සහරාන්ගේ නිවස වටලද්දී වහාම කොළඹ එන්නැයි නියෝග දුන්නා.. – හිටපු DIG

සහරාන්ගේ නිවස වටලද්දී වහාම කොළඹ එන්නැයි නියෝග දුන්නා.. – හිටපු DIG


සහරාන්ගේ නිවස වටලද්දී වහාම කොළඹ එන්නැයි නියෝග දුන්නා.. – හිටපු DIG

(16.09.2023 -15:00 +0530 – lankacnews.com)

මෙරටට එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් මෙරට බුද්ධි අංශ සමග වැඩ කළ බවට සාක්ෂි ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ පාලිත සිරිවර්ධන මහතා සඳහන් කරයි.

සහරාන්ගේ නිවස වටලන්න ගිය අවස්ථාවක රහස් පොලිසියේ සාමාජිකයන්ට වහාම ආපසු කොළඹ පැමිණ ලෙස ශානි අබේසේකර දැනුම් දී තිබූ බවත් ඔහු පැවසීය.

සහරාන් සම්බන්දයෙන් සමහර පරීක්ෂණ සාර්ථක වෙමින් පවතිද්දී රාජ්‍ය බුද්ධි සේවය එම පරීක්ෂණ අවුල් කළ බවත් හෙතෙම චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට අලුත් කොමිෂන් සභා උවමනා නැති බවත් තිබුණු කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් බවත් හෙතෙම කියා සිටියි.

බෝම්බ පුපුරවා ගන්න තෙක් සහරාන්ලා නීතියට හසු වෙන්න ඉඩ නොදී ආරක්ෂා කලේ දැයි ප්‍රබල සැකයක් පවතින බව ද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

+++++++++++

‘සොනික් සොනික්’ එළියට.. ‘ඔහුගෙන් ප්‍රශ්න කරන්න එපා’ දුරකථන ඇමතුමක්.. – පාස්කු ප්‍රහාරය ගැන ජිනීවා සිට අනාවරණයක්..

(16.09.2023 – 10:00 +0530 – lankacnews.com)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අන්දෝලනත්මකව කතා බහට ලක්වන ‘සොනික් සොනික්’ නැමැත්තා එවකට රාජ්‍ය බුද්ධි අංශයේ මුස්ලිම් අංශය භාරව සිටි පොලිස් පරීක්ෂක සෙනරත් බණ්ඩාර බවත් එම නිලධාරියා සහ සහරාන්ගේ කණ්ඩායම අතර සමීප සම්බන්ධතා පැවති බවත් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත සඳහන් කරයි.

දැනට ජිනීවා හි රැඳි සිටින ඔහු අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කර ඇත.

එක් අවස්ථාවකදී ‘සොනික් සොනික්’ නම් අන්වර්ථ නාමයෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක සෙනරත් බණ්ඩාර ගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට එවකට පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ මෙහෙය වූ ශානි අබේසේකර ඇතුළු විමර්ශකයින් උත්සහ කළ අවස්ථාවේ එවකට රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ශානි අබේසේකරට දුරකථන ඇමතුමක් ලබා දී අදාළ ප්‍රශ්න කිරීම් නවතා දමන ලෙස දන්වා ඇති බවද ශ්‍රී ලාල් ප්‍රියන්ත අනාවරණය කරයි.

+


හරක්කටා එක්කම සී.අයි.ඩී. කොස්තාපලුත් ඩුබායි පනින්න ඉඳලා

(16.09.2023 – divaina.lk)

  • උදව් කරනවාට රුපියල් කෝටියක් අරගෙන
  • ලැප්ටොප් – ෆෝන් පවා දීලා

ආරක්‍ෂකයන්ට වෙඩිතබා අත්අඩංගුවෙන් මිදී පලායෑමේ සැලසුමට හරක්කටාට උපකාර කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයා එසේ කර ඇත්තේ ඔහු සමග ඩුබායි රාජ්‍යට පැනගොස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ අරමුණෙන් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ආරක්‍ෂකයන්ට වෙඩි තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසු හරක්කටා සහ කොස්තාපල්වරයා ආරක්‍ෂිතව රැගෙන යෑමට පාතාල සාමාජිකයන් පිරිසක් සුඛෝපභෝගී වාහනයකින් එම දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට රැඳී සිට ඇති බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමේ සැලසුමට සහ තමාට කළ සෑම උපකාරයක් වෙනුවෙන්ම හරක්කටා මෙම කොස්තාපල්වරයාට වරින් වර රුපියල් කෝටියකට අධික මුදලක් ලබාදී ඇති බවද මේ වනවිට හෙළිවී ඇත.

සැකකාර කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් (4) විමර්ශන ආරම්භ කර තිබේ.

හරක්කටා ගෙන් ලබාගත් මුදල්වලින් රුපියල් විසිලක්‍ෂයක් (20,00,000) සහ රුපියල් දහඅට ලක්‍ෂයක් (18,00,000) අවස්ථා දෙකකදී (2) කොස්තාපල්වරයා විසින් තම මවට ලබාදී ඇති බවද හෙළිවී ඇත.

ඊට අමතරව හරක්කටා විසින් මෙම කොස්තාපල්වරයාට ලැප්ටොප් ජංගම දුරකථන ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

මැඩගස්කරයේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු හරක්කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි අතර ඒ කාලසීමාව තුළ සැකකාර කොස්තාපල්වරයා මොහුව ඉතාම සමීපව ඇසුරු කර ඇත.

තමන්ට කරන උදව් උපකාර වෙනුවෙන් හරක්කටා මෙම කොස්තාපල්වරයාව ජපානයට යැවීමට මුලින් පොරොන්දු වී සිට ඇත.

හරක්කටා එසේ පොරොන්දු වී තිබුණේ ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් බන්ධනාගාරය වෙත යැවීමට අධිකරණය අවසර ලබාදෙනු ඇතැයි සිතාගෙනය.

එහෙත් අධිකරණය මගින් හරක්කටාට නැවත දින 90 ක රැඳවුම් නියෝග ලබාදීමෙන් පසු කලබලයට පත් වී ඇති අතර ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයෙන් පලායෑමට සැලසුම් කර තිබේ.

එම සැලසුම අනුව ආරක්‍ෂකයන්ට වෙඩි තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගොස් ඩුබායි රාජ්‍ය වෙත පැන යෑමට හරක්කටා සහ කොස්තාපල්වරයා සැලසුම් කරගෙන සිට ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්ත විමර්ශන ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

+++++++++++

හරක් කටාට සහය වූ කොස්තාපල් පළාගිය වෑන් රථය මාතරින් හමුවේ

(16.09.2023 – 20:09 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන නදුන් චින්තක හෙවත් හරක් කටාට සහය දුන් බවට චෝදනා එල්ල වී ඇති කොස්තාපල්වරයා පලාගිය වෑන් රථය මාතර ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබෙනවා.

එම වෑන් රථය එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබුණේ හරක් කටාට පලායාම සදහා බවටයි හෙළි වී ඇත්තේ.

මේ අතර, එම පොලිස් නිලධාරියා මේ වනවිට විදේශ ගත වී ඇති නමුත්, ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය කියා සිටියේ ඔහු ගුවන්තොටුපලකින් විදේශ ගත වී නොමැති බවයි. කෙසේ වෙතත්, අදාළ කොස්තාපල්වරයා පසුගිය ජනවාරි මාසයේදී විදේශ ගමන් බලපත්‍රය සකසා ගෙන තිබෙනවා.

මේ අතර අදාළ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් ඔහුගේ මවගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

හරක් කටා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ උප පොලිස් පරික්ෂකවරයාගේ ගිනි අවිය උදුරාගෙන පළා යාමට තැත් කර තිබුණේ පසුගිය 10 වනදායි.

ඊට සහය වූ පොලිස් කොස්තාපල්වරයා එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාර්ගයේ දිවයන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශනද මාධ්‍ය වෙත නිකුත් වුණා.

මෙම පොලිස් කොස්තාපල්වරයා අවස්ථා කිහිපයකදීම හරක් කටා සහ සංවිධානාත්මක අපරාධකරු වෙකු වන මිදිගම චූටී නැමත්තා දුරකතනය ඔස්සේ සම්බන්ධ කිරීමට උත්සහ කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් දැනට සිදු කරන ලද විමර්ශන වලදී හෙළිව ඇත්තේ ඔහු විසින් මෑත කාලයේදී ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 50 ක පමණ වටිනා කුඹුරු ඉඩමක් මිලදී ගෙන ඇති බවයි.

තවද ඔහුගේ ඥාතීන් සතුව තිබී ඩුබායී සිට ගෙන්වන ලද ලැප්ටොප් පරිඝණක සහ ජංගම දුරකතන කිහිපයක්ද පොලීසිය සොයාගෙන තිබෙනවා. ඒවා කොස්තාපල්වරයා විසින් ඔවුන්ට ලබා දී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් කොට්ඨාසයට ස්ථාන මාරු කර තිබෙනවා. ඒ පොලිස් කොමිසමේ නිර්දේශයට යටත්ව පොලිස්පතිවරයා විසින්.

ඔහු රාත්‍රී රාජකාරි සිදුකරන අතරවාරයේ හරක් කටා සමග සාකච්ඡා කර ඇති බවත්, එම කරුණු සම්බන්ධයෙන් හරක් කටා පසුව විමර්ශන නිලධාරින් හමුවේ ප්‍රකාශ කර ඇති බවත්, අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේ හරක් කටා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ තමන් යටතට පත් කරන ලෙස සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා ඉල්ලීමක් කර තිබූ බවයි.

මෙම කරුණු මුල් කර ගනිමින් ඔහුට මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රාජකාරියේ නිරත වෙමින් රැදවියන් සම්බන්ධයෙන් සොයා බැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට පැවරී ඇති රාජකාරියේ කොටසක් බව වාර්තා වනවා. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුල ආරක්ෂාව සපයා ඇති අයුරු සොයා බැලීම ද එම රාජකාරියේම කොටසක්.

සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා ඉටුකර ඇත්තේ එම රාජකාරිය බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

+


තවත් විදේශ රැකියා ජාවාරමක් හසුවෙයි

(16.09.2023 – 18:26 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු රැකියා ඇනවුමක් නොමැතිව කාන්තාවන් දෙදෙනෙකු (2) විදේශගත කරවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාවන් දෙදෙනාව (2) මැලේසියාව වෙත සංචාරක වීසා මත යැවීමට ඇය උත්සාහ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියකි.

එම සැකකාරිය විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කාන්තාවන් දෙදෙනා (2) මැලේසියාවේ ගෘහ සේවයට යැවීම සඳහා ගුවන්තොටුපොළින් පිටත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පෙරපාසල් ගුරුවරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකින් අනතුරුව පෙරපාසල් ගුරුවරිය අත්අඩංගුවට ගැනුණි.

සැකකාරිය හැටන් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරුණි.

ඇයට මෙම මස 18 වනදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසද නියෝග කර තිබේ ෴


ගණේමුල්ල සංජීව වීරගුල පොලිසියට

(16.09.2023 – 20:18 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව භාවිතා කළ ජංගම දුරකතනය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ ඔහු ගුවන්යානය තුළ එය දමාගොස් තිබියදීයි.

එම ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් මෙරට සිදු කළ ඝාතන සහ මංකොල්ලකෑම් පිළිබඳ වීඩීයෝ පට රැසක් එහි අන්තර්ගත බවයි.

මේ වනවිට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින්ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ගණේමුල්ල සංජීව දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන අතර අද (16) පස්වරුවේ ඔහු වීරගුල පොලීසියට රැගෙන ගොස් තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *