වයස අවුරුදු 13 ක පිරිමි දරුවකුට සිදුකල ලිංගික අතවර චෝදනාවකට වල්සාදුවෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 13 ක පිරිමි දරුවකුට සිදුකල ලිංගික අතවර චෝදනාවකට වල්සාදුවෙකු අත්අඩංගුවට


වයස අවුරුදු 13 ක පිරිමි දරුවකුට සිදුකල ලිංගික අතවර චෝදනාවකට වල්සාදුවෙකු අත්අඩංගුවට

(21.09.2023 – 09:12 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

වයස අවුරුදු 13 ක පිරිමි දරුවකුට ලිංගික අතවර කළ බව කියන වල්සාදුවෙකු ඇහැටුවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, බෝගස්වැව ප්‍රදේශයේ රාජමහා විහාරයක ලැගසිටි සිටි වල්සාදුවෙකු බව වාර්තා වේ.

සැකකාර වල්සාදුවා ලැගසිටි විහාරස්ථානයේ සිටි පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අතවරයන්ට මුහුණ දෙන බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරක් ලැබී ඇත.

එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය ඇහැටුවැව පොලීසියට දැනුම් දී ඇති බව සඳහන්ය.

ඒ අනුව ඇහැටුවැව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරු ව සැකකාර වල්සාදුවා අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත් දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ ෴


ක්‍රිකට් ආයතනයේ තවත් අක්‍රමිකතා රැසක් අනාවරණය වෙයි

(21.09.2023 – 22:14 +0530 – hirunews.lk/sinhala)

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරන ලද ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විගණන වාර්තාව මගින් ක්‍රිකට් ආයතනය සිදුකර ඇති තවත් අවභාවිතාවන් රැසක් අනාවරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෘත්තිය ගාස්තු යටතේ මෙම වසරේ මුල් මාස 03 තුළදී රුපියල් මිලියන 28.7 ක් වියදම් කර ඇති අතර ඉන් 80% ක් එනම් රුපියල් මිලියන 23.1 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යවරයා සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් පාර්ශ්වකරුවන් කරමින් අතුරු තහනම් නියෝග ලබාගැනීම සඳහා බාහිර නීතිඥවරුන් වෙනුවෙන් ගෙවා ඇති බවයි විගණන වාර්තාව තහවුරු කළේ.

2022 පන්දුවාර 20 ලෝක කුසලානය තරගාවලිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබූ කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීම වැළැක්වීමේ අතුරුතහනම් නියෝගයක් ලබාගැනීම සඳහා බාහිර නීතිඥවරුන් වෙත රුපියල් මිලියන 11.5 ක් මුදලක් මේ වසරේ පෙබරවාරි 03 වැනිදා ගෙවා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි පැනවීමට සහ සංශෝධනය කිරීම සඳහා නිකුත් කළ ගැසට් පත්‍රය පිළිබඳ උපදේශන හා නීති උපදෙස් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2023 පෙබරවාරි 10 වැනි දින රුපියල් කෝටියක් නීතිඥවරයෙකුට ගෙවීමද මෙම විගණන වාරතාවේ දැඩි අවධානය යොමු වූ කරුණක් මීට අමතරව වයස අවුරුදු 50 ට වැඩි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සඳහා රුපියල් ලක්ෂ 73 ක් හෙවත් ඇමරිකානු ඩොලර් 20,000 ක් ඔස්ට්‍රේලියාවේ ගිණුමකට බැරකර තිබෙනවා.

ඒ ක්‍රීඩකයින් 05 දෙනෙකු සඳහා අනුග්‍රහකත්වයක් ලබාදෙන ලෙස වයස සෙනරත් ඒ සෙනෙවිරත්න නම් තැනැත්තෙකු විසින් කර තිබූ ඉල්ලීමක් අනුවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් විගණකාධිපතිට ලබාදුන් පිළිතුරේදී ක්‍රීඩකයින් 08 දෙනෙකුගේ නම් සඳහන් කර තිබූණා.

වයස අවුරුදු 50 ට වැඩි එම ක්‍රීඩකයින් ලෙස නම් කර තිබුණේ සෙනරත් සෙනෙවිරත්න, රුවින් පීරිස්, සුරංජිත් ධර්මසේන, සුවංජි මදනායක, පාලිත ලියනගේ, වජිර විජේගුණවර්ධන, ෂේන් ප්‍රනාන්දු සහ කාමන් මාපටුන යන අයයි.

එම ඉල්ලීම සිදු කර ඇත්තේ 2022 වසරේ ජනවාරි 06 වැනි දින වූ නමුත් ඉන් වසරකට ආසන්න කාලයකට පසු 2022 දෙසැම්බර් 14 වැනිදා මෙම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම අවසන් වාර්ථාවට පෙර නිකුත් කළ කෙටුම්පත පදනම් කරගෙන රට තුළ මහත් ආන්දෝලනයක්ද ඇති වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විගණන කෙටුම් පතින් එල්ල වූ චෝදනා වලට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා දුන් විටද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පිළිතුරු දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වේච්ඡා සංගමයක් වන බවයි.

එවැනි ස්වේච්ඡා සංගම් සඳහා ඕනෑම බාහිර හෝ නියාමන පාලනයකින් නිදහස්වීම සහතික කර ඇති බවත් ක්‍රිකට් ආයතනය පෙන්වා දී තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට සමාගම් පනත යටතේ ස්ථාපිත ආයතනයක් නොවන බවත් එය පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රඥප්තියකින් හෝ නීතියකින් හෝ පනතකින් සංස්ථාපනය කරන ලද ආයතනයක් නොවන බව සඳහන් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ කොටස් හිමිකමක් හෝ රජයේ පාලනය සතු පොදු ව්‍යාපාරයක් නොවන බවත් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් විගණකාධිපතිවරයා සිය අවසන් වාර්තාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ ස්ථාවරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර කිබෙනවා.

සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 29 වැනි වගන්තිය යටතේ සහ ඊට අදාළ නියෝග යටතේ කටයුතු කිරීමට බැදී සිටින බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාද කමා වෙත තහවුරු කර ඇති බවයි විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

1993 අංක 47 දරණ සංශෝධිත ක්‍රීඩා පනතින් 09 වැනි ඡේදය යටතේ 21(අ)3 යටතේ සෑම කමිටුවක්ම සහ සංගමයකම ගිණුම් විගණකාධිපති විසින් විගණනය කළ යුතු බව සඳහන්.

ඒ අනුව, විගණකාධිපති විසින් අදාළ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර අවස්ථානුකූලව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවටද කැඳවීමට හැකිවන බවද විගණකාධිපතිවරයාගේ ස්ථාවරයයි.

සියලුම ක්‍රීඩා සංගම්වල මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඒ සංගම් විසින් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු අතර එය පාර්ලිමේන්තුවට වගකිව යුතු බවද ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්වා තිබෙන බව සිහිපත් කරමින් විගණකාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ක්‍රීඩා සංගමයක් බැවින් ක්‍රීඩා පනත සහ නියෝගවල සඳහන් කරුණු ඉටු කිරීමට බැදී සිටින බවයි.

1993 අංක 44 දරණ පනතින් සංශෝධිත 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 21(අ)3 උප වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කර ඇති සෑම ජාතික සංගමයක්ම විගණකාධිපතිවරයාගේ විෂය පථයට අයත්වන බව විගණකාධිපතිවරයාගේ ස්ථාවරයයි.

එමෙන්ම 2016 ඔක්තෝම්බර් 27 වැනිදා අංක 1990/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලද ක්‍රීඩා නියෝගයන්ට අනුවද විධායක කමිටුව විසින් සහතික කළ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවද සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි සංගමයක් වන බැවින් හා එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරන ලද ක්‍රීඩා නියෝග අනුව විගණකාධිපතිවරයා වෙත මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන බැවින් ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව මගින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් කර තිබෙන බවයි විගණකාධිපතිවරයා සිහිපත් කරන්නේ.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයා විසින් විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන අතර එම වාර්තාව පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 120 අනුව පොදු ව්‍යාපාර කාරක සභාවේ විමර්ශනයට ද යටත් කිරීමට හැකියාව ඇති බවත් එහිදී පෙන්වා දී තිබෙනවා.

+


‘හරක්කටා’ ලඟ මත් පෙති

(21.09.2023 – 20:48 +0530 – hirunews.lk/sinhala)

රැඳවුම් නියෝග මත දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ළඟ තිබී මත්වීම සඳහා භාවිත කරන පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා.

අපරාධකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන බැවින් ඔවුන්ට ඒවා නොමැති වූ අවස්ථාවන්වල ඒ සඳහා මත්පෙති භාවිත කරන බවයි පොලීසිය සඳහන් කළේ.

‘හරක් කටා’ට එම මත්පෙති ලබාදී ඇත්තේ දැනට පලාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා බවටද අනාවරණ වී තිබෙනවා.

එය සනාථ වී ඇතතේ පොලිස් කොස්තාපල්වරයාගේ ලාච්චුවක තිබී මත්පෙති දහසකට (1000) ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමත් සමගයි.

‘හරක් කටා’ට පළා යාමට සහය දුන් බවට චෝදනා එල්ල වී දැනට අතුරුදන්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා රටින් පළා ගොස් නොමැති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විශේෂ මෙහෙයුම් සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

සැකකාර කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනාද පසුගියදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ ඔහුගේ මස්සිනාද, ‘හරක් කටා’ව රැගෙන පළා යාමට තැත් කිරීමේ සැලසුමේ කොටස්කරුවෙකු වී ඇති බවටයි.

පොලිස් කොස්තාපල්වරයාට ‘හරක් කටා’ විසින් රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් ලබා දී ඇති අතර ඉන් කොටසක් පොලිස් කොස්තාපල්වරයා විසින් ඔහුගේ මස්සිනාට ලබාදී ඇති බවට විමර්ශනවලදී හෙලිව තිබෙනවා ෴


‘බූරුමූණා’ ගේ ලොක්කා කොටුවෙයි

(21.09.2023 – 19:36 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන සිටින අපරාධකරුවකු වන ‘ලලිත් කන්නන්ගර’ නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වී තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා ‘බූරුමූණා’ නම් අපරාධකරු, හංවැල්ල හරස් පාර ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ අතර එම අපරාධය මෙහෙයවීමේ චෝදනාව මත ‘ලලිත් කන්නන්ගර’ට රතු නිවේදන ලබාගෙන තිබුණි.

‘ලලිත් කන්නන්ගර’ නමැත්තා ප්‍රදේශයේ ‍වෙළෙන්ඳන්ගෙන් විශාල වශයෙන් කප්පම් ලබාගන්නෙකු සහා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන බව පොලීසිය පවසයි.

ඒ අනුව ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටී.

+


තල්දූවේ වෙඩි වැස්සට හේතුව හෙළිවෙයි

(21.09.2023 – 19:01 +0530 – sinhala.adaderana.lk)

අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරය දැනට ඩුබායි හි රැඳීසිටින ‘මන්නා රමේෂ්’ නම් අපරාධකරු විසින් මෙහෙයවා ඇති බවට සැක කරයි.

අවිස්සාවේල්ල, තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ඊයේ (20) රාත්‍රී 11:15 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහි ඉලක්කය වී තිබුණේ ත්‍රීරෝද රථයකින් අවමගුල් උත්සවයකට යමින් සිටි පිරිසකි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා (2) ඔවුන් වෙතට ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

එලෙස වෙඩි ප්‍රහාර 25 ක් පමණ ඔවුන් වෙතට එල්ලකර තිබේ.

පොලීසිය පැවසුවේ ඉන් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (4) බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ඒ වනවිටත් ඉන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වී සිටි බවය.

එලෙස ඝාතනයට ලක්වී තිබුණේ ‘ඉෂංක චාමික’ නමැති 27 හැවිරිදි තරුණයෙක් සහ ‘ධනුෂ්ක ප්‍රේමලාල්’ හෙවත් ‘පුතා’ නමැති 38 හැවිරිදි පුද්ගලයෙකු බවය.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ බවට පොලීසිය සැකකරන ‘අවන්ත ඉරෝෂන’ නමැත්තාගේ පාදයට පමණක් එහිදී වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

පොලීසිය පැවසුවේ ඔහුගේ පාදයට වෙඩි ප්‍රහාර 05 ක් පමණ එල්ලවී ඇති බවය.

තුවාල ලැබූ සෙසු පුද්ගලයාගේ මුඛයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර ඉන් ඔහුගේ දත් කිහිපයක් කැඩී ගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් පාදය තුවාල ලැබූ ‘අවන්ත ඉරෝෂන’ නමැත්තා ඉලක්ක කරගෙන ‘මන්නා රමේෂ්’ගේ පාර්ශ්වය මීට පෙරද වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එම අවස්ථාවේදීද තුවාල ලබා දිවිබේරා ගැනීමට ඔහු සමත්වී තිබුණි.

තුවාල ලැබූ පුද්ගලයා ‘මන්නා රමේෂ්’ගේ සහෝදරයාට පරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පළිගැනීම සඳහා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකකෙරෙයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *