ශ්‍රීලංකන් ප්‍රමාදයෙන් 52 කුගේ කොරියානු රැකියා සිහිනය බොඳ වේ

ශ්‍රීලංකන් ප්‍රමාදයෙන් 52 කුගේ කොරියානු රැකියා සිහිනය බොඳ වේ


ශ්‍රීලංකන් ප්‍රමාදයෙන් 52 කුගේ කොරියානු රැකියා සිහිනය බොඳ වේ

(21.06.2023 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකට කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නොහැකිවූ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ, ඊයේ (20) යූ.එල්. 470 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය පැය 12 ක් ප්‍රමාදවීම හේතුවෙන්.

කොරියාවේ ධීවර ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයන් පනස් දෙදෙනෙකු (52) අදාළ ගුවන් යානයෙන් පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඒ කොරියානු රැකියා සඳහා පිටත්ව යන 800 වන කණ්ඩායම ලෙසයි.

කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා ඔවුන් ඊයේ (20) කොරියාවට එවීමෙන් වළකින ලෙස එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී තිබෙනවා.

පසුගිය මැයි 23 වනදා ද මෙලෙසින්ම ශ්‍රීලංකන් ගුවන් යානයක් ප්‍රමාදවීම නිසා මෙරට ශ්‍රමිකයන් පිරිසක් කොරියාවට භාරගැනීම ප්‍රතික්ෂේප කෙරුණා.

මේ අතර අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානා දිගින් දිගටම මෙලෙස ප්‍රමාදවීම කොරියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමුකිරීම සඳහා බරපතල ගැටළුවක් වනු ඇති බවයි.

එමෙන්ම ලියාපදිංචි නොවී නීතිවිරෝධීව ගෘහසේවය සදහා විදේශගත වන කිසිවෙක් අදාළ රටවල ලක් රජයේ සුරැකුම් මධ්‍යස්ථාන වලට භාර නොගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා. ඒ, කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


මෙරට කිරි ගව පාලනයට බ්‍රසීලයෙන් තාක්ෂණික සහය

(21.06.2023 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කිරි ගව පාලනයට බ්‍රසීලයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා.

ඊට අදාළව අවබෝධතා ගිවිසුමට එළඹීමටයි ඊයේ (20) තීරණය කෙරුණේ. බ්‍රසීල සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවූ අතර එහිදී මෙම එකගතාවයට පැමිණියා.

සත්ව පෝෂණය, සත්ව අභිජනනය, ගොවිපළ පරිපාලනය හා කළමණාකරණ මෙන්ම කිරි ප්‍රවාහනය, ගබඩා කිරීම සහ කිරිවල ප්‍රමිතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙලෙස තාක්ෂණික සහය ලබා ගැනීමට නියමිතයි ෴


අධිකරණ සේවකයන්ගේ රාජකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙකු රිමාන්ඩ්

(21.06.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාගේ සහ එහි කාර්ය මණ්ඩලයේ රාජකාරි කටයුතුවලට බාධා කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවති නඩු කටයුත්තකට අදාළව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ මෙම බාධා කිරීම සිදුකර ඇති බව සඳහන්.

ඒ පිළිබඳව රෙජිස්ටාර්වරයා විසින් නොර්වුඩ් පොලීසියට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


කොරියානු ජාතික කළමනාකාරවරියගේ මුදල් කොල්ල කෑ මෙහෙකාරිය පොලිස් දැලේ

(21.06.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala)

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කොරියානු ජාතික කළමනාකාරවරිය ගේ නිවසේ තිබූ මුදල් සොරා ගත් කාන්තාවක් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසේ මෙහෙකාරියක ලෙස සිටිමින් ඇමෙරිකානු ඩොලර් අටසීයක් (800) සොරා ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් මෙහෙකාරිය අද (21) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


වන්නියේ නව දේශපාලන ගමනකට මහා නායක හිමියන්ගෙන් උපදෙස් ලබා ගනියි

(21.06.2023 – 10:34 +0530 – hirunews.lk/sinhala)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙමින් වන්නි ප්‍රදේශය තුළ ජාති ආගම් භේදයකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට චන්ද්‍රකුමාර් නිරෝෂ්කුමාර් පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන්ව බැහැ දුටුවා.

එක්සත් ජාතික පක්ෂයේ වන්නි දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක නිරෝෂ් කුමාර් හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී රාස මනෝහරී පුලේන්ද්‍රන්ගේ ඥාතී සහෝදරයෙකු වන අතර ඔහු මල්වතු මාහිමියන් සමග වර්තමානයේ වන්නි ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබදවද ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට තිබෙනවා.

මේ අවස්ථාවට ශ්‍යාමෝපාලී මහා නිකායේ උතුරු පළාතේ උප ප්‍රධාන සංඝ නායක හා වවුනියාව ඇටඹගස්කඩ ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති ඇටඹගස්කඩ කල්‍යාණ තිස්ස නායක හිමියෝද සහභාගී වුවා ෴


යාපනයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) සිටි නිවසකට බෝම්බ ප්‍රහාරයක්

(21.06.2023 – 10:41 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ගාන්ධර්මඩම් ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) ජීවත් වූ නිවසකට බෝම්බ ප්‍රහාරයක් 20 දා අලුයම එල්ල වී තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් කිසිදු අයෙකුට ජීවිත හානි සිදු වී නොමැති අතර නිවසට හා හාණ්ඩ වලට සුළු හානි සිදුව තිබෙනවා.

යාපනය පොලීසිය ප්‍රකාශ කළේ එම බෝම්බ පෙට්‍රල් හා වෙනත් ද්‍රව්‍ය උපයෝගී කරගෙන යාපනයේම නිෂ්පාදනය කරණ ලද බෝම්බ බවයි.

මෙම නිවසේ සිටි එක් වෛද්‍යවරයෙකු හා යාපනයේ පදිංචිකරුවන් පිරිසක් අතර කාලයක්ති ස්සේ පවතින ඉඩම් ආරවුලක් හේතුවෙන් වෛද්‍යවරයා බිය ගන්වන්නට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයිද පොලිසීය සැක පල කරනවා.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා ෴


විමල් වීරවංශ අධිකරණයට එයි

(21.06.2023 – 10:24 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගිය 19 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි ඔහු චෝදනා ලබා සිටී.

+++++++++

විමල් වීරවංශ අද (21) අධිකරණයට භාර වෙයි

(21.06.2023 – 10:41 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි එල්ලවී තිබෙන චෝදනාවට අදාළ නඩුවට ඔහු පෙරේදා (19) පෙනී සිටියේ නැහැ.

ඒ අනුවයි, නඩුවේ පළමුවන විත්තිකරු වන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කළේ.

එසේම, නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායකද එදින අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, මෙන්ම එවකට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ රොජර් සෙනෙවිරත්න සහ පියසිරි විජේනායක යන විත්තිකරුවන් එදින අධිකරණයේ පෙනී සිටියා.

පසුව නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ ෴


මවගේ අනියම් පෙමට එරෙහි වූ දියණියට සැරයන්ගෙන් ගුටි

(21.06.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

අනියම් බිරිඳගේ දියණියට පහර දුන් පොලිස් සැරයන්වරයෙකු ශ්‍රීපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

සිය මව පොලිස් සැරයන්වරයා සමග පවත්වන අනියම් සම්බන්ධතාවයට 17 හැවිරිදි දියණිය විරෝධය දක්වා තිබේ. එම අවස්ථාවේදී නිවසේ සිටි පොලිස්සැරයන්වරයාටද දියණිය බැන වැදී ඇත. එම බැන වැදීමට කිපුණු සැරයන් වරයා දැරියට පහර දී තිබෙන බව පොලීසිය පවසයි.

පහරදීමෙන් තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා ශ්‍රීපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ඝාතනයක ප්‍රධාන සැකකාරිය සමඟ පොලිස් ලොක්කෙකුත් කොටු

(21.06.2023 – 11:14 +0530 – hirunews.lk/sinhala)

මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවක සමඟ සෙවණගල ප්‍රදේශයේ හෝටලයක මිතුරන් තිදෙනෙකු (3) ද සමඟ නවාතැන් ගෙන සිටි බව කියන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදු වූ ආරවුලක් සම්බන්ධයෙන් පසුගිය මැයි 07 වන දා හම්බන්තොට ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කරන ලද සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය මඟින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකපිට අත්අඩංගුවට ගත් මේ දෙදෙනා (2) ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ ප්‍රධාන සැකකාරිය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකාරිය සෙවණගල ප්‍රදේශයේ හෝටල් කාමරයක නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරක් මත තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම හෝටලය වැටලීමේදී ඇය සමඟ සිටි සහකාර පොලිස් අධිකාරිවරයකු සහ මිතුරන් තිදෙනකු (3) ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් පරීක්ෂණායක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය ලබන 28 දින දක්වා බන්ධනාගාරගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා ෴


බීමත්ව කලහකාරීව හැසිරුණු සැරයන්ගේ වැඩ තහනම්

(21.06.2023 – 11:39 +0530 – hirunews.lk/sinhala)

බීමතින් පුද්ගලයින්ට පහර දී කලහකාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකි. කැලණිය වනවාසල ප්‍රදේශයේ විහාරස්ථානයක් ඉදිරිපිට දී මෙම සැරයන්වරයා බීමතින් මෙලෙස පුද්ගලයින්ට පහර දී තිබෙන බව පොලීසිය පවසයි ෴


කුමුදුනී යළි වැඩ අරඹයි

(21.06.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)

අලුත්වැඩියා කටයුතු සදහා මාස හයක් (6) නතර වී තිබූ යාපනය හා ඩෙල්ෆ්ට් අතර ධාවනය වූ ‘කුමුදුනී’ මගී බෝට්ටුව අලුත්වැඩියා කටයුතුවලින් පසුව යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියෙන් 21 දා ඩෙල්ෆ්ට් බලා ධාවන කටයුතු ආරම්භ කර තිබෙනවා.

1968 වසරේදී යාපනය හා ඩෙල්ෆ්ට් දූපත අතර මගී ප්‍රවාහනයට එක්කරන ලද කුමුදුනී නමැති මෙම මගී යාත්‍රාව උතුරේ වැසියන් අතර පමණක් නොව විදේශිකයින් අතර ද ඉතා ජනප්‍රිය වූ බෝට්ටුවක්.

කුමුදුනී බෝට්ටුවේ ගමනාගමන කටයුතු හා පරිපාලන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරගෙන යන අතර මෙවර කුමුදුනී මගී බෝට්ටුව අලුත්වඩියා කිරීමට රුපියල් ලක්ෂ හැත්තෑ පහක (75) පමණ මුදලක් වැය වී ඇති බවයි වාර්තා වන්නේ.

කන්කසන්තුරේ වරායේ බෝට්ටු අලුත්වැඩියා මධ්‍යස්ථානයේදී කුමුදුනී මගී බෝට්ටුව අලුත්වැඩියාවට ලක් වූ අතර බෝට්ටුව මංගල ගමන ආරම්භ කිරීමට පෙර එහි කොටසක් මුහුදට යවා පොංගල් කිරිබත් පිස බෝට්ටුවට ආශිර්වාද කිරීම ද මෙහි විශේෂත්වයක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *