපයක් සැකකාරියගේ කසළ බඳුනෙහි තිබී සොයාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ, ඊයේ (13) දිනයේදී නඩුව කැඳවා අදාළ සැකකරුට විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට සඳහන් කරමින් සැකකාරිය විසින් ආගමන විගමන පාලකවරයාට අත්තනෝමතික ලෙස දැනුම්දී ඇති බවය.

ඒ අනුව අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් පසුව සිදුකළ විමර්ශනයේදී සැකකාරිය අත්අඩංගුවට ගත් බව අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

එමෙන්ම අස්ථානගත වූ නඩු පොත තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාරියට වසර 25 ක සේවා කාලය තුළ කිසිඳු චෝදනාවක් එල්ලවී නොමැති බවය.

අනතුරව කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, අතුරුදන් නඩු ගොනුව සැකකාරිය සතුව නොමැති නම් ඇයට විදෙස්ගමන් තහනම ඉවත්කිරීමට අදාළ කරුණු ලබාගැනීමට හැකියාවක් නොමැති බවය.

එමෙන්ම සැකකාර රෙජිස්ට්‍රාර්වරිය විසින් සැකකරු සමග අවස්ථා ගණනාවකදීම දුරකතන මාර්ගයෙන් සම්බන්ධවී ඇති බවත් දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී ඇය විසින් ඔහුට විනාඩි 20 ක පමණ දුරකතන ඇමතුමක් එක් අවස්ථාවකදී ලබාගෙන ඇති බවට අනාවරණය වූ බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

වැඩිදුරටත් විමර්ශන නිලධාරීන් පැවසුවේ, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

+


තරුණියක් සමූහ දූෂණයට ලක් කළ තිදෙනෙක් (3) අත්අඩංගුවට

(15.10.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

මන්නාරමේ මහා මාර්ගයක පිහිටි ගරාජයකට රැගෙන ගොස් වයස අවුරුදු 17 ක තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් තුන් දෙනෙකු (3) මන්නාරම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 12 වෙනිදා මෙම තරුණයින් තිදෙනා (3) මාරුවෙන් මාරුවට දැරිය දුෂණය කළ අවස්ථාවේදී එම දර්ශන ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කිරීමක් හා ඡායාරූප ගැනීමක්ද සිදු කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය විසින් එම තරුණයින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන්ගේ දුරකතනවල තිබී එම වීඩියෝ හා ඡායාරූප පොලීසියට හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයින් තුන් දෙනා (3) මන්නාරමේ පෙරියකාමම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17, 18 හා 23 යන වයස් වලට අයත් තරුණයින් වන අතර ඉන් ප්‍රධාන සැකකරු ගරාජයක සේවය කරණ වයස අවුරුදු 23 ක තරුණයෙක්.

එම තරුණයා කීප වරක්ම තරුණිය දූෂණයට ලක් කොට තරුණිය ළග තිබූ රුපියල් 2000 ක මුදලක්ද කොල්ල කා තිබෙනවා.

බරපතල ලෙස සමූහ දූෂණයකට ලක් වූ තරුණිය ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇය තවමත් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට මන්නාරම පොලිසිය පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි (15)

(15.10.2023 – 07:14 +0530 – hirunews.lk/sinhala)

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888 ක පැවැත්වීමට මෙම විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටින බවයි වාර්තා වෙන්නේ.

‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන සියලු අපේක්ෂකයන් පෙරවරු 09 පමණ වන විට විභාග ශාලා වෙත පැමිණීම සිදු කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කොට සිටින්නේ.

විභාගය පෙරවරු 09:30 ට ආරම්භ වීමට නියමිතයි ෴


ජවිපෙ මුලස්ථානය හදන්න ටයිල්, ධම්මික පෙරේරාගෙන්..

(15.10.2023 – 09:20 +0530 – lankacnews.com)

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානය ඉදිකිරීමේදී ඒ සඳහා අවශ්‍ය ටයිල් ලබා දීම සිදුකරන ලද්දේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් බව සිවිල් ජනතා අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්තිරිගේ මහතා පවසයි.

මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් කිසි අවස්ථාවක ධම්මික පෙරේරා මහතා විවේචනය නොකරන බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විසින් ටිරාන් අලස් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ අකටයුතු කම් විවේචනය නොකරන්නේද එම පුද්ගලයින් අදාළ පක්ෂයේ අරමුදල් සම්පාදකයින් වීම නිසා බවත් ඔහු චෝදනා කරයි.

+


සමාජ මාධ්‍යයේ සංසරණය වූ තරුණියකට පහරදීමේ සිද්ධියේ යුවළ අත්අඩංගුවට

(15.10.2023 – 10:50 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අමානුෂික ආකාරයෙන් තරුණියකට පහරදෙන වීඩියෝව සම්බන්ධයෙන් කඳාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදාහැරීමේ පෞද්ගලික ආයතනයක හිමිකරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණියට ආයතනයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ අමානුෂික ලෙස පහරදෙන අයුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වූ වීඩියෝ පටයේ දැක්වුණා.

මෙම යුවළ එහිදී තරුණියට අත් පාවලින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහරදෙන අයුරුයි නිරීක්ෂණය වුණේ.

පහරදීමේදී තරුණිය බිම ඇද වැටෙන අතර, ඉන් පසුවද එම දර්ශනවල සිටි ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන දෙන බව දැක්වෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් අනාවරණ කළ අතර, ඒ අනුවයි පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළේ.

+++++++

++++++++

කාන්තාවකට අමානුෂික ලෙස පහර දුන් අඹුසැමි යුවළට ඇප

(15.10.2023 – 17:09 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල වීඩියෝවකට අදාළව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළට අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.

අදාළ පුද්ගලයින්ට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.

පහරදීමේදී මෙම යුවළ එහිදී තරුණියට අත් පාවලින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහරදෙන අයුරුයි නිරීක්ෂණය වු අතර පහරදීමේදී තරුණිය බිම ඇද වැටීමෙන් පසුවද එම දර්ශනවල සිටි ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන දී තිබෙනවා.

සිද්ධියෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි තරුණිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය පහරදෙන පුද්ගලයාගේ ඥාති දියණියක් වන අතර වසර කිහිපයක් තිස්සේ ඔහුගේ නිවසේ රැඳී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පහරදීමෙන් තුවාල ලැබූ තරුණිය මේ වනවිට කඳාන දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිසිය සඳහන් කළේ පහර කෑමට ලක් වූ තරුණිය කාර්යාලීය දුරකතනයෙන් සිය පෙම්වතාට ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

+


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45 කින්

(15.10.2023 – 16:39 +0530 – hirunews.lk/sinhala)

අද (15) දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45 ක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888 ක පැවැත් වූ මෙම විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටි බවයි වාර්තා වන්නේ.

විභාගය අද (15) විභාගය පෙරවරු 09:30 ට ආරම්භ වී තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *