ශ්‍රී ලංකාවේ ළදරු මරණ ඉහළට – ආයු අපේක්ෂාව අඩුවෙයි

ශ්‍රී ලංකාවේ ළදරු මරණ ඉහළට – ආයු අපේක්ෂාව අඩුවෙයි


ශ්‍රී ලංකාවේ ළදරු මරණ ඉහළට – ආයු අපේක්ෂාව අඩුවෙයි

(22.06.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිදුවන ළදරු මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවත් ජනතාවගේ ආයු අපේක්ෂාව පහළ ගොස් ඇති බවත් විදෙස් ආර්ථික විශේෂඥයින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

එම සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට අමතරව සැම්බියාව සහ ඝානා යන රටවල් ද මෙලෙස ඉහළ ළදරු මරණ අනුපාතයක් ඇති රටවල් අතරට ගැනෙනවා.

මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම රටවල පවතින දැඩි ණය බර බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙම ගැටලු‍වට කඩිනමින් විසඳා නොගතහොත් අදාළ රටවල් දැඩි අපහසුතාවට පත්වනු ඇති බවයි මෙම පිරිස ප්‍රකාශ කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඝානා යන රටවල් වැඩිවශයෙන් චීනයෙන් ණය ලබාගෙන ඇති බැවින් මෙම ගැටලු‍ සදහා නිසි මැදිහත්වීමක් නොදක්වන බවට බටහිර රටවල් බොහොමයක් චීනයට චෝදනා එල්ල කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා ෴


රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ගැන කෝප් කමිටුවේදී හෙළිදරව්වක්

(22.06.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව රාජ්‍ය ආයතන සදහා ණය පදනම යටතේ ලබාදුන් භාණ්ඩවලට අයවිය යුතු මුදල රුපියල් මිලියන 925 ක් බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී හෙළිවුණා.

ඒ අතරින් වසරකට වඩා කල් පිරුණු ණය රුපියල් මිලියන 260 ක් පවතින බවයි එහිදී රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ෴


පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකළ වැලි ජාවාරමුන් සොයා කිලිනොච්චියේ මෙහෙයුම්

(22.06.2023 – 13:37 +0530 – hirunews.lk/sinhala)

වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල පුද්ගලයින් සොයා කිලිනොච්චිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කිලිනොච්චිය අක්කරායන් මාර්ගයේ රක්ෂිතයක් තුළ අනවසරයෙන් වැලි කණින බවට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් සැරයන්වරයකු (1) සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) ලොරි රථයක් රියදුරු සහිතව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් ලොරි රථය සහ රියදුරා පොලිස් ස්ථානයට රැගෙන ඒමේ දී මග හරස් කළ කණ්ඩායමක් පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කර ලොරි රථය සහ රියදුරු පොලිස් භාරයෙන් මුදවාගෙන පලාගොස් තිබෙන බව පොලීසිය පවසයි ෴


ඩෙංගු මඩින ජනාධිපති කාර්ය සාධන බලකායෙන් සෞඛ්‍ය සේවකයින්ට උපදෙස්

(22.06.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ඊට අවශ්‍ය කඩිනම් උපදෙස් සෞඛ්‍ය සේවකයින් සඳහා ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

අද (22) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ෴


කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 ක පමණ හිඟයක්

(22.06.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය නිසා රෝගී සත්කාරක සේවා පවත්වා ගෙන යාමේ දී ගැටලු රැසක් ඇති වී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග ‘හිරු නිවුස්’ වෙත පවසනවා.

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල තුළ අලුතෙන් ඉදිකරණු ලැබූ ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයකට මේ වන විට පත් වී ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා වෛද්‍යවරුන් 556 දෙනකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 460 දෙනකු බවත්, වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් සායනික අංශ පවත්වාගෙන යාමේ දී ගැටලු ඇතිවී තිබෙන අතර මෙම තත්ත්වය නිසා රෝගීහු දැඩි දුෂ්කරතාවන්ට හා අපහසුතාවන්ට මුහුණ වෙන බවයි අප කල සොයා බැලීමකදී වාර්තා වුණේ ෴


හාල් කිලෝවක් රුපියල් 125ට ගත හැකි බව ඇමැති කියයි

(22.06.2023 – 14:14 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රුපියල් 125 ත් 130 ත් අතර මිලකට සහල් කිලෝවක් මිල දී ගැනීමේ හැකියාව රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍යය කේන්ද්‍ යේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර වී කිලෝවක් රුපියල් 130 කට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් වළකින ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ගොවීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද සිට ඇරඹීමට තීරණය කර තිබෙනවා.

+


කම්කරු හා විදේශ රැකියා ඇමතිගෙන් ජනතාවට දැනුම්දීමක්

(22.06.2023 – 14:44 +0530 – hirunews.lk/sinhala)

තමන්ගේ නම භාවිතා කරමින් හෝ තමන්ගේ ඥාතියෙක් හෝ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් බව පවසා විදේශ රැකියා සදහා මුදල් එක් රැස් කරන පුද්ගලයින්ට මුදල් ලබා නොදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

තමන්ගේ පවුලේ කිසිදු අයෙක් හෝ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියෙක් විදේශ රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන යාමේ ව්‍යාපාරයකට සම්බන්ධවී නොමැති බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට හැකි වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර, එම ආයතන සමග පමණක් සම්බන්ධවී කටයුතු කරන ලෙසද ජනතාවට දැනුම් දෙනවා ෴


ගිනිගත් නිවසේ තිබී හමු වූ මළ සිරුරක් ගැන පරීක්ෂණ

(22.06.2023 – 15:00 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ ගිනි ගනිමින් තිබූ නිවසක තිබී හමු වූ මළ සිරුර අයත් පුද්ගලයා සිය නිවසට ගිනි තබා ඔහුද සිය දිවි හානි කරගෙන ඇති බවට පොලීසියට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තේක්කවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (21) ගින්නක් හට ගෙන ඇති බව ප්‍රදේශවාසීන් විසින් වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය වෙත දැනුම් දීමෙන් පසුව එහි කණ්ඩායමක් පැමිණ ගින්න නිවා දමා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පසුව කළ සෝදීසියකදී නිවස තුළ අයෙකු ලණුවකින් ගෙළ වැළලාගෙන මියගොස් සිටි අන්දමට දැක ගැනීමට එම කණ්ඩායමට හැකි වී තිබෙන බවයි.

මෙසේ මියගොස් ඇත්තේ සොක්කලිංගම් තනුජන් සුජීව් නැමති එම ප්‍රදේශයේම පදිංචි අයෙක්.

පොලීසිය සිද්ධිය පිළිබඳව වවුනියාව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මළසිරුර වවුනියාව මහ රෝහලට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වා අධිකරණ වෛද්ය නිලධාරිවරයාගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස පොලීසියට නියෝග කොට තිබේ ෴


නීතිවිරෝධි මත්පැන් අල්ලන්න ගිය පොලිසියට බඹර ප්‍රහාරයක්

(22.06.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම – සඳසිරිගම ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් ජාවාරමක් වැටලීමට තඹුත්තේගම පොලිසියේ පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් නිලධාරින් තුන්දෙනෙකු (3) රෝහල් ගතකර තිබෙනවා.

මොවුන් යතුරුපැදි දෙකකින් (2) ගමන්කරමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙනුයි මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇත්තේ. පසුව ඔවුන් තිදෙනා (3) ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴


බැටරි සොරාගත් විශ්‍රාමික ගුරුවරයකු ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට

(22.06.2023 – 15:24 +0530 – hirunews.lk/sinhala)

දුරකථන සංඥා කුළුණුවල බැටරි සොරාගත් විශ්‍රාමික ගුරුවරයකු ඇතුළු තිදෙනෙකු (3) තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනයේ පදිංචිකරුවන් පිරිසකි. සොරකම් කරන ලද බැටරි වල වටිනාකම රුපියල් ලක්ෂ 5 කට ආසන්න බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ප්‍රාථමික අංශයේ සිට පාසල් විෂය මාලාවට අලුත් විෂයක්

(22.06.2023 – 15:26 +0530 – hirunews.lk/sinhala)

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට විශේෂ අවසරයක් හිමිව ඇති බවයි.

ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව, ජපන් භාෂාව ඉගැන්වීමට අදාළ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව මේ වන විට සූදානම් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා ෴


සෙනසුරාදා (24) දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට ජල කප්පාදුවක්

(22.06.2023 – 16:27 +0530 – hirunews.lk/sinhala)

සෙනසුරාදා (24) දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදුවන බව වාර්තා වෙනවා.

ඒ අනුව පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව කොලඹ 11, 12, 14, සහ 15 යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි ෴


ඉඟිනියාගල අතුරුදන් වූ තරුණියන් සොයාගැනේ

(22.06.2023 – 16:55 +0530 – hirunews.lk/sinhala)

සතියක පමණ සිට අතුරුදන් බවට වාර්තා වූ ඉඟිනියාගල ප්‍රදේශයේ 15 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනා (2) හමු වී තිබෙනවා.

මොවුන් දෙදෙනා කැළණිය – මීගහවත්ත ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

මෙම සිසුවියන් දෙදෙනාම (2) සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව සිටියේ, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවන බී.ජී. අශානි වශ්මිකා සහ එෆ්.ආර්. පවීෂා නෙත්මිණි යන සිසුවියන් දෙදෙනා (2) යි.

පවීෂා පාසලට යන බව මව්පියන්ට පවසා අශානිගේ නිවසට පැමිණ තිබුණේ පසුගිය 15 වැනිදායි.

අශානිගේ පියා කොළඹ රැකියාවක නිරත අතර ඇය ජීවත්ව තිබෙන්නේ මිත්තණියගේ නිවසේයි.

ඒ, කුඩා කාලයේදී ඇගේ මව ඇයව අතහැර ගොස් තිබීම හේතුවෙන්.

මිත්තණියද රැක බලා ගනිමින් අශානි මෙම නිවසේ ජීවත්ව ඇති අතර, පසුගිය 15 වැනිදා උදෑසන නිවසට පැමිණි පවීෂා ද සමගින් ඇය නිවසින් පිටව ඇත්තේ උපකාරක පංතියට යන බව පවසමින්.

නමුත් මෙලෙස පිටව ගිය සිය දැරියන් නැවත නොපැමිණීමත් සමග පවීෂාගේ මව්පියන් සහ අශානිගේ මිත්තණිය ඉඟිනියාගල පොලිසියට පැමිණිල්ලක් කළ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විමර්ශණවලින් අනතුරුව මෙම තරුණියන් දෙදෙනා සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • the body in the burnt down house. It is more likely that criminals killed the man, hanged him to fake that he committed suicide, and then set fire to the house to destroy all evidence. I wonder how the authorities declared that the man that committed suicide by hanging, set fire to his own house. That conclusion was good for brainless people, and I suspect that the authority was in collusion with the criminals. or this report is just half-baked and not comprehensively reported.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *