මෝසාඩ් කණෙන් රිංගූ හමාස් ප්‍රහාරයෙන් අප උගත යුතු පාඩම්… – උදය ගම්ම්න්පිල

මෝසාඩ් කණෙන් රිංගූ හමාස් ප්‍රහාරයෙන් අප උගත යුතු පාඩම්… – උදය ගම්ම්න්පිල


මෝසාඩ් කණෙන් රිංගූ හමාස් ප්‍රහාරයෙන් අප උගත යුතු පාඩම්… – උදය ගම්ම්න්පිල

(13.10.2023 – 22:02 +0530 – lankacnews.com)

තාක්ෂණය පිළිබඳ තැබූ අසීමාන්තික විශ්වාසය, තමන් පිළිබද වූ අධි තක්සේරුව වැනි කරුණු නිසා හමාස් සංවිධානයේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වීමට ඊශ්‍රාලයට සිදුවූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්ම්න්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (13) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය :

හමාස් ප්‍රහාරයෙන් අප උගත යුතු පාඩම්

ලොව විශිෂ්ඨතම බුද්ධි සේවාව ලෙස සැලකෙන මොසාඩ් සංවිධානයේ කනින් රිංගලා හමාස් සංවිධානය ඊශ්‍රාලයට එල්ල කළ ප්‍රහාරය ලංකාවට අතිශයින්ම වැදගත්. එක පැත්තකින් අපේ ආර්ථිකයට ඇති කරන බලපෑම. අනිත් පැත්තෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපට ඉගෙන ගැනීමට තිබෙන පාඩම්.

2015 දී ඊශ්‍රාලය හමාස් සංවිධානය සමග තිබෙන ගැටුම අලලා හැදූ ‘ෆවුඩා’ කියන රූපවාහිනි කතාමාලාව දැන් ‘නෙට්ෆ්ලික්ස්’ නාලිකාවේ තිබෙනවා. ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන්. මට මතක විධියට දෙවන වාරයේ දී ‘සීසන් ටූ’ ගාසා තීරයේ සිට උමගකින් ඊශ්‍රාලයට ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කිරීම තිබෙනවා. මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බව තිර රචකයින්ටත් 2015 තරම් ඈතක දැනුනා නම් මොසාඩ් සංවිධානයේ කනින් රිංගීමට හමාස්ට හැකි වුණේ ඇයි? ඒ හේතු කිහිපයක් නිසා. පළමු හේතුව තමයි තාක්ෂණය පිළිබඳ තැබූ අසීමාන්තික විශ්වාසය. ඩොලර් බිලියන ගණනක් වියදම් කර සවි කළ ‘අයන් ඩෝම්’ තිබෙන නිසා නැවත කිසි දිනක ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාර එල්ල කළ නොහැකි බවට ඔවුන් සිතුවා. නමුත් දැන් යුද විශේෂඥයින් කියන්නේ එකවර මිසයිල හෝ රොකට් තුන් සීයකට (300) වඩා අහසේ තිබුණොත් අයන් ඩෝම් ව්‍යාකූල වෙනවා. නිසිපරිදි ක්‍රියාත්මක නොවෙනවා. හමාස් හරියටම තුන් සීයක් කියලා දන්නේ නැතිව ඇති. විශාල ගණනක් එකවර අහසට විද්දොත් මේ පද්ධතිය අක්‍රිය වේවි කියලා හිතලා එකවර හත් දහසක් (7000) විතර අහසට විදලා තිබෙනවා.

මීලඟට මතුවන ප්‍රශ්නය තමයි රොකට් හත් දහසක් එකවර විඳින්න සූදානම් වන තුරු මොසාඩ් මොකද කලේ කියන එක. රොකට් සහ මිසයිල හත් දහසක් ගාසා තීරයට ගේන එක රහසේ කිරීම හරිම අමාරුයි. හත් දහසක් විදින්න සූදානම් කරන එක ගෙයක් ඇතුලේ ඉඳන් කරන්න බෑනෙ. ඇයි මේ ගැන මොසාඩ් දැන ගත්තේ නැත්තේ? ඒ සඳහා හමාස් සිදු කලේ අවධානය වෙනතකට යොමු කිරීමේ උපාය නැත්නම් Distraction Tactic. වසර මුල සිටම බටහිර ඉවුර ප්‍රදේශයේ පදිංචි යුදෙව් ජාතිකයින් ඉලක්ක කරගෙන දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රාලයේ අවධානය ඒ පැත්තට යොමු කළා. බටහිර ඉවුරට දැවැන්ත ප්‍රහාරයකට සූදානම් වන බවට බොරු තොරතුරු ඔත්තුකරුවන් හරහා ලබා දෙමින් ඊශ්‍රාලය රැවැට්ටුවා. ඊශ්‍රාලයත් ගාසා තීරය අමතක කරලා සම්පූර්ණ අවධානය බටහිර ඉවුරට යොමු කළා.

මොසාඩ් කළ තුන්වන වරද තමයි තමන් පිළිබඳ තිබුණු අධිතක්සේරුව. ලොව හොඳම බුද්ධි අංශය තමන් බවට මොසාඩ් අධි තක්සේරුවකයි හිටියේ. ලෝකයත් එය වර්ණනා කලා. මට එක්තරා රටක ආරක්ෂක අමාත්‍යවරයෙක් කියපු කතාවක් තමයි තම රටට ආරක්ෂක උපකරණ විකිනීමට සමාගම් ආවහම ඊශ්‍රායලය පාවිච්චි කරන්නේත් මේවා යැයි පවසනවාලු. ඒක තමයි නිර්ණායකය වෙලා තිබුනේ. ඊශ්‍රාලය අපිට ගහන්න බෑ කියන මානසිකත්වයේ සිටීම ඇතුළු මේ කාරණා තුනම මේ ප්‍රහාරයට බලපාල තියෙනවා.

2018 සිටම සහරාන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වන බවට බුදධි අංශ අනතුරු ඇඟෙව්වා. නමුත් දේශපාලකයින් ඒවා ගණන් ගත්තේ නෑ. අපි 2009 දී ත්‍රස්තවාදය කුඩුපට්ටම් කරලා පිරබාහරන් මරා දැම්මා. ‘දැන් ලංකාවේ ත්‍රස්තවාදයකට ඉඩක් නෑ’ කියන ආකල්පයේ තමයි පාලකයින් හිටියේ. මාවිල්ආරු සොරොව්ව වහන්න ගිහින් සිදුකරගත් විනාශයෙන් පස්සේ ඇරලා තිබෙන ටැප් එකක්වත් වහන්න ත්‍රස්තවාදීන් බයයි කියලයි අපේ ඇතැමුන් හිතා හිටියේ. එහි අවසන් ප්‍රතිඵය තමයි තවමත් මහ මොලකරු සොයන පාස්කු ප්‍රහාරය.

පාස්කු ප්‍රහාරයේ දී අපි ඉතා වැදගත් දෙයක් අමතක කරනවා. 2001 සැප්. 11 ඇමෙරිකාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය කලින් දැන ගන්න ‘සීඅයිඒ – එන්එස්ඒ’ අසමත් වෙනවා. 2008 නොවැම්බර් 26 ඉන්දියාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය කලින් දැන ගන්න ‘රෝ – සීබීඅයි’ අසමත් වෙනවා. 2015 නොවැම්බර් 13 ප්‍රංශයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය කලින් දැන ගන්න ‘ඩීජීඊස්’ අසමත් වෙනවා. ඒ වගේම හමාස් ප්‍රහාරය කලින් දැන ගන්න ‘මොසාඩ්’ අසමත් වෙනවා. නමුත් පාස්කු ප්‍රහාරය කරන්නේ කවුද කරන්නේ කවදාද ගහන්නේ කොතැනට ද කියලා නිවැරදිව කලින් කියූ අපේ බුද්ධි අංශ වලට සම්මාන දෙනවා වෙනුවට නඩු දාලා වන්දි ගෙවන්න කියලා දඬුවම් කරනවා. බුද්ධි අංශ ප්‍රධානියාගේ හිස ඉල්ලනවා. ‘කලින් තොරතුරු හොයන්නේ නැතිව කරන ප්‍රහාරයක් කර ගන්න දීලා පාඩුවේ හිටු’ කියන එක ද අපි බුද්ධි අංශ වලට දෙන පණිවිඩය කියන එක මම සමස්ත ජාතියෙන්ම ප්‍රශ්න කරනවා.

මෙම ප්‍රහාරය පිටුපසින් ආර්ථික අර්බූදයක්ද පැමිනෙනවා. යුක්‍රේන – රුසියා යුද්ධය නිසා තෙල් හා ගෑස් මිල බරපතල ලෙස ඉහළ යනවා. විදේශ විණිමය අර්බූදය හමුවේ අපේ රටට තෙල් හා ගෑස් මේ ඉහල මිලට ලබාගැනීමත් දුෂ්කර වෙනවා. අවසානයේ රටේ අර්බූදය නිසා ගෝඨාභය ජනපතිතුමාට ගෙදර යන්න වෙනවා. මේ සදහා ජාත්‍යාන්තර කාරණයක් විදිහට යුක්‍රේන – රුසියා අර්බූදයද බලපානවා.

ඒ යුද්ධයට වඩා මේ මැදපෙරදිග යුද්ධය අපට බලපානවා. කොවිඩ් හා යුක්‍රේන – රුසියා යුද්ධයෙන් ඇතිවූ ආර්ථික අර්බූදයෙන් ලෝකය මිදෙමින් හිටියේ. ලෝක ආර්ථිකය වර්ධනය වේවි කියලා ලෝක බැංකුවත් පුරෝකතනය කලා. නමුත් එය හැකිලීමට ඉඩ තියෙනවා. අරාබි රටවලුත් මේ පලස්තීන ඊශ්‍රායල් ගැටුමට මැදිහත් වෙන්න පුලුවන්.

එහෙම උනොත් ඊශ්‍රායලය තෙල් ළීං ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ තිබෙනවා. ඉන් තෙල් නිෂ්පාදනය බිද වැටෙනවා. දෙසැම්බර් – ජනවාරි කියන්නේ යුරෝපයේ ශීත කාලය හෙවත් තෙල් මිල ඉහල යන කාලය. මේ ගැටුමත් සමග යුරෝපය තෙල් තොග එක් රැස් කිරීම ඉඩ තියෙනවා. ඒ වගේම මේ යුධ කලාපයේ ගමන් කරනා නැව් සිය රක්ෂණ වාරිකද ඉහල දමා තියෙනවා. ඒ පිරිවැයත් අවසානයේ තෙල් මිලට එකතු වෙනවා. මේ කාරණා නිසා තෙල් මිල ඉහල යන්න පුළුවන්. එමගින් සියළු භාණ්ඩ වල මිල ඉහල යනවා.

මේ නිසා ලෝක ආර්ථිකය හැකිලෙනවා. අපේ සංචාරක ව්‍යාපාරය, මෙරටට ලැබෙන විදෙස් ආයෝජන කඩා වැටෙනවා. අපට ඇති විදෙස් රැකියා අවස්ථා අඩු වෙනවා. ඒ වගේම අපේ අපනයන භාණ්ඩ වලට ඇති ඉල්ලුමද අඩු වෙනවා. මේ යුද්ධය දිග්ගැස්සුනොත් අපේ ආර්ථිකය වර්ධනය වීමේ අවස්ථාව අපට අහිමි වෙනවා.

+


“නවය; සැඟවුණු කතාව” කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියන් පරිවර්තන දොරට වඩී!

(13.10.2023 – facebook.com/WimalWeerawansa.sl)

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ‘ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය’ පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව රචනා කළ ‘නවය; සැඟවුණු කතාව’ විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියානු පරිවර්තන, පරිවර්තන කෘති දෙකක් ලෙස අද (13) සවස කොළඹ 07, පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) එළිදක්වනු ලැබීය.

රුසියානු පරිවර්තන කෘතිය, රුසියාවේ උසස් අධ්‍යාපනය ලැබූ වෘත්තීයවේදීනියක මෙන්ම සඟරා සංස්කාරකවරියක වන චින්තා සෙනෙවිරත්න මහත්මිය විසින් පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන කෘතිය ඇය විසින් මුල් කෘතියේ කතුවරයා වන විමල් වීරවංශ මහතාට පළමුව පිළිගන්වනු ලැබීය. දෙවනුව එම පරිවර්තන කෘතිය විමල් වීරවංශ මහතා විසින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ඉන් අනතුරුව ඉංග්‍රීසි පරිවර්තන කෘතියෙහි (NINE; THE HIDDEN STORY) පරිවර්තකවරිය, ප්‍රවීණ දේශපාලන විශ්ලේෂිකාවක සහ මාධ්‍යවේදිනියක වන ෂෙනාලි වඩුගේ මහත්මිය, මුල් කෘතියේ කතුවරයා විමල් වීරවංශ මහතා වෙත එම පරිවර්තන කෘතිය පිළිගන්වනු ලැබුවාය. පසුව විමල් වීරවංශ මහතා විසින් ‘Galle Face Protest : Systems Change or Anarchy’ ගවේෂණාත්මක කෘතියේ කතුවර ප්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙණිය මහතා වෙත එම පරිවර්තන කෘතිය පිළිගන්වනු ලැබීය.

මෙම පරිවර්තන කෘති එළිදැක්වීමේ උළෙලේ ආරාධිත දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා විසින් සිදු කළ අතර ප්‍රධාන දේශනය ‘නවය; සැඟවුණු කතාව’ කෘතියෙහි කතුවර විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණ සිටි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිළිගනු ලැබුවේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසිනි.

මෙම අවස්ථාවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andres Marcelo Gonzalez Garrido, ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන් නියෝජනය කරමින් එම තානාපති කාර්යාලයේ Chen Xiang Yuan සහ Jin Enze යන රාජතාන්ත්‍රික නිලධාරීහු ද පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, වත්මන් ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, මහාචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරු ඇතුළු විද්වත් වෘත්තිකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-10-13

+


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

(13.10.2023 – 17:29 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අද (13) නියෝග කර තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය එහිදී වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ එම පුද්ගලයින් නොවැම්බර් මස 16 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටය.

අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශණයකට අදාළව කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය සිදුකළේය.

+


UGC අහෝසි කිරීමේ තීරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

(14.10.2023 – 07:34 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවති බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දෙන අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකර ගැනීම හා එම දීමනාව දැනට ක්‍රියාත්මක කරනු ලබන උපයන විට අයකරනු ලබන බද්දෙන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ මෙහි දී සාකච්ඡාවට ලක් ව ඇති බව වාර්තා වේ.

රටේ සියලුම ජනතාව මුහුණ දී සිටින ආර්ථික අසීරුතාව පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති අතර, පවතින ආර්ථික ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් සියලු ජනතාව වෙත සහන සැලසීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහි දී පවසා ඇති බව සඳහන්ය.

අධ්‍යයන පර්යේෂණ දීමනාව ඉල්ලා සිටින පරිදි ලබා දීමට දැනට පවතින චක්‍රලේඛ අනුව ප්‍රතිපාදන නොමැති වුවත් එය පවතින බදු ප්‍රතිපත්තිවලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් වෙනත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති 03 ක් ඇතුළත තමා වෙත වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලි‍ෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී වැඩිදුරටත් පවසා ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිහ මහතා පැවසුවේ, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි ෴


කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට

(13.10.2023 – 19:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය ව අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ලිපිලේඛන සැකසීම හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය ෴


ලාදුරු රෝගින් ගණන ඉහළට

(14.10.2023 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ගත වු මාස 09 තුළ දී ලාදුරු රෝගින් 1135 දෙනෙකු දක්වා වැඩි වී ඇති බව ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා.

ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රෝගින්ගෙන් 18% ක් පාසල් ළමයින් බවයි ෴


දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත වෙන්නේ මෙහෙමයි

(13.10.2023 – 16:50 +0530 – sinhala.adaderana.lk)

නායයාමක් හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස අද (13) පස්වරු 6 ට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු 02 පමණක් දෙපසටම ගමන්කළ හැකි අයුරින් වාහන ගමනා ගමනය සඳහා විවෘත කරන බවය.

එහි දකුණු පස මංතීරු 02 තවදුරටත් වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බවද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි ෴


අක්ෂි රෝගය නිසා 5 ශ්‍රේණියේ පන්තියක් වසා දැමේ

(13.10.2023 – 14:48 +0530 – sinhala.adaderana.lk)

අක්ෂි රෝගයක් පැතිර යාම හේතුවෙන් යටියන්තොට ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ පන්ති කාමරයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අක්ෂි රෝගය වැළඳීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

එම පන්ති කාමරයේ සිසුන් 13 දෙනෙකුට අක්ෂි රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති අතර රෝග ව්‍යාප්තිය පාලනය කිරීම හා සෙසු ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම පන්ති කාමරයේ සියලු සිසුන්ට නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත.

දරුවන් අතර පැතිර යන අක්ෂි රෝගයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තා වන නමුත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කෙසේවෙතත් රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වැළකි සිටීමට මව්පියන් පියවර ගත යුතු බවද සෞඛ්‍ය අංශ පැවසීය ෴


‘පෝට් සිටි’යෙන් අමතර බිම් කොටස් 10 ක් චීනයට

(14.10.2023 – 07:44 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය විසින් ‘වරාය නගර ව්‍යාපෘතියේ’ ඉදිකිරීම් ප්‍රමාද කිරීම හේතුවෙන් අමතර බිම්කොටස් 10 ක් වන්දියක් ලෙස චීනයට ලබා දීමට සිදුව ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මේ වන විට අයෝජකයින් 17 දෙනෙකු එහි අයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන 1.6 ක් බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු ප්‍රකාශ කොට සිටියේ.

ජපාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කලාපයක් මෙරට ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *