දම් රැජිණ, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී ඇතුළු බස් 58 කට වැඩ වරදියි

දම් රැජිණ, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී ඇතුළු බස් 58 කට වැඩ වරදියි


දම් රැජිණ, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී ඇතුළු බස් 58 කට වැඩ වරදියි

(02.10.2023 – 16:54 +0530 – sinhala.adaderana.lk)

අනතුරුදායක ලෙස මාර්ගවල ගම්න්කිරීමත් සමග රටේම අවධානය යොමුවූ බස් රථ 58 ක් පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර මුදාහැර ඇත.

ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුව එම බස් රථ සමග ඒවායේ හිමිකරුවන් මෙලෙස අද (02) පිටකොටුව ප්‍රදේශයට කැඳවා තිබුණි.

මෙම බස් රථ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩා කතාබහට ලක්වන ‘දම් රැජිණ’, ‘දුඹුරු ළමිස්සී’ සහ ‘රෝස සමනලී’ යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථද තිබී ඇත.

එහිදී බස් රථවල ඇති සියලු නීතිවිරෝධී කොටස් ඉවත්කිරීමට රථවාහන පොලීසිය විසින් ඒවායේ හිමිකරුවන් සහ රියදුරන් වෙත අවවාද කර ඇත.

මෙහිදී ඇතැම් බස් රථවල ඇතුළත සමාජ ශාලා ලෙස සකස් කර තිබූ අයුරු දැකගත හැකිවූ අතර ඇතැම් බස්රථවල සාද පැවැත්වීම සඳහා වෙනම කොටසක් සකස්කර තිබී ඇත.

මේ අතර පොලිස් රථවාහන කොට්ඨාශය පවසන්නේ නීතිව්රෝධී ලෙස බස් රථ සකස් කර ඇති සහ දැඩි අනතුරුදායක ලෙස මාර්ගයේ බස් ධාවනය කරන්නන් හට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

++++++++

++++++++

+


ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවයි

(02.10.2023 – 14:15 +0530 – sinhala.adaderana.lk)

ඖෂධ කළමනාකරණ, විශ්ලේෂණ හා උපාය මාර්ග විද්වත් කමිටුවේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

“හදිසි මිලදීගැනීම් මහ නරක වචනයක් හැටියට තමයි මේ සමාජගතවෙලා තියෙන්නේ. කමිටුවක් පත්කළා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ කමිටුව තීන්දුවක් ගත්තා වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි මිලදී ගැනීම් නතර කරන්න. ගිය සතියේ ඉඳන් අපි හදිසි මිලදීගැනීම් කියන එක සම්පූර්ණයෙන් නතර කළා. සාමාන්‍ය තත්ත්වයට යන්න පුළුවන් තත්ත්වයකට දැන් අපි ඇවිල්ල තියෙනවා.”

මේ අතර පසුගිය දිනවල ඇතැම් රෝගීන්ට සංකූලතා ඇති කළ ‘ඉමුයුනෝ ග්ලොබියුලින්’ නැමැති ඖෂධය මෙරටට ගෙන්වීමේදී එම සමාගම ඉදිරිපත් කළ ලියාපදිංචි සහතිකය ව්‍යාජ යැයි තොරතුරු තහවුරු වූ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

++++++++++

+


බියගම කාන්තාවගේ ඝාතනය සිදු කළේ කපුවාගේ සැලසුමකට අනුව බව සැකකාර ව්‍යාපාරිකයා පවසයි

(03.10.2023 – 15:56 +0530 – hirunews.lk/sinhala)

ගෙල කපා අනතුරුව දෑත් සිරුරින් වෙන් කර ඝාතනය කළ මුල්ලේරියාවේ පදිංචි ප්‍රදීපා ද සිල්වා නම් කාන්තාවගේ ඝාතනය, පොලිසියට භාර වූ ව්‍යාපාරිකයා සහ කපුවාගේ සැලසුමකට අනුව ක්‍රියාත්මක වූවක් බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

ගෙල කපා කාන්තාව ඝාතනය කර පසුව හිස සහ දෑත් කඳින් වෙන් කර ඇත්තේ ද මෙම කපුවා විසින් බව ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

බියගම කොට්ටුන්න වැවේ තිබී අත් සහ හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් සැක කෙරුණු ව්‍යාපාරිකයා නීතිඥයින් මාර්ගයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයට ඊයේ (02) භාර වුණා.

පොලිසිය පැවසුවේ මෙම අපරාධයට ඔහුට සහාය වූ කපුවෙකු ද පොලිසියට භාර වූ බවයි.

ඔවුන් කාන්තාවගේ මළ සිරුර ප්‍රවාහනය කළ මෝටර් රථය ද නුවරඑළිය ප්‍රදේශයේ විහාරස්ථානයක දමා ගොස් තිබියදී සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු කපුවා සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි වශී ගුරුකම් සහ නිධන් කැණීමෙහි නිරතවූ වී සිටි පුද්ගලයෙක් බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අනියම් සම්බන්ධතාවය පවත්වන කාන්තාවගෙන් තමන්ට කරදර ඇති බව ව්‍යාපාරිකයා විසින් මෙම කපුවා සමඟ පැවසු විට කාන්තාව රැගෙන එන ලෙසත් ඇයව මරා සඟවා තැබීමේ වගකීම තමන් භාරගන්නා බවත් ව්‍යාපාරිකයාට සහතික වී ඇත්තේ මෙම කපුවා විසින් බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

ව්‍යාපාරිකයා විසින් අදාළ කාන්තාවට නිවාස සහ දේපල රැගෙන දී ඇත් බවත්, එම දේපල කූලී පදනම මත ලබා දී ඇය මාසිකව ආදායමක් ලැබූ බවත් හෙලී වී තිබෙනවා.

ඒ අනුව මෙම කාන්තාව කතා කරගෙන කපුවාගේ සැලසුමට අනුව ඇයව අපරාධ ස්ථානයට රැගෙන පැමිණි විට ගෙල කපා කාන්තාව ඝාතනය කර ඇත්තේත්, පසුව හිස සහ දෑත් කඳින් වෙන් කර ඇත්තේත් මෙම කපුවා බවටයි අදාළ ව්‍යාපාරිකයා පාපොච්චාරණය කර තිබෙන්නේ.

කපුවාගේ සැලසුමට අනුව මෙම ව්‍යාපාරිකයා විසින් කඩුවෙල ප්‍රසිද්ධ අවන්හලක් වෙත කැඳවා පසුව සිය මෝටර් රථයෙන් ඝාතනය සිදු කෙරුණු ස්ථානය වන සිය පාළු නිවෙස වෙත රැගෙන ගොස් ඇති බවත් හෙලි වි තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි ෴


සීතාට වෙඩි තියලා තියෙන්නේ යකඩ උණ්ඩවලින් : රබර් උණ්ඩ කතාව බොරුවක්

(03.10.2023 – 12:57 +0530 – hirunews.lk/sinhala)

මහියංගණ පෙරහර මංගල්‍යය සඳහා ගෙන එන ලද සීතා ඇතින්නට වෙඩි තැබූ සිවිල් ආරක්ෂක භටයා වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ රබර් උණ්ඩ නොව යකඩ මූණිස්සම් බව සීතා ඇතින්නට ප්‍රතිකාර කරනු ලබන පශු වෛද්‍ය විශේෂඥවරුන් විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

පශු වෛද්‍ය විශේෂඥවරුන් විසින් සීතා ඇතින්නගේ ස්කෑන් සහ එක්ස්‍-රේ පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ යකඩ උණ්ඩ 8 ක් සීතා ඇතින්නගේ ශරීරය තුළ තිබෙන බව සොයා ගත් බවයි.

නමුත් සීතා ඇතින්නගේ වාසනාවට මෙම යකඩ උණ්ඩ හෘදයවස්තුව සහ පෙනහළු පසාරු කරගෙන ගමන් කර නොමැති බවත් එසේ වූවා නම් ඇතින්නගේ තත්ත්වය මීට වඩා බරපතළ වන බවත් එම විශේෂඥවරුන් දන්වා සිටියා.

මේ වන විට මාංශ පේශි පසාරු කරගෙන ගොස් ඇති මෙම යකඩ උණ්ඩ සැත්කමක් මඟින් ඉවත් කරනවා ද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව ද එම වෛද්‍යවරුන් විසින් සඳහන් කළා ෴

++++++

+


බිළිඳියගේ මරණය ගැන හදවත් කම්පා කරවන අනාවරණයක්

(03.10.2023 – 21:54 +0530 – sinhala.adaderana.lk)

මීට දින කිහිපයකට පෙර ඌරුබොක්ක, මැකිලියතැන්න ප්‍රදේශයේ සයමස් (6) වියැති බිළිඳියක් මියයෑමේ සිදුවීමට අදාළව අතර දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව අද (03) ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය 30 වැනිදා පස්වරුවේ බිළිඳිය නාවමින් සිටින අතරතුර නිවසේ ඇතිකරන සුනඛයා සිය කකුලෙන් ඇල්ලූ බවත්, ඒ සමග තමා කලබලවීම නිසා දරුවාගේ හිස බිත්තියේ වැදුණු බවත් මව එදින පොලිසියට පවසා තිබුණි.

කෙසේවෙතත් බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.ඩී. සමරවීර මහතාගේ නිගමනය කළේ, හිස් කබලට, මොළයට, උරස් කොඳුඇට පෙළට, පපුවට, උදරයට, සහ යටි හනුවලට මොට බලයක් යෙදීම හේතුවෙන් මරණය සිදුව ඇති බවය.

ඒ අනුව ඌරුබොක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

+++++++++

+


විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම අනිද්දායින් අවසන්

(03.10.2023 – 18:16 +0530 – hirunews.lk/sinhala)

2022 – 2023 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලය අනිද්දා (05) දිනයෙන් අවසන් වනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ අන්තර්ජාලයෙන් එම අයදුම්පත් තවදුරටත් යොමුකළ හැකි බවයි.

2022 වර්ෂය සඳහා පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මතයි මෙම අයදුම්පත් භාරගනු ලබන්නේ ෴

ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය මෙන්න

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි ෴


හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

(03.10.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළට ගෙන ඒමට තැත් කළ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට රේගු ආදායම් අධීක්ෂණ අංශය සමත් වී තිබෙනවා.

අදාළ පිරිස කටුනායක ගුවන් බඩු අංගනයෙන් මෙරටට පැමිනීමට තැත් කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි රේගුව පවසන්නේ.

මෙහිදී හෂිස් කිලෝග්‍රෑම් 50 කට අධික ප්‍රමාණයක් බවයි සඳහන් වන්නේ.

රේගු දෙපාර්තමේන්තුව සදහන් කළේ සිය ආදායම් අධීක්ෂණ අංශය විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි.

මේ වන විට ඔරුගොඩවත්ත ආදායම් අධීක්ෂණ අංශයේදී එම භාණ්ඩ පරීක්ෂාවට ලක් කෙරෙන බවයි සඳහන් වන්නේ.

+


හිස අත් පා වෙන්කළ කාන්තා ඝාතනයේ පාපොච්චාරණය පරස්පරයි

(03.10.2023 – 20:47 +0530 – sinhala.adaderana.lk)

මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) පොලිසියට භාර වූ ව්‍යාපාරිකයා සහ කපුවා පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) සපුගස්කන්ද පොලිසියට අවසර ලබා දී තිබේ.

පොලීසිය පවසන්නේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ පරස්පර බවය.

T.G. ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට සපුගස්කන්ද පොලිසිය සමත්ව තිබේ.

ඒ ඊයේ (02) පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයා සහ කපුවාගෙන් සිදුකෙරෙන මූලික ප්‍රශ්නකිරීම් වලදීය.

එහිදී සැකකාර කපුවා පොලිසියට පවසා ඇත්තේ අදාළ කාන්තාවගෙන් ව්‍යාපාරිකයාට නිතර කරදර සිදුවූ අතර, දුරකථන ඇමතුම් ලබාදී කරදර සිදුකරන ඇය හේතුවෙන් ව්‍යාපාරිකයාගේ නිදහස ද සීමාවී තිබුණු බවය.

ඒ අනුව “මේ ගැටලුව විසඳාගමු” යැයි තමා ව්‍යාපාරිකයාට යෝජනා කළ බවත්, ඒ සඳහා මන්නයක්ද මුවහත් තබා සූදානම් කළ බවත් සැකකාර කපුවා පොලිසියට පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා ඇත්තේ අදාළ දිනයේදී ව්‍යාපාරිකයා ඔහුගේ මෝටර් රථයෙන් කාන්තාව සපුගස්කන්දේ නිවස වෙත රැගෙන ආ බවත් එහිදී කාන්තාව නිවසේ කාමරයක සිට පිටතට පැමිණෙද්දී තමා ඇයට මන්නා පහරක් එල්ල කළ බවත්ය.

එහිදී ඇය පුටුවක වාඩි වී ‘සුධීර සුධීර’ යනුවෙන් ව්‍යාපාරිකයාගේ නම කියා කෑගැසූ බවත් කපුවා විමර්ශන නිලධාරීන්ට පවසා තිබේ.

කාන්තාව මියගිය පසු රුධිරය තැවරුණු ස්ථාන සෝදා දමා බිත්තිවල තීන්ත ආලේප කර කාන්තාවගේ ඇඳුම් පුලුස්සා දැමූ බවද සැකකරු පාපෝච්චාරණය කර තිබේ.

අනතුරුව ව්‍යාපාරිකයා සමග එක්ව සිරුර කොටස් කර එදින රාත්‍රියේම ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන් රැගෙන ගොස් කොට්ටුන්න වැවට සම්බන්ධ ඇළ මාර්ගයකට සිරුර සහ මන්නය විසි කළ බව කපුවා පවසා ඇත.

නමුත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමා සහ කාන්තාව අවන්හලේ සිට මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදීත් බහින්බස් වීමක් සිදුවීමෙන් පසු කඩුවෙලට නුදුරින් පිහිටි පාලමක් අසලින් ඇය බැස ගිය බවය.

පසුව ඇය ත්‍රීරෝද රථයක නැගී සපුගස්කන්ද නිවසට පැමිණි අවස්ථාවේදී කපුවා සමග බහින්බස් වී ඇති බවද ව්‍යාපාරිකයා පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමා නිවසට පැමිණෙනවිටත් කපුවා විසින් කාන්තාව ඝාතනය කර තිබුණු බවය.

එම අවස්ථාවේදී “උඹ කළානම් උඹ භාරගනින්” යැයි තමා කපුවාට බැන වැදුණු බවත් පසුව ඔහු, සිරුරින් අත් පා වෙන් කර සිරුර ඇළ මාර්ගයට රැගෙන ගොස් එහි දැමූ බවත් ඔහු පොලිසියට පවසා තිබේ.

ඒ අනුව පොලිසිය සැක පළ කරන්නේ විමර්ශන නොමග යැවීම සඳහා සැකකරුවන් දෙදෙනා පරස්පර ප්‍රකාශ සිදුකරන බවය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ඔසිත ලංකා ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


කාලගුණයෙන් රතු නිවේදන – අවදානම් ප්‍රදේශ මෙන්න (03.10.2023 11pm)

+


“මිස්ට වික්‍රමසිංහ, මට කතා කරන්න දෙනවද?” (03.10.2023)

DW Exclusive: Sri Lankan president slams Easter Sunday bombing allegations I DW News

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *