පාසල් සිසුන්ට මත් ටොෆී අලෙවිකළ තරුණයෙකු ටොෆී 5000 ක් සමඟ අත්අඩංගුවට

පාසල් සිසුන්ට මත් ටොෆී අලෙවිකළ තරුණයෙකු ටොෆී 5000 ක් සමඟ අත්අඩංගුවට


පාසල් සිසුන්ට මත් ටොෆී අලෙවිකළ තරුණයෙකු ටොෆී 5000 ක් සමඟ අත්අඩංගුවට

(09.10.2023 – 10:18 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ට හා පෞද්ගලික උපකාරක පන්තිවල සිසුන්ට නව මාදිලියෙන් ලොසින්ජර් ආකාරයෙන් තනන ලද මත් ටොෆී අලෙවිකළ තරුණයෙකු මුලතිව්, මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී ගුවන් හමුදාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශන නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහු ලැගුම් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී එවැනි මත් ලොසින්ජර් 5000 කට අධික ප්‍රමාණයක් තිබී හමු වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඊට අමතරව ඔහුගේ ලැගුම්හලේ තිබී මත්වීමට උපයෝගී කර ගන්නා සිරප් මිලිග්‍රෑම් 34 ක් සහ කොකේන් ගුලි 486 ක් සොයාගෙන තිබෙනවා.

ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලියාවලෙයි පොලිසියට බාරදීමෙන් පසුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර, එහිදී පොලීසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු දින හතක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා ෴


ග්‍රාම නිලධාරිනියකගේ අත් බෑගය කපා රුපියල් එක්ලක්ෂ හැත්තෑපන් දහසක් හා ජංගම දුරකතනයක් පැහැරගෙන ගිහින්

(09.10.2023 – 10:05 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ උරුම්පිරායී ග්‍රාම නිලධාරිනියගේ අත්බෑගය කපා රුපියල් එක්ලක්ෂ හැත්තෑපන් දහසක (1,75,000) මුදලක් හා ඇගේ ජංගම දුරකතනය ඊයේ (08) පැහැරගෙන ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.

මෙම ග්‍රාම නිලධාරිනිය බැංකුවකින් මුදල් ලබා ගෙන නිවසට යාම සදහා උරුම්පිරායි හන්දිය දෙසට ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) ඇගේ අත් බෑගයෙන් ඇද තිබෙනවා.

එම අවස්ථාවේදී බිම ඇද වැටුණු ග්‍රාම නිලධාරීවරිය නැගිටීමට මත්තෙන් ඇය සතුව තිබූ අත් බෑගය පිහියකින් කපා මුදල් හා ජංගම දුරකතනය පැහැර ගෙන ගොස් ඇති බවට ඇය විසින් කෝපායි පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෝපායි පොලිසිය විසින් විමර්ශන මෙහෙයවනු ලබයි ෴


බම්බලපිටියට නව පාලමක් ඉදිකරන්නැයි ජනපති නියෝග කරයි

(09.10.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර මාස පහක් (5) ඇතුළත නව පාලමක් ඉදිකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථිර පාලමක් ඉදිකරන තුරු දින 10 ක් ඇතුලත තාවකාලික පිවිසුම් මාර්ගයක් ඉදි කරන්නැයිද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට මෙම ව්‍යාපෘතිය බාර දී තිබේ ෴


නාවික සෙබළා මුහුණදුන් අවාසනාවන්ත සිදුවීම

(09.10.2023 – 11:39 +0530 – sinhala.adaderana.lk)

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි නාවික හමුදා සෙබළෙක් අවාසනාවන්ත ලෙස මියයෑමේ පුවතක් ‘අද දෙරණ’ට වාර්තා වුණි.

අප වාර්තාකරු පැවසුවේ, මීගස්වැව, බේබියාවැව ගම්මානයේ පදිංචි මෙම නාවික සෙබළා නිවාඩුවට නිවසට පැමිණ සිටිය දී මිතුරෙකු සමග දියනෑමට එළබටු වැවට ගොස් ඇති බවය.

එහිදි පාසි අතර සිටි විෂකටු සහිත ‘හුංගා’ මත්ස්‍යයෙක් නාවික සෙබළාට පැගී ඇති අතර, පසුව වේදනාවෙන් සිටිය දී 1990 ගිලන්රථයක් මඟින් මැදිරිගිරිය රෝහලට රැගෙන ගොස් තිබේ.

එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකි.

මෘත ශරීරය මැදිරිගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොළොන්නරුව රෝහලට රැගෙන ඒමට නියමිතය.

+++++++

+


පන්තියේ රැඳී නොසිටියොත් විභාගෙට ලකුණු නෑ – අධ්‍යාපන ඇමති

(09.10.2023 – 15:00 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේ දී දරුවන් පාසල් පන්ති කාමරය තුළ රැඳීසිටීම අනිවාර්ය වන අතර සියලු‍ම ශ්‍රේණිවලට එය අදාළ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව සිසුන්ට විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරයි.

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ (5) ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර – පහ ශ්‍රේණි දෙකේ (2) දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක් වෙමිනි.

අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් එක්දහස් පන්සියක් (1500) පමණ රැස් කර දේශන පැවැත්වීම මගින් සාර්ථක කරගත හැකි ක්‍රියාවලියක් නොවන බවත් එය, දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවත් මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා එවැනි දේශන පැවැත්වීමේ උපකාරක පන්ති ක්‍රම අදාළ කරගැනීම කෙසේ වත් ප්‍රායෝගික නොවන බව ද කීය.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අවශ්‍ය උපකාරයක් ලබා ගැනීම වරදක් නොවන නමුත් එය වාණිජත්වය පදනම් කරගත් කර්මාන්තයක් දක්වා විකාශනය වී තිබීම යෝග්‍ය තත්ත්වයක් නොවන බව කී අමාත්‍යවරයා වත්මන් ආර්ථික හා සමාජ අභියෝග හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින දෙමාපියන්ට දරුවන්ගේ උපකාරක පන්ති වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන්කිරීමට සිදුවීමේ ඛේදනීය තත්ත්වය වහා ම වළක්වාගත යුතු බවත් එසේ නොවුණහොත් ගුරු පුහුණු සැසි පවත්වා අධික මුදලක් වැය කර ගුරු වැටුප් ගෙවා භෞතික හා මානව සම්පත් සංවර්ධනය කර පාසල් පවත්වාගෙන යාමේ නිදහස් අධ්‍යාපන අරමුණු වියැකී යන බවත් සඳහන් කළේ ය.

ලොව කිසිදු රටක මෙවන් තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් මෙරට පූර්ව ළමා අවධි අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා සංකල්ප හා නිර්ණායක ද මුළුමනින් ම වෙනස් කළ යුතු මට්ටමක පවත්නා බවත් එය ද පූර්ණ පරිවර්තනයකට ලක් කළ යුතු බවත් හෙතෙම මෙහිදී පැවසී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, ශිෂ්‍යත්ව විභාගය සමත් වීම යනු කඩයිම් ලකුණට ඉහළින් ලකුණු ලබාගැනීම නොවන බවත් එම කඩයිම් ලකුණ තීරණය කෙරෙන්නේ රජයට වසරකට සිසුන්ට ලබා දිය හැකි ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රමාණය මත නිසා තව දුරටත් ප්‍රතිපාදන වැඩි කළ හැකි නම් ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු තවදුරටත් අඩු වන බවත් ය.

එබැවින් එම ලකුණු මත දරුවන් මැනීම සාධාරණ නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථා ලබාදීම සඳහා පවත්වනු ලබන මෙම ශිෂ්‍යත්ව විභාගයට දැනට එම පාසල්වල සිටින දරුවන් යොමු කරවීම ඵලරහිත ක්‍රියාවක් බවත් එමඟින් දැනටමත් පවත්නා අනවරත විභාග තරගකාරිත්වය තව දුරටත් උත්සන්න වීම සිදුවන බවත් කීය.

එමෙන් ම ඉදිරියේ දී උසස් පෙළ විභාගය පැවැත්වුණ ද 2024 ජනවාරිවල පාසල්වල ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර ලබන වසර (2024) තුළ අතපසු වූ සියලු‍ විෂය ආවරණ කටයුතු සම්පූර්ණ කර නිමා කරන බව ද ඊට අදාළ ව නිවාඩු කාලය අඩු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය ෴


මීගමුව වැල්ලවීදිය ධීවර ගම්මානයෙන් පොලිසියට චෝදනාවක්

(09.10.2023 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පැමිණිලි කළ තමන්ටම පොලිස් නිලධාරීන් පහරදුන් බවට මීගමුව වැල්ලවීදිය ධීවර ගම්මානයේ ජනතාව මීගමුව පොලිසියට චෝදනා කරනවා.

එම ජනතාව අද (09) උද්ඝෝෂණයක නිරත වුණේ පොලිසියේ මෙම අසාධාරණ ක්‍රියාවට එරෙහිවයි.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් පාසල් වයසේ පසුවන දරුවන් මෙන්ම තරුණ පිරිස් ද ඊට ඇබ්බැහි වී ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව මීගමුව පොලිසියට පැමිණිලි කර තිබුණේ නීතිය මාර්ගයෙන් මෙම ජාවාරමට තිත තැබීමේ අරමුණින්.
නමුත් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වූ ප්‍රදේශවාසීන්ගේ නිවෙස්වලට සති කිහිපයක සිට කිසියම් පිරිසක් ගල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ගල් ප්‍රහාර එල්ල කළ පිරිස් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කළ අවස්ථාවේ සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණිල්ල සිදු කළ තමන්ටම පහර දුන් බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඒ අනුව, පොලිසියේ මෙම අසාධාරණ ක්‍රියාවට එරෙහිව සහ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් මීගමුව, වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය ඉදිරිපිටට පැමිණ අද (09) උදෑසන උද්ඝෝෂණයක නිරත වුණා.

උද්ඝෝෂකයින් හමුවට පැමිණි මීගමුව මූලස්ථාන පොලිසිය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවට පොරොන්දු වීමත් සමග උද්ඝෝෂණය නතර කෙරුණා.

+


නිල්වලා දැන් සන්සුන් : ආපදා තත්ත්වයෙන් මිදෙන ලකුණු

(09.10.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

නිල්වලා ගඟට සම්බන්ධ BR-5 ගංවතුර ආරක්ෂණ බැම්මෙන් මේ වන විට ජලය පිටාර නොයන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවල ආපදා තත්ත්වය පහව යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එම ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව ද අඩු වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

කෙසේ වෙතත්, ඉකුත් දිනවල ගංවතුරෙන් යට වූ මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා.

ඒ අනුව අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ ප්‍රදේශවලට මෙලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ මේ වන විට පවුල් 7,784 කට අයත් පුද්ගලයින් 27,523 දෙනෙකු ගංවතුරින් පීඩාවට පත්ව සිටිනවා.

මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ පිරිස් සහ රෝගී පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඇතුළු ආරක්ෂක අංශ එක්ව සිදු කරනවා.

ගංවතුරෙන් ආපදාවට ලක්වූ පිරිස් වෙත පිසූ ආහාර සහ වියළි ආහාර බෙදා දීම ද ආපදා කළමනාකරණ ඒකකයේ සහ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් සිදු කෙරෙනවා.

ආපදා තත්ත්වය පහව ගිය ද කිඹුල් අවදානම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර, ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (09) උදෑසන 08:00 වන විට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම සටහන්ව පැවතියේ මීටර් 5.03 ක් ලෙසයි.

කෙසේ වෙතත්, බද්දේගම – උඩුගම , බද්දේගම – දොඩංගොඩ, බද්දේගම – අගලිය සහ පෝද්දල – ලබුදූව යන මාර්ග ඇතුළු ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා.

ගිං ගඟ පිටාර ගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3,074 කට අයත් පුද්ගලයින් 8,970 දෙනෙකු මේ වන විට ආපදාවට ලක්ව සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ වක්වැල්ල දොඩම්ගොඩ ආදී ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ ඕපාතගම ප්‍රදේශයේ ආපදාවට ලක්වූ පිරිස් වෙත ආහාර බෙදා දීම ඊයේ (08) රාත්‍රියේ සිදු කෙරුණේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත් වීමෙන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *