බොල්ගොඩ ගඟට යාබද හෝටලයේ මඟුල් පෝරුව යටින් මතුවුණ ගලි වළ

බොල්ගොඩ ගඟට යාබද හෝටලයේ මඟුල් පෝරුව යටින් මතුවුණ ගලි වළ


බොල්ගොඩ ගඟට යාබද හෝටලයේ මඟුල් පෝරුව යටින් මතුවුණ ගලි වළ

(24.09.2023 – 19:58 +0530 – sinhala.adaderana.lk)

බොල්ගොඩ ගඟට යාබදව බණ්ඩාරගම ප්‍රදේශයේදී පිහිටා ඇති හෝටලයක් මගින් රහසිගතව බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය මුදාහැර ඇතැයි අංශ කිහිපයක් මගින් සිදුකළ පරීක්ෂාවකදී අනාවරණය කරගෙන තිබේ.

අදාළ ගලි වළ සොයාගැනුණේ හෝටලයේ උත්සව ශාලාවේ මංගල පෝරුවට යටින් ඉදිකර තිබියදීය.

බණ්ඩාරගම බොල්ගොඩ ගඟට යාබදව පවත්වාගෙන යන එම හෝටලය මඟින් බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කරන බවට ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ද දැනුම්වත්කර තිබූ පසුබිමක, අදාළ චෝදනාව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඉදිරිපිටදී තහවුරු කිරීමට ඉකුත් 13 වනදා ප්‍රදේශවාසීන් පිරිසක් එහි ගොස් තිබුණි.

එහෙත්, එම කටයුත්ත අතුරතුර හදිසියේ රෝගී වූ ප්‍රදේශවාසියෙකු රෝහල්ගත කරන අතරතුර මියගියේය.

මෙම සිදුවීම වාර්තාවී දින කිහිපයකට පසුව බණ්ඩාරගම පොලිසිය මගින් මහජන පීඩාව යටතේ ලබාගත් අධිකරණ නියෝගයක් මත අදාළ හෝටලයේ විශේෂ පරීක්ෂාවක් සිදුකළේ ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවෙහි සත්‍යතාවයක් ඇත්ද යන්න සොයාබැලීමේ අරමුණිනි.

මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරින්ද එක්ව සිටි එම පරීක්ෂාවේදී පුරා පැය 7 කට අධික කාලයක් හෝටල් පරිශ්‍රය තුළ හා හෝටල් භූමිය අවට කැණීම් සිදුකර ගඟට භූගතව අපද්‍රව්‍ය බැහැර කරන්නේද යන්න සනාථ කිරීමට හැකිව නොමැත.

නමුත් සවස් භාගයේදී ගම්වාසින්ගෙන් ලද තොරතුරකට අනුව අදාළ නිලධාරින් හෝටලයේ උත්සව ශාලාවේ මංගල පෝරුව ස්ථානගතකර තිබූ තැනින් එය ඉවත්කිරීමේදී ටයිල් අතුරා ආවරණය කර තිබූ රහසිගත ගලිවළ හමුවී තිබේ.

හෝටල් බලධාරින් විසින් ඒවන විටත් ගලි වළට වැලි පුරවා තිබී ඇති අතර, නිලධාරින් පැවසුවේ වැලි අතර තිබී හමුවූ වේළි නොතිබුණු තණකොළවලින් සනාථ වන්නේ ගම්වාසියා මිය යෑමෙන් අනතුරුව නැවතත් ප්‍රයෝජනට ගතහැකි අයුරින් තාවකාලිකව මෙය වසා දමා ඇති බවය.

අදාළ ගලි වළෙහි සිට නල මාර්ගයක් මගින් මළ අපද්‍රව්‍ය ගඟට බැහැර කර ඇතැයි එහිදී සිදුකළ වැඩිදුර පරීක්ෂාකිරීම් වලදී තහවුරුකර ගැනුණි.

හෝටලය සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු හෙට (25) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

+


ප්‍රසිද්ධ තැනක නොහොබිනා ලෙස හැසිරුණු දරුවන්ට පොලීසියෙන් අවවාද

(24.09.2023 – 16:52 +0530 – sinhala.adaderana.lk)

හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කාමර තුළ බාලවයස්කාර දරුවන් අශෝභන ලෙස හැසිරෙන බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ අනුව අද (24) දින හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් එම ස්ථානය වටලා ඇත.

තම දරුවන් සමග අදාළ උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරුවන් ආවරණය කළ කුඩා කාමර තුළ නොහොබිනා අයුරින් හැසිරෙන බවටත් ඒ සඳහා කඩිනමින් පියවරක් ගන්නා ලෙසටත් දැනුම්දෙමින් ප්‍රදේශයේ දෙමාපියන් සහ ආගමික නායකයින් සිදුකළ පැමිණිල්ලක් මත හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාගත් සෝදිසි කිරීමේ නියෝගයක් අනුව එම වැටලීම සිදුකර තිබුණි.

එම අවස්ථාවේ දී අශෝභන ලෙස හැසිරෙමින් කාමර තුළ සිටි තරුණ ජෝඩු 24 ක් පමණ පොලිස් භාරයට ගෙන ඇත.

පසුව එම දරුවන් සියලුදෙනා කැඳවා කරුණු පැහැදිලි කර උපදෙස් ලබාදීමෙන් අනතුරුව අදාළ දැරියන්ගේ භාරකරුවන් වෙත දුරකථන ඇමතුම් ලබාදී මුදාහැරීමට පොලීසිය කටයුතු කර ඇත.

එම ස්ථානයේ සිටි බොහෝ දරුවන් උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් එම ස්ථානයට පැමිණ ඇතැයි එහිදී අනාවරණය වුණි.

වැටලීම සිදුකළ අවස්ථාවේදී එම උද්‍යානයේ හිමිකරු පැමිණ පොලිස් නිලධාරීන් සමග උණුසුම් කතාබහක් ඇති වු අතර මේ හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ද ඇති වූ බව අප වාර්තාකරු පැවසීය ෴

++++++++

+


රට පුරා සොරකමේ ගිය ‘ත්‍රිරෝද රථ අපරාධ කල්ලිය’ අත්අඩංගුවට

(24.09.2023 – 16:28 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිරෝද රථ මගීන් ලෙස සහ රියදුරන් ලෙස ගමන් කරමින් ජනතාවගේ දේපොළ සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

“එම සැකකරුවන් ත්‍රීරෝද රථයේ ගමන් කරන අවස්ථාවේදී ඒ ත්‍රීරෝද රථයේ රියදුරා වෙන්න පුළුවන්, නැත්නම් එම සැකකරුවන් සමග යන මගීන් වෙන්න පුළුවන්. එම සැකකරු මේ ගමන් කරන පුද්ගලයින් සමග සුහදව කටයුතු කරමින් යම් ආකාරයකට අතරමඟ දී බීමට යමක් දෙනවා. ඒ පානය කළාට පස්සේ යම් ආකාරයක සිහි මුර්ජාවක් එනවා. ඊට පසුව මේ සැකකරුවන් විසින් යම්කිසි වටිනා කියන මුදල් සහ රත්‍රං බඩු පැහැරගැනීමක් කරනවා. පසුගිය දිනක පුද්ගලයෙක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ක්ලාන්ත හැදිලා වැටිලා හිටියා. පසුව මේ පුද්ගලයා රෝහල්ගත කරලා මේ පිළිබඳ විමර්ශන කිරීමේදී මේ ගැන අනාවරණ වුණා. ඒ අනුව සැකකරුවන් සොයාගත්තා.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් සෙල්ලයියා චන්ද්‍රමෝහන් නොහොත් මෝහන් නැමති 44 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා ගෟවුසුර් අමීර් මොහොමඩ් නම් 33 හැවිරිදි තිහාරි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනෙක් සැකකරු අබ්දුල් සත්සාර් මොහොමඩ් ඩිල්ෂාන් නොහොත් ඩිල්ෂාන් නම් 33 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයට අපරාධ සිදුකර ඇති අතර රුවන්වැල්ල, වේල්ලවිථිය, මහරගම, හංවැල්ල, ගම්පහ, බියගම, වේයන්ගොඩ, වැලිමඩ යන ප්‍රදේශවල පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ “වැලිමඩ ප්‍රදේශයේදී 2020-12-07 වනදා වයස අවුරුදු 80 ක පුද්ගලයෙක් මේ ආකාරයට අතුරුදන් වෙලා තියෙනවා. ඒ වගේම 2021-10-27 මෙවැනි සිදුවීමකින් වයස අවුරුදු 42 ක පුද්ගයෙක් අතුරදන් වෙලා තියෙනවා. මෙතෙක් ඔවුන් සොයා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් මේ සැකකරුවන්ව පොලීසිය සැකකරනවා.” යනුවෙනි ෴


ව්‍යාපාරිකයාට වෙඩිතැබීමේ CCTV එළියට

(24.09.2023 – 15:18 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල ඩික්සන් පාරේ දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් ව්‍යාපාරිකයාට වෙඩිතැබීම සිදුකරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අප වෙත ලැබී තිබේ.

ගාල්ල නගරයේ පහල ඩික්සන් පාරේ ආණ්ඩුකාර කාර්යාලය අසලදී ඊයේ (23) රාත්‍රී 07:40 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණි.

ගාල්ලේ රෙදිපිළි අලෙවි සැලක හිමිකරුවෙක් සිය නිවස බලා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසිනි.

පොලීසිය පවසන්නේ ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ඒ අනුව ව්‍යාපාරිකයා ගමන් ගත් මෝටර් රථයේ ස්ථාන රැසකට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ අයුරු දක්නට ලැබුණි.

එමෙන්ම එම ස්ථානයේ තිබී පතරොම් හිස් කොපු 24 ක් පමණ පොලිසිය සොයාගෙන තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණත් ඔහු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ, ගාල්ලේ නිමි ඇඳුම් අලෙවි සැලක හිමිකරුවෙක් වන 61 හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාය.

ඔහු රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ මාමණ්ඩිය වෙයි.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ, ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (24) ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් සිදුකරනු ලැබූ අතර අධිකරණ වෛද්‍ය නිලධාරියාත් එහි පැමිණ පරීක්ෂණ පැවැත්වූ බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

+


කළුබෝවිල ශික්ෂණ රෝහලේදී මියගිය අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනා

(24.09.2023 – 13:53 +0530 – sinhala.adaderana.lk)

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නිවුන් දරුවන් දෙදෙනා (2) මියයාමේ සිද්ධියක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම දරුවන් ගේ මව්පියන් චෝදනා කරන්නේ, රෝහලේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මීට හේතු වූ බවයි.

කැස්බෑව, හොන්නන්තර සර්වෝදය මාවත ප්‍රදේශයේ පදිංචි අකිලා බොනිපස් දරු ප්‍රසූතියක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණේ, පසුගිය 08 වැනිදාය.

ඇය ඊට පසුදින නිවුන් දරුවන් ප්‍රසුත කර තිබූ අතර, එම දරුවන් නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර තිබේ.

ඉන් පිරිමි දරුවා පසුගිය 19 වැනිදා මියගොස් ඇති අතර, වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දරුවා මියගොස් ඇති බවයි.

ඉන් අනතුරු ව දරුවන් ගේ මව අනිත් දරුවාට මව්කිරි ලබාදීමට යන අවස්ථාවේ දී එම දරුවා ද මියගොස් ඇති බව අනාවරණ වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවන් ගේ මව්පියන් කොහුවල පොලිසීයට පැමිණිල්ලක් ද කර තිබේ.

කෙසේ වෙතත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය ගෙන් ‘අද දෙරණ’ විමසීමක් කළ අතර, ඇය පැවසුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ උපදෙස් පරිදි කමිටුවක් පත්කර මේ සම්බන්ධයෙන් සොයා බලන බවයි.

සිද්ධිය පිළිබඳ පැවසූ මියගිය දරුවන් ගේ මව අකිලා බොනිපස් :

“කන කහ වෙලා. බලද්දි කන හැමතැනම කක්කා. පිහිදලා නෑ ළමය ව. මිඩ්වයිෆ් කිවුවා කක්කාවලිනුත් විෂබීජ යනවා කියලා. ‘බබා හොඳයි තිස් හතරෙන් දෙනවා’ හැමදාම ගියාම ඒක තමා කිවුවෙ. අරයා නැති වුණාමත් කිවුවා ‘මෙයා හොඳ බබෙක් නේ අම්මා අරයට තිබුණා නේ පොඩ්ඩක් ප්‍රශ්න එහෙම’ කියලා. හම්බවෙලා සති දෙකයි; අරයා දවස් 10 න් ගියා මෙයා දවස් 14 න් ගියා”

+

+


පොලිස් වෙසින් පෙනී සිටි මැණික් සොරා අත්අඩංගුවට

(24.09.2023 – 10:24 +0530 – sinhala.adaderana.lk)

පොලිස් නිලධාරීන් බව පවසා මැණික් ගලක් කොල්ල කෑ සැකකරුවකු ඊයේ (23) කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 47 හැවිරිදි බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 17 වැනිදා මහනුවර කටුගස්තොට, වට්ටාරන්තැන්න පටුමඟේ දී මෙම සැකකරු තවත් කිහිප දෙනෙකු සමඟ සංවිධානාත්මක ව මෙම කොල්ල කෑම සිදු කර ඇති බව පොලීසිය පවසයි.

සොරකම් කළ මැණික් ගල රුපියල ලක්ෂ 12 ක් පමණ වටිනා නිල් පැහැති මැණිකක් බව වාර්තා වේ.

මැණික් ගල රැගෙන ආ පුද්ගලයාට එය මිල දී ගැනීමට අවශ්‍ය බවට දුරකථන ඇමතුමක් ලබා දී මෙම සැකකරු ඔහු ගේ සගයෙකු සමඟ කාර් රථයකින් පැමිණ මැණික පරික්ෂා කරමින් සිට ඇත.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් යතුරුපැදියකින් පැමිණි තවත් සැකකරුවකු මැණික රැගෙන ආ පුද්ගලයාව බිය වද්දා මැණික් ගල රැගෙන පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴


තරුණයින් නොමග යැවූ යුවළ අත්අඩංගුවට

(23.09.2023 – 22:19 +0530 – sinhala.adaderana.lk)

සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරි විවාහක යුවලක් හොරණ කුඹුක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලීසිය පැවසුවේ මෙම සැකකාර යුවළ විසින් වයස අවුරුදු 16 ත් 22 ත් අතර තරුණ කොටස් ඉලක්ක කරමින් මෙම සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැර ඇති බවය.

23 හැවිරිදි සැකකාරිය හා 25 හැවිරිදි සැකකරු අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *