සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන් විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන් විශේෂ දැනුම්දීමක්


සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන් විශේෂ දැනුම්දීමක්

(16.02.2026 – 10:14 +0530 – sinhala.adaderana.lk)

මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි.

හෙට (17) ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසය.

පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන (5, 6, 7, 8) දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙස ද ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

හෙට (17) උදෑසන 08:30 ට විභාග ආරම්භ වීමට නියමිත අතර විභාග ආරම්භයට පැයකට (1) පෙර විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යා යුතු අතර සවස් වරුවේ විභාගය පස්වරු 01:30 ට ආරම්භ වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් දහවල් 12:30 වන විට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

මේ අතර විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකථන, bluetooth, ස්මාට් වොච්, සටහන් හෝ ලේඛන කිසිවක් රැගෙන යාම තහනම් වන බවද පැවසු ඉන්දිකා කුමාරි මහත්මිය සෑම අපේක්ෂකයෙකුම සිය අනන්‍යතා පත්‍රය විභාග අවසන්වන තුරු රැගෙන යා යුතු බවද අවධාරණය කළාය.

ඒ සඳහා පාසල් අපේක්ෂකයින්ට ජාතික හැදුනුම්පත, රියදුරු ගමන්පත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය භාවිත කළ හැකි අතර, පෞද්ගලික අපේක්ෂකයින්ට අවශ්‍ය නම් ජායාරූප දෙකක් (2) ග්‍රාමනිලධාරීවරයා විසින් ලවා සහතික කරගත් තාවකාලික හැඳුනුම්පතක් භාවිත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම්දෙයි.

එමෙන්ම සියලු විභාග අපේක්ෂකයින් පිළිතුරු සැපයීමට පළමුව හොඳින් ප්‍රශ්න පත්‍රයේ උපදෙස් කියවා සියලු කොටස් තමා වෙත ලැබී ඇත්දැයි බැලිය යුතු බවද සඳහන් කර සිටි විභාග කොමසාරිස් ජනරාල්වරිය කාලය මැනවින් කළමනාකරණය කර නිවැරදිව විභාග අංකය සඳහන් කර විභාගයට පිළිතුරු සපයන ලෙසද අපේක්ෂකයින්ට දැනුම් දුන්නාය.

අත්අකුරු පැහැදිලිව සටහන් කරන ලෙසත් කිසිදු අවස්ථාවක ටිපෙක්ස් භාවිතයට යොමු නොවන ලෙසත් වැරද්දක් සිදුවුවහොත් එය ඉරකින් කපා නැවත පිළිතුරු සපයන ලෙසත් පැවසු ඉන්දිකා කුමාරි මහත්මිය පිළිතුරු පත්‍රය නිවැරදිව ඇමිණීමට වගබලාගත යුතු බවද සඳහන් කළාය.

+++

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

(16.02.2026 – 07:25 +0530 – sinhala.adaderana.lk)

හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අද (16) දිනයේ සැහැල්ලු මනසකින් සිටීමට කටයුතු කළ යුතු බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.

අද (16) රාත්‍රියේදී නිදි වර්ජිතව අධ්‍යයන කටයුතුවල නිරත වීම සුදුසු නොවන බවත්, ආගමික වතාවත්වල නිරත වෙමින් සිත සන්සුන් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙම කෙටි කාලසීමාව තුළ දී, මේ වන තෙක් අධ්‍යයනය කර නොමැති විෂය කරණු අධ්‍යයනය කිරීම සඳහා කාලය වැය කිරීමෙන් වැළකී සිටින ලෙස ද මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා අවධාරණය කර තිබේ.

දැනට අධ්‍යයනය කර ඇති විෂය මාලාවන් නැවත ආවර්ජනය කිරීම පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වන බව ද විභාගයට පෙනී සිටින සිසුන් වෙත වෛද්‍යවරයා දන්වා සිටී.

මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රශ්න පත්‍රය ලබා දීමෙන් පසු, පළමුවෙනි මිනිත්තු 5 ක කාලය ඉතාමත් වැදගත් වන අතර එම කාලය තුළ මානසික පීඩනය ඉහළ යා හැකි බැවින් පළමු ප්‍රශ්නය සඳහා පිළිතුරු ලිවීමට උත්සාහ නොකරන ලෙසය.

ඒ වෙනුවට එම කාලය, ප්‍රශ්න පත්‍රය හොඳින් කියවා පහසුවෙන් පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්නයක් තෝරා ගැනීමට වැය කරන ලෙසද ඔහු දන්වා සිටී.

එසේ පහසු ප්‍රශ්නයක් තෝරා ගනිමින් පිළිතුරු ලිවීම ආරම්භ කිරීම, විභාගය සඳහා වඩාත් හොඳ ප්‍රවේශයක් වන බවද වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

ඒ මහතා සඳහන් කර සිටියේ මෙම ක්‍රමය අනුගමනය කිරීම හරහා සෘණාත්මක පීඩනය අඩු කර ධනාත්මක පීඩනයක් ඇති කරවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා :

“අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට කලින් පළමුවෙනි වැදගත්ම දේ තමා අධ්‍යයනය කරලා තියෙන පාඩම්වලට අමතරව අලුතින් පාඩම් කියවන්න උත්සාහ කරන්න එපා. කලින් කියවලා තියෙන පාඩම් නැවත අවර්ජනය කරන එක හොඳයි. විභාගයේ දී ඔබේ මනස නිරවුල්ව පවත්වා ගැනීම සඳහා ගෙදරදී සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න. විභාගයට කලින් දවසේ නිදි මරාගෙන පාඩම් කරන එක සුදුසු දෙයක් නෙමේ. හෙට (17) දිනයට අවශ්‍ය පෑන්, පැන්සල් ඔබ සූදානම් කරගන්න. විභාගයට මුහුණ දෙද්දී පළමුවෙනි මිනිත්තු 5 ඉතා වැදගත්. පළමුවෙනි මිනිත්තු 5 ඔබේ හිතේ පීඩනය ගොඩක් වැඩිවෙන්න පුලුවන් ඒ නිසා පළමුවෙනි මිනිත්තු 5 පළමුවෙනි උත්තරය ලියන්න උත්සාහ කරන්න එපා. ප්‍රශ්න පත්‍රය කියවලා ලියන්න පුලුවන් පහසු ප්‍රශ්නයක් තෝරාගෙන තමා විභාගය ලියන්න පටන් ගන්න ඕනේ.”

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 3,545 ක අපේක්ෂකයින් 451,463 ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴

+++

(17.02.2026 – hirunews.lk)

පවතින කාලගුණික තත්ත්වයන් හෝ වෙනත් යම් ආපදා හේතුවෙන් අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට බාධාවක් මතු වුවහොත්, ඒ සඳහා සහාය වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි අවධාරණය කළේ, කිසියම් හේතුවක් මත විභාගයට යාමට අපහසුතාවයක් ඇති වුවහොත් වහාම පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි.

117 (ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)

1911 (විභාග දෙපාර්තමේන්තුව)

+


නීතීඥ ඝාතනයේ රහස් සියල්ල දිගහැරේ! ඝාතකයන් ගැන සියල්ල හෙළිවේ! (15.02.2026)

+


එළැඹෙන 20 වනදා සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා කොළඹට

(16.02.2026 – 16:20 +0530 – sinhala.adaderana.lk)

බුද්ධ ශාසනයට එරෙහි ක්‍රියාමාර්ග හේතුවෙන් සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා ලබන 20 වැනිදා කොළඹට කැඳවා දැනුවත් කිරීමට පියවර ගන්නා බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසයි.

අද (16) පැවති මාධ්‍ය සාකාච්ඡාවකට එක් වෙමින් එම හිමියන් මේ බව පැවසීය.

උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මෙය රජයට කරන අනතුරු ඇඟවීමක් බවයි.

“මීට කලිනුත් ආණ්ඩු තිබුණා. යම්යම් අඩුපාඩුකම් හැම ආණ්ඩුවකම දකින්න තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කලා වගේ අඩුපාඩු නැති කිසිවෙක් නෑ. නමුත් රාජ්‍යක් හැටියට අපි අපේම ඡන්දයෙන් පත්කර ගත්ත, රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගත්ත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදාක තිබිලා නෑ මේ තරම් ඉලක්ක කොට සමස්ථ ශාසනයටම ප්‍රහාර එල්ල කරන ආණ්ඩුවක්”

+


සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයක

(16.02.2026 – 12:41 +0530 – sinhala.adaderana.lk)

ලබන 18 වෙනිදා සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමෙන් ඉවත්වීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ ඔවුන් මුහුණ දෙන ගැටලු කිහිපයකට රජයෙන් විසඳුම් ඉල්ලමිනි.

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය 11 වෙනිදා තම සංගමය සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

“සෞඛ්‍ය නිලධාරි කාර්යාලවල අවශ්‍ය වෛද්‍ය නිලධාරියා නැහැ. සමහරවිට අවශ්‍ය අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නැහැ. ඒ නිසා මහජනතාවට සේවාවන් සැපයීමේදී අධික බරක් ගැනීමට සිදුවෙලා තියෙනවා.

ඔවුන්ට කළ හැකි සීමාවෙන් එහාට ගිහිල්ලා රාජකාරි කරන්න වෙලා තියෙනවා අනුමත වෛද්‍යවරුන් නැතිවීම නිසා. ඒ වගේම අනුමත වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව යාවත්කාලීන කරලා නැති නිසා ජනගහනය වැඩිවෙලා තියෙනවා. ඒකට සාපේක්ෂව අනුමත වෛද්‍යවරුන් වැඩිවෙලා නැහැ.

ඒ වගේම අනෙක් කාර්ය මණ්ඩලවල හිඟයක් තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ඉන්නවා මහජන පරීක්ෂකවරු, ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, හෙදියන් මේ අයගේ එකතුවෙන් තමයි මේ සේවාව සපයන්නේ. මේ කාර්ය මණ්ඩලවල හිඟයක් පවතිනවා. මේ අවශ්‍ය සේවාවන් අදටත් සපයන්නේ, ගැටලු රැසක් මැද.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාවල යටිතල පහසුකම්වල ගැටලු තියෙනවා. අතහැරලා දාපු කාර්යාල තමයි අදටත් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හැටියට පවත්වන්නේ, තාවකාලික පදනමේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ප්‍රධානතම ගැටලුව තමයි ක්ෂේත්‍ර රාජකාරිය. නමුත් මේක කරන්න ප්‍රවාහන පහසුකම් දීලා නැහැ. දීලා තියෙන වාහන පණ ගන්වන්න ගියාම ලොකු ගැටලු මතුවෙනවා. ඒ නිසා ඔවුන් සිය පෞද්ගලික වියදමින් තමයි මේවා සඳහා යොමු වෙන්නේ. මේ විදිහට තමයි මේ නිලධාරීන් මේ පද්ධතිය පවත්වාගෙන යන්නේ.

මේ පද්ධතියට ප්‍රධාන වශයෙන් දත්ත සැපයීමෙන් ඉවත්වීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් තීරණය කරලා තියෙනවා. මේ දත්ත හරහා තමයි දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන්නේ. ඉදිරියේදී ගන්නා තීරණ සම්බන්ධයෙන් පුරෝකතනය කරන්නේ. මේක බෝවන සහ බෝ නොවන රෝග සම්බන්ධයෙන් බලපානවා. මේ හරහා තමයි රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ. මේ දත්ත ඉතාමත් රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත් සාධකයක්.”


Derana 360 | හරීන් ප්‍රනාන්දු | With Harin Fernando (16.02.2026)

+


සූරියවැව වැවේගම ප්‍රදේශයේදි ගිනි අවි කම්හලක් වටලයි : අයියා මලෝ දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(16.02.2026 – hirunews.lk)

බලපත්‍රයක් නොමැතිව ගිනි අවි නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු අයියා මලෝ දෙදෙනෙකු (2) සූරියවැව වැවේගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒ්කකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

ඊයේ (15) දින සවස සිදු කළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව වැවේගම හා වැලිආර පදිංචි අවුරුදු 35 ත් 40 අතර වන සහෝදරයින් දෙදෙනෙක් (2).

සැකකරුවන් සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි වැටලිම සිදුකර තිබෙන්නේ.

මෙම සැකකරුවන් කම්හලක් පවත්වාගෙන යන අතරතුර කලක් තිස්සේ මෙලෙස විවිධ වර්ගයේ ගිනි අවි නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට තිබෙන බව පැවසෙනවා.

වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3400 ක්, මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි ගිනි අවි දෙකක් (2) හා ගිනි අවි නිෂ්පාදනයට ගන්නා කොටස් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර සැකකරුවන් විසින් ගිනි අවි 04 ක් මීට පෙර අලෙවි කළ බවද පවසා තිබුණා.

ඒ අනුව සැකකරුවන්ගෙන් ලද තොරතුරු ඔස්සේ ගිනි අවි මිලට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සූරියවැව පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගම සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත කුමාර යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි වැටලිම සිදුකර තිබුණා.


පාස්කු මහ මොලකරු එලියට..

(16.02.2026 – lankacnews.com)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් සහ වැරදිකරුවන් හෙළිදරව් කරන බවට පොරොන්දු දී බලයට පත් වූ වත්මන් ආණ්ඩුව, එළඹෙන අප්‍රේල් 21 වනදාට පෙර කාව හෝ වැරදිකරු කර මෙම සිදුවීම යටපත් කිරීමට උත්සාහ කරන බව ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම වත්මන් ආණ්ඩුවද බලයට පත්වීමේදී පාස්කු ප්‍රහාරය දේශපාලනිකව ප්‍රයෝජනයට ගත් බවත්, නමුත් සැබෑ වැරදිකරුවන් හෙළි කිරීමට ඔවුන් මෙතෙක් අපොහොසත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

වසර හයකට (6) ආසන්න කාලයක් ගත වී ඇතත්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සුපුරුදු පරිදි වත්මන් ආණ්ඩුවද මහජනයා වෙත ඉදිරිපත් නොකරන බව බෝපගේ මහතා සඳහන් කරයි.

මෙම වාර්තාව ඉදිරිපත් නොකිරීමට ඉන්දියාවේ බලපෑම හෝ මෙරට පොලීසියේ හා දේශපාලනයේ නිරත ඉහළ නිලධාරීන්ගේ බලපෑම හේතු වී ඇත්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

කාදිනල්තුමා සහ කතෝලික ජනතාව දීර්ඝ කාලයක සිට යුක්තිය ඉල්ලා සිටින පසුබිමක, ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ කඩිනමින් නඩුවක් පවරා, විත්තිකරුවන්ට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට පූර්ණ අවස්ථාව ලබා නොදී, කාව හෝ වැරදිකරු කර මෙම ප්‍රශ්නයෙන් නිදහස් වීමට බවට ඔහු චෝදනා කරයි.

අප්‍රේල් 21 වනදාට පෙර මෙලෙස හදිසියේ තීන්දුවක් ගැනීමට උත්සාහ කිරීම තුළින් සැබෑ යුක්තිය ඉටු නොවන බවත්, කතෝලික ජනතාව බලාපොරොත්තු වන්නේ සැබෑ වැරදිකරුවන්ට එරෙහිව යුක්තිය ඉටු වීම බවත් නුවන් බෝපගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *