මෙරට අපනයන භාණ්ඩවලට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

මෙරට අපනයන භාණ්ඩවලට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන


මෙරට අපනයන භාණ්ඩවලට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

(19.06.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් සියයට 92 ක් තීරු බදු වලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය රජය අවසර ලබාදී තිබෙනවා.

ඒ අද (19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමගයි.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මේ හරහා බ්‍රිතාන්‍ය වෙළඳපල තුල මෙරට නිෂ්පාදන සදහා වන තරගකාරීත්වය වැඩිවනු ඇති බවයි.

මෙම වෙළඳ යෝජනා ක්‍රමය හරහා බ්‍රිතාන්‍ය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65 කට තීරු බදු සහන සලසා දී තිබෙනවා.

පසුගිය වසරේ මෙම යෝජනා ක්‍රමය ප්‍රකාශයට පත් කළ අතර එහි නෛතික ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුවයි මෙලෙස බලාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත්තේ.

මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළදපල බ්‍රිතාන්‍යය වන අතර දෙරට වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම පුළුල් කරගැනීම බ්‍රිතාන්‍යයේ අපේක්ෂාව බවයි ෴


බස් රථයේ මාල කැඩූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

(19.06.2023 – 11:43 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ හදාරන සිසුවියකගේ රන්මාලය කොල්ලකෑ ව්‍යාපාරිකයෙකු මිද්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ උපකාර පංතියකට සහභාගී වී නැවත බස්රථයෙන් නිවස බලා එමින් සිටි අවස්ථාවේදී මෙම සැකකරු විසින් බස් රථය තුළදී සිසුවියගේ රන් මාලය කඩා ගෙන තිබේ. බස් රථයෙන් බැස පලා යමින් සිටි සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


මීගහතැන්න පුද්ගල ඝාතනයට තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(19.06.2023 – 11:51 +0530 – hirunews.lk/sinhala)

මීගහතැන්න – පැලවත්ත නගරයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනයකට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 36 සහ 40 වයස්වල පසුවන මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පසුගිය 16 වනදා මෙලෙස ඝාතනයට ලක්වූයේ 38 හැවිරිදි පැලවත්ත, ගොකරදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


උපකාරක පංති සිසුන්ට මත්පෙති අලෙවි කල කාන්තාවක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

(19.06.2023 – 12:01 +0530 – hirunews.lk/sinhala)

හොරණ දෙල්ගහගොඩැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සතුව තිබී මත්පෙති සීයක් (100) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. අත්අඩංගුවට ගත් කාන්තාවවැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව දීර්ඝ කාලයක සිට මෙම මත්පෙති හොරණ ප්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගීවන පාසල් සිසුන් ඉලක්කකර ගෙන අලෙවි කිරීම සිදුකර ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත ෴


හංවැල්ලට හෙරොයින් බෙදූ ‘ආමි සුමිත්’ අත්අඩංගුවට

(19.06.2023 – 12:13 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හංවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 15 යි මිලි ග්‍රෑම් 600 ක් සහ ජංගම දුරකථන 03 ක් සන්තකයේ තබාගෙන සිටි හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක ‘ආමි සුමිත්’ යන අනුවර්ථ නාමයෙන් හදුන්වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙනතිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත ෴


ටී 56 උණ්ඩ සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ

(19.06.2023 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ටී56 හිස් උණ්ඩ කොපු තොගයක් සමඟ සැකකරුවෙකු මහබාගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 කට අධික ප්‍රමාණයක් සහිතව අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී හිස් උණ්ඩ කොපු 2232 සොයාගැනීමට හැකිව ඇති බව පොලිසිය පවසයි. හිස් උණ්ඩ වලට අමතරව ජීව උන්ඩ 13 ක්ද තිබී ඇත. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අබලි ද්‍රව්‍ය මිලදී ගැනීමේ බලපත්‍ර ලාභියෙකුගෙන් මෙම හිස් උණ්ඩ සොරාගෙන ඇති බවකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


රුපියල තවත් ශක්තිමත් වෙයි

(19.06.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා.

පසුගිය සිකුරාදා (16) ඩොලරයක විකිණුම් මිල රුපියල් 319.66 යි ; අද (19) එය රුපියල් 315.12 යි.

පසුගිය සිකුරාදා (16) ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.51 යි ; අද (19) එය රුපියල් 297.53 යි ෴


ජනවාරියේ විදුලි බිලට දැනෙන සහනයක්

(19.06.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ලබන ජනවාරි මාසයේදී විදුලි ගාස්තුවේ සැලකිය යුතු සහනයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ලබන මාසයේදී සිදුකරන සංශෝධනයේදීද සියයට 27 ක ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකිරීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා හැටන් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ප්‍රකාශකර සිටියේ.

එමෙන් ම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩලයේ සියලු‍ වෘත්තීය සමිති එක්ව අනිද්දා (21) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ ෴


හොර වීසා සැකසූ සජබ මන්ත්‍රීගේ මල්ලි රිමාන්ඩ්

(19.06.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.එච්.ඒ. හලීම්ගේ බාල සොහොයුරෙකු පසුගිය (17) වැනිදා මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 58 ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයා ඩුබායිහි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරදී ලක්ෂ ගණනක මුදල් වංචා කර ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරු සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශයට පැමිණිලි තුනක් ලැබී තිබෙන බව පොලිසිය පවසනවා.

අදාළ පුද්ගලයා විසින් ලබා දී තිබූ ගමන් බලපත්‍ර පොලිසිය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමු කර තිබූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර වන බවයි.

සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴


ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජය තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ – වැඩබලන මුදල් ඇමති කියයි

(19.06.2023 – 16:15 +0530 – hirunews.lk/sinhala)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එබැවින් ඒ පිළිබඳව සැක සහිත ප්‍රකාශ සිදුනොකරන ලෙසටයි වැඩබලන මුදල් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම වාහන ආනයන සීමා මේ වසර තුළදී ඉවත් නොකරන බවටද ඔහු එහිදී කියා සිටියා ෴


විදුහල්පතිවරයෙකුට පහරදුන් සිසුවෙකුගේ පියෙක් අත්අඩංගුවට

(19.06.2023 – 16:17 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට පහරදුන් සිසුවෙකුගේ පියෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) දිනයේදී විදුහල්පතිවරයා සිය නිල කාමරයේ රැඳී සිටියදී ඔහු පැමිණ බැන වැදී තමාට පහරදුන් බවටයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ක්‍රීඩාව මුල්කරගනිමින් ඇති වූ ආරවුලක් නිසා පාසලේ ගුරුවරයෙකු විසින් ඔහුගේ පුත්‍රයාට පහරදීම සිදුකර තිබෙනවා.

පහරකෑමට ලක්වූ මෙම සිසුවා බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා විදුහල්පතිවරයා හමුවීමට ගිය අවස්ථාවේ සිදුවූ බහින්බස් වීමකින් අනතුරුවයි සිසුවාගේ පියා විසින් මෙම පහරදීම සිදුකර ඇත්තේ ෴


මොරටුවේදී බස් රථයක් අනතුරට ලක්වෙයි

(19.06.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala)

මගී ප්‍රවාහන බස් රථයක් මොරටුව පොලිසිය ආසන්නයේ තිබූ බස් නැවතුම්පළක සහ ට්‍රාන්පෝමරයක් සවිකර තිබූ විදුලි කණුවක ගැටී අද (19) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පානදුර – නුගේගොඩ මාර්ගයේ ගමන්ගන්නා බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී යාම අනතුරට හේතුවී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴


මෙම වසරේ රිය අනතුරුවලින් 1,043 ක් ජීවිතක්ෂයට

(19.06.2023 – 16:26 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් 1,043 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම කාලය තුළ සිදුවූ රිය අනතුරු 992 කින් මෙම මරණ වාර්තාවී ඇති බවයි ෴


බිරිඳගේ දෝෂාරෝපණය දරා ගැනීමට නොහැකි වූ සැමියෙක් දිවි නසාගනී

(19.06.2023 – 16:27 +0530 – hirunews.lk/sinhala)

සිය බිරිඳ මිතුරන් ඉදිරියේ දෝෂාරෝපණය කිරීම නිසා සිත්තැවුලට පත් වූ 24 හැවිරිදි සැමියකු සියදිවි හානිකර ගෙන තිබෙන බව පුදුකුඩුඉරිප්පු පොලිසියෙන් වාර්තා වෙනවා.

මිතුරන් සමග මධුවිත තොල ගෑම මෙම පුද්ගලයාගේ සිරිතක් වී ඇත. ඊයේ (18) මිතුරන් පිරිසක් සමඟ සිය නිවසේ මත්පැන් පානය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී බිරිඳ විසින් මිතුරන්ටද බැණවැදී පලවා හැර ඇති අතර ඔහුටද මිතුරන් ඉදිරියේ දෝෂාරෝපණය කර ඇත.

එම හේතුවෙන් ඔහු සිය නිවසතුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *