බිලිඳාට ජීවිතය දී ෆාහිමා වෛද්‍යවරිය අවසන් ගමන් යයි

බිලිඳාට ජීවිතය දී ෆාහිමා වෛද්‍යවරිය අවසන් ගමන් යයි


බිලිඳාට ජීවිතය දී ෆාහිමා වෛද්‍යවරිය අවසන් ගමන් යයි

(25.09.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala)

රුධිර පීඩනය වැඩි වී විවේකීව නිවෙසේ සිටි මහනුවර රෝහලේ වෛද්‍යවරියක් හදිසියේ අසනීප වී අමාරු තත්ත්වයේ සිටි මාස දෙකක් (2) වයසැති එම රෝහලේ 4 වැනි වාට්ටුවේ නේවාසිකව සිටි බිලිඳෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ගොස් දරුවා සුවපත් කිරීමෙන් පසු මෙම වෛද්‍යවරියගේ රුධිර පීඩනය වැඩි වී මිය ගොස් තිබෙනවා.

දරුවා සිටි අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමෙන් පසු මෙම වෛද්‍යවරියගේ රෝගි තත්ත්වය උත්සන්න වීම නිසා ඇය එම රෝහලේම දැඩි ප්‍රතිකාර ඒක්කයට ඇතුළත් කර තිබෙන අතර ඒ වන විටත් ඇයගේ රුධිර පීඩනය 200 ඉක්මවා තිබුණ බවයි රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ෆාහිමා සහබ්ඩීන් නමැති 53 හැවිරිදි මහනුවට අනිවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්.

අධික රුධිර පීඩනය නිසා ඇයගේ හිසේ නහරයක් පුපුරා යෑමෙන් ඇති වූ අභ්‍යන්තර රුධිර වහනය නිසා මෙම මරණය සිදු වී ඇති බවයි වෛද්‍යවරුන් පවසා සිටියේ.

විවේකීව සිටීමට වෛද්‍ය උපදෙස් ලබා තිබියදී මෙම රෝගි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඇය රෝහලට පැමිණ ඇති අතර රෝහල් බලධාරීන් පවසන්නේ ඇයගේ සේවා කාලය තුළ ඇය දිවා රෑ නොබලා වෙහෙස වී රෝගීන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ බවයි.


සුපිරි වෙළෙඳසැල්වලට පොලීසියෙන් දැනුම්දීමක්

(25.09.2023 – 08:13 +0530 – sinhala.adaderana.lk)

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, භාණ්ඩ සොරකම් කළ වරදට නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කළේය.

“ඔබගේ ආයතනයේ තිබෙන යම් භාණ්ඩයක් සොරකම් කරනවා ඔබ දුටුවොත් (ඔබට ආරක්ෂක නිලධාරීන් ඉන්නවා විශේෂයෙන් සුපිරි වෙළෙඳ සැලක නම්) එම තැනැත්තාව පාලනය කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න. නමුත් එයට විකල්පය පහරදීම නෙමෙයි. කිසිසේත්ම එය අනුමත කරන්න බැහැ. පහරදීමක් කරොත් අවසානයේ සැකකරුවන් ලෙස එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන්න කියලා මෙවැනි ආයතනවල ඉන්න කළමනාකරුවන්ගෙන් සහ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා. ආයතනය තුළ වැරදි කරන අයෙක් සිටියොත් ආරක්ෂක අංශ හරහා යම් පාලනයක් කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න…”


රුපියල් කෝටි 30 ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

(25.09.2023 – 06:43 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 4 ක් සමඟ කෙන්යානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් කරන ලද පරීක්ෂා කිරීමේදී විශාල වටිනාකමකින් යුත් මෙම කොකේන් තොගය හමු වී ඇති බවයි රේගු ආරංචි මාර්ග පැවසුවේ.

දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට ඊයේ (24) පස්වරුවේ පැමිණි ගුවන් යානයකින් 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගත් බවත් බිස්කට් ටින් 3 ක අසුරා තිබියදී මෙම කොකේන් තොගය සොයාගත් බවත් රේගු ආරංචි මාර්ග පවසනවා.

ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ හරහා සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිත බවත් වාර්තා වෙනවා .

+


24-09-2023

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

(25.09.2023 – 15:54 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ.සී.එන්. පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතී.

මේ අතර www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ ෴


සබරගමුවේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුලු දින දෙකක් (2) වැසේ

(25.09.2023 – 19:32 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (27) සහ ලබන මස 02 වනදා යන දිනයන්හි සබරගමුව පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුලු වසා තබන බව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය පවසනවා.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගැනීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව අනිද්දා (27) සිට ලබන මස 08 වන දින දක්වා එම දින දෙක (2) ද ඇතුළත්ව කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා ලබන මස 09 වනදා දක්වා දඩ මුදල් අය නොකෙරෙන බවද සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළා ෴


ජල බිල්පත කෙටි පණිවිඩයක් මඟින්

(25.09.2023 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මඟින් මාසික බිල්පත් ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මකවන බවයි එම මණ්ඩලය පවසන්නේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ 2023 ඔක්තෝම්බර් 01 වනදා සිට මෙය ක්‍රියාත්මක වන බවයි.

එමෙන් ම මෙම ක්‍රමය 2024 ජනවාරි 01 වනදා සිට දිවයින පුරා සම්මත කරන බවයි එම මණ්ඩලය වැඩි දුරටත් වාර්තා කොට සිටින්නේ ෴


නිවුන් දරුවන්ගේ මියයාම ගැන කළුබෝවිල රෝහලේ ලේඛන පරීක්ෂාවට

(25.09.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

නිවුන් දරුවන් මියයෑමේ මතභේදාත්මක සිද්ධිය පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ලේඛන පරීක්ෂාවක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කර මේ පිළිබඳව විමර්ශන සිදුකරන බවයි.

කැස්බෑව – හෝන්නත්තර ප්‍රදේශයේ පදිංචි අකිලා බොනිෆස් දරු ප්‍රසූතිය සදහා පසුගිය 08 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ අතර පසුගිය 09 වනදා නිවුන් දරුවන් දෙදෙනෙකු (2) ප්‍රසුත කර තිබුණා.

අනතුරුව අඩු බරින් යුක්ත වීම හේතුවෙන් බිළිඳුන් දෙදෙනා (2) නොමේරු ළදරු ඒකකයට ඇතුලත් කර ඇති අතර ඉන් දින 10 කට පසු පසුගිය 18 වනවදා පිරිමි දරුවා මියගොස් තිබෙනවා.

බිලිදාගේ මරණය විෂබිජයක් ශරිරගතවීමක් හේතුවෙන් බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණද පසුව අනාවරණය වී ඇත්තේ ශ්වසන අපසුතාවයක් හේතුවෙන් පිරිමි දරුවා මියගොස් ඇති බවයි.

අනතුරුව පෙරේදා (23) උදෑසන අනෙක් බිලිදිය බැලීම සඳහා නොමේරු ළදරු ඒකකය වෙත ගිය මවට දැනගන්නට ලැබී ඇත්තේ එම බිලිදියද මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මියගිය බිළිඳුන්ගේ ඥාතීන් විසින් කළුබෝවිල රෝහල් පාලනාධිකාරිය වෙත සහ කොහුවල පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

මෙම මරණ සිදුවුයේ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් බවයි දෙමව්පියන් චෝදනා කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම තත්වය සම්බන්ධයෙන් සැළකිල්ලට ගෙන මෙලෙස විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි ෴


මීගොඩ දැවැන්ත කොල්ලයක්

(25.09.2023 – 18:16 +0530 – sinhala.adaderana.lk)

මීගොඩ ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු (2) මුදල් කොල්ලකා පළාගොස් ඇත.

පොලීසිය පවසන්නේ රුපියල් ලක්ෂ 80 කට ආසන්න මුදලක් කොල්ලකා පළාගොස් ඇති බවය.

අද (25) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) ආයුධ පෙන්වා එම වෙළෙඳසැලට ඇතුළු වී මෙම කොල්ලය සිදුකර ඇත.

මීගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


RM Parks සමාගමෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන

(25.09.2023 – 21:11 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks සමාගම ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම ආරම්භ කරන බව බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසනවා.

පසුගිය ජුනි මාසයේදී සමාගම ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම සඳහා වසර 20 ක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

මෙම සමාගමට ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් 150 ක් ලබා දෙන බවත් ඉන්පසුව ඉන්ධනහල් 50 ක් තනිවම විවෘත කිරීමට අවස්ථාව ලැබෙන බවයි වාර්තා වී ඇත්තේ.

මේ අතර පසුගිය අගෝස්තු මස අවසානයේ ඉන්ධන සැපයීම ආරම්භ කළ චීනයේ සිනොපෙක් සමාගම මේ වන විට අංශ දෙකකින් ඉන්ධන සැපයුම ඉදිරියට ගෙන ගොස් ඇති බව ද සඳහන්.

Sinopec දැනට සිය තරඟකරුවන්ට වඩා රුපියල් 3 ක් අඩුවෙන් සියලු වර්ගවල ඉන්ධන ලබා දෙනවා.

මේ තත්ත්වය තුළ දේශීය වෙළෙඳපොළේ මිලට වඩා අඩු මිලකට තම ඉන්ධන සැපයීමට RM Parks සමාගමට ද අවස්ථාව සැලසෙන බවයි අදාළ නිලධාරියා පැවසුවේ ෴


හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5 ක සිර දඬුවම්

(25.09.2023 – 17:47 +0530 – sinhala.adaderana.lk)

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ.

එහිදී රත්නපුර මහාධිකරණ ලංකා ජයරත්න මෙනෙවිය විසින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 05 ක සිර දඬුවම් නියම කර ඇත.

විනිසුරුවරිය මෙම දඬුවම ලබාදෙමින් රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකරුට වැඩිදුරටත් නියෝග කර ඇත.

2015 වසරේ ජනවාරි 05 වනදා කහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කහවත්ත පොලීසිය විසින් සිද්ධියේ සැකකරුවෙකු ලෙස හඳුනාගත් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රීට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *