අපරාධකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න : මහජන ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
අපරාධකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න : මහජන ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
(24.03.2026 – hirunews.lk)
ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට බියකින් තොරව සහ ආරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වුවත්, මහජනතාවගේ නොසැලකිලිමත්කම හෝ නොදැනුවත්කම හේතුවෙන් බරපතල අපරාධවලට ගොදුරු වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ, මෙම හේතුව නිසා ඇතැම් විට ජනතාව සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා මෑතකදී වාර්තා වී ඇති බවයි.
එම නිවේදනයෙන් මෙසේ ද සඳහන් වෙනවා :
“ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකි පරිසරයක් ඇති කිරීම සඳහා ද මහජනතාවට කැමති ස්ථානයක නිදහසේ ගමන් කිරීමට ඇති හැකියාව ආරක්ෂා වන ආකාරයට අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහා පැය 24 පුරාම කැපවීමෙන් රාජකාරි කරනු ලබයි.
මෙම සාමකාමි තත්ත්වය පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා පිහිටි සියළුම පොලිස් වසම් ආවරණය වන පරිදි යොදවා ඇති නිලධරයන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කරනු ලැබුවද මහජනතාවගේ නොසැලකිලිමත්කම මත හෝ නොදැනුවත්කම මත අවබෝධයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් බරපතල අපරාධවල වින්දිත තත්ත්වයට පත්වීම හෝ යම් විටක ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථාවන් ගණනාවක් මෑතකාලීන සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය නිරීක්ෂණය කර ඇත.
මෙයට ආසන්නතම උදාහරණය ලෙස කොක්අඩිවෝලේ පොලිස් වසමේදී කාන්තාවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී පැහැරගෙන ගොස් යම් දියරයක් පානය කිරීමට සලස්වා සිහිසුන් තත්ත්වයට පත්කර ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ලකා එක් කාන්තාවක් ඝාතනය කිරීම සහ අනෙක් කාන්තාව ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධීන් පෙන්වා දිය හැක.
මෙම සිද්ධිය හා මෙයට සමාන තවත් සිද්ධීන් විශ්ලේෂණය කිරීමේදී මහජනතාව වශයෙන් පහත කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත් එදිනෙදා ජිවිතයේදී දැ අවධානයෙන් යුක්තව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ල සිටිනු ලැබේ.
- අපරාධකරුවන් විසින් මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලදී හෝ පොදු ප්‍රවාහන සේවා වලදී ඉතා සුහදශීලී ලෙස පුද්ගලයන්ට සමීප වීම.
- සමීප මිතුරන් මෙන් රඟපාමින් විශ්වාසය දිනා ගැනීම.
- මත් වීමට යොදා ගන්නා ද්‍රව්‍යයන් මිශ්‍ර කරන ලද ටොෆි, චොකලට්, වෙනත් ආහාර හා බීම වර්ග හෝ පානීය ජලය ලබා දීම.
- විෂ ස්ප්‍රේ වර්ග, මිරිස් කුඩු වැනි ද්‍රව්‍යයන් භාවිතා කර පුද්ගලයින් අඩපණ කිරීම.
ඉහත අවස්ථාවන් වලට ඔබ වින්දිතයෙකු නොවීමට මෙම කරුණු කෙරෙහිද සැළකිලිමත් වන ලෙසට ද දැනුවත් කරනු ලැබේ.
- මහා මාර්ගවලදී හෝ පොදු ස්ථානවලදී නාඳුනන පුද්ගලයන් ලබා දෙන ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේදී සැළකිලිමත් වීම.
- නාඳුනන පුද්ගලයින් ලබාදෙන කිසිදු ආහාරයක් හෝ පානයක් අනුභවය හෝ පානය කිරීම කිසිම හේතුවක් මත නොකළ යුතු බව.
- යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තමන් වෙත අනවශ්‍ය ලෙස සමීප වීමට උත්සාහ කිරීම.
- තමන් සන්තක මුදල්, රන් භාණ්ඩ ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.
- ඔබට නිරීක්ෂණය වන යම් සැකකටයුතු පුද්ගලයෙකු, වාහනයක් හෝ යම් ස්ථානයක අපරාධයක් සිදු වන බවට හැඟෙන්නේ නම් වහාම 119 , 118 හෝ ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට හෝ පුරවැසියෙකුට දැනුම් දීම.
ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙනු ලබන ඉහත උපදෙස් හා මඟ පෙන්වීම් සම්බන්ධව නිසි අවබෝධයකින් යුතුව බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් බව ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙනු ලබන අතර මෙවැනි අපරාධ වළක්වා ගැනීම සඳහා මහජනයා සතු අවබෝධය වඩාත් තහවුරු කර ගැනීමටත් ඔබ සමීපතමයන්ද මෙවැනි අනතුරකට පත් නොවීම සඳහා මෙම පණිවිඩය පිළිබඳ තවකෙකු දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ ෴
+++
රන් බඩු කොල්ලකා කතුන් දෙදෙනෙකු (2) ළිඳට දැමූ කල්ලියක් කොටු වෙයි
(24.03.2026 – hirunews.lk)
අබිරහස් ලෙස කාන්තාවන් දෙදෙනෙකු (2) ළිඳකට වැටී තිබීම හා ඉන් අයෙක් මරණයට පත්ව තිබීමට අදාලව සැකකරුවන් සිව් දෙනෙකු (4) හා සැකකාරියක් (1) අත්අඩංගුවට ගෙන ඇතැයි කොක්කඩිචෝල පොලිසිය පවසනවා.
ළිඳට වැටී සිටි එක් කාන්තාවක් (20) වැනිදා ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලිසිය සඳහන් කළා.
කොක්කඩිතෝල, නෙල්ලිකාඩු ප්‍රදේශයේ ළිඳක් තුළ මෙම කාන්තාවන් දෙදෙනා (2) වැටී සිටි බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් කොක්කඩිචෝල පොලිස් ස්ථානය හා නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කළා.
එහිදී සිද්ධියට අදාලව, පැහැරගෙන යාම, කොල්ලකෑම හා මනුෂ්‍ය ඝාතනය යන චෝදනාවලට එරෙහිව සැකකරුවන් දෙදෙනෙකු (2) හා සැකකාරියක (1) පෙරේදා (22) නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා.
එම සැකකරුවන් වයස අවුරුදු 22 හා 34 වයස්වල පසුවන නාවට්කාඩු හා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 26 ක් කාත්තන්කුඩි ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකරුවන් විසින් මෙම කාන්තාවන් දෙදෙනාට (2) අවස්ථා දෙකකදී (2) ත්‍රීරෝද රථයකින් ගමන් පහසුකම් සලසා දෙමින් අතරමගදී ඔවුන්ට යම් ද්‍රව්‍යයක් අඩංගු පානයක් ලබා දී සිහිසුන් වූ පසුව කාන්තාවන් සන්තකයේ තිබූ රන් ආභරණ කොල්ලකා අනතුරුව මෙම ළිඳට දමා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මරණයට පත් කාන්තාව කලවංචිකුඩි ප්‍ර්දේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පැවසුවේ.
ඇය ඉකුත් පෙබරවාරි (28) වැනිදා වෙල්ලාවලි ප්‍රදේශයේ සිට කලවංචිකුඩි පළුගාමම් රජයේ රෝහලට හා බැංකුවට ගොස් නැවත පැමිණෙමින් සිටියදී සැකකරුවන් විසින් මෙම කාන්තාවට ත්‍රී රෝද රථයෙන් ගමන් පහසුකම් ලබා දෙන මුවාවෙන් නංවාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
එසේ යන අතර මගදී යම් ද්‍රව්‍යයක් දැමූ බීම වර්ගයක් කාන්තාවට පානය කිරීමට සලස්වා සිහිසුන් වීමෙන් පසු ඇයගේ රන් ආභරණ කොල්ලකා පසුව ඇය ළිඳට දමා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
දැනට රෝහල් ගත කරන ලද කාන්තාව ඉකුත් 19 වැනිදා ඇයගේ තුන් (3) හැවිරිදි දරුවා සමග වව්නතිව් ප්‍රදේශයේ සිට මඩකලපුව දක්වා ගමන් කිරීමට බස් රථයක් පැමිණෙන තුරු මාර්ගයේ රැඳී සිට තිබෙනවා.
පෙර සිදුවීම හා සමානවම සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය මඩකලපුව ප්‍රදේශයට යන බව පවසා එම කාන්තාව හා දරුවා ත්‍රීරෝද රථයට නංවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාල කාන්තාව තම අවශ්‍යතාවය සපුරා ගැනීමෙන් පසුව මඩකලපුව නගරයේ සිට නැවත පැමිණීමේදී ද සැකකරුවන් එම කාන්තාව හා දරුවා ලුහුබඳිමින් සිට ඔවුන් නැවතත් ත්‍රීරෝද රථයට නංවා ගෙන ගොස් අතරමඟ දී යම් ද්‍රව්‍යයක් දැමූ බීම වර්ගයක් පානය කිරීමට සලස්වා ඇය සිහිසුන් වීමෙන් පසුව රන් ආභරණ කොල්ලකා ඇය ළිඳට දමා ඇති අතර ඇයගේ දරුවා වව්නතිව් වාලකාල ප්‍රදේශයේ වෙල් යායක අතහැර දමා ගොස් ඇති බවද සැකකරුවන් විසින් අනාවරණය කර තිබෙනවා.
පසුව එම දරුවා ප්‍රදේශවාසීන්ගේ සහයෙන් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර කොල්ලකන ලද රන් ආභරණ සන්තකයේ තබා ගැනීම හා බැහැර කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් වයස අවුරුදු 39 හා 49 වයස්වල පසුවන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ෴
ඔන්ලයින් ජාවාරමේ නිරත විදේශිකයින් 17 ක් අත්අඩංගුවට
(24.03.2026 – hirunews.lk)
මෙරට රැඳී සිටිමින් ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදේශීය ජාතිකයින් 17 දෙනකු අද (24) රාත්‍රියේදී පෝද්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිරිස අතර චීන හා වියට්නාම ජාතිකයන් 17 දෙනෙකු සිටි බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සිටින අතර ඔවුන් සන්තකයේ තිබූ පරිගනක 08 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 84 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බූස්ස යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යුද හමුදාව සහ ගාල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධවයි වැටලීම සිදුකර ඇත්තේ.
මොවුන් පෝද්දල ගොඩකන්ද ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් කුලී පදනම මත ලබාගෙන අන්තර්ජාලය හරහා මුදල් ජාවාරම් සිදුකර තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෝද්දල පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා ෴
ස්නායූ රෝගීන්ට දෙන බෙහෙත් තරුණයින්ට විකුණූ වෛද්‍යවරයෙක් මත්පෙති 301 ක් සමඟ අත්අඩංගුවට
(24.03.2026 – hirunews.lk)
ස්නායූ රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබාදිය යුතු පෙති වර්ගයක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ තරුණයින්ට වැඩි මිලට අළෙවි කරන බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය පවසනවා.
මෙම වෛද්‍යවරයා දවුලගල අලපලාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ අදාළ මත්පෙති 301 ක් තිබූ බව ද පොලීසිය සඳහන් කරනවා.
පුනරුත්ථානපන මධ්‍යස්ථානයක්ද ක්‍රියාත්මක වන දවුලගල මාම්පිටිය ප්‍රාදේශීය රෝහලේ සේවය කරන 50 හැවිරිදි මෙම සැකකාර වෛද්‍යවරයා ස්නායූ රෝගීන් සඳහා වේදනා නාශකයක් ලෙස ලබාදෙන අදාළ පෙති දෙකක් රුපියල් 500 ක මුදලකට අළෙවි කරන බවට ලද තොරතුරු මත උපාය දූතයෙකු යොදවා පෙති මිලට ගැනීමට සලස්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.
මෙයට මාස කිහිපකට පෙර මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රාවණයක් එන්නත් කර ගැනීමෙන් පසු මියගිය තරුණයකුගේ මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ප්‍රදේශවාසි තරුණයෙකු පවසා තිබුණේ මියගිය තරුණයා ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්නා මත්පෙති විකුණා ලැබෙන මුදලින් හෙරෝයින් මත්කුඩු පානය කරන බවයි.
එම මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වූ වෛද්‍යවරයා මෙම සැකකරු ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසනවා.
පොලිස් අධිකාරි ඔමේෂ රන්දිකගේ උපදෙස් මත දවුලගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් රත්නායක, උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් කොස්තාපල්වරුන් වන (777465) රුවන්, (95324) ලාල් යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළා ෴
අ.පො.ස (උ. පෙළ) විභාගය – 2026 අයදුම්පත්‍ර කැඳවීම ඇරඹේ
(24.03.2026 – hirunews.lk)
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) – 2026 විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම අද (24) වැනිදා සිට අප්‍රේල් (24) දින දක්වා මාර්ගගතව සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව පවසනවා.
ඒ අනුව සියලුම අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය
https://www.doenets.lk/ හෝ
https://onlineexams.gov.lk/eic/index.php/clogin/ හරහා නිවැරදිව මාර්ගගතව (Online) අයදුම්පත්‍ර යොමු කළ යුතුයි.
එම විභාගය සඳහා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් පෞද්ගලිකවම ද අයදුම්පත් යොමු කළ යුතු බව සඳහන්.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් ඔබ වෙත ලබාදී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපදය (Password) භාවිත කරමින් අයදුම්පත් යොමු කළ යුතු අතර පෞද්ගලික අයදුම්කරුවන් තම ‘ජාතික හැඳුනුම්පත් අංකය’ භාවිත කර තමා විසින්ම මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු වනවා.
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත දිනට පෙර විභාගය සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු කරන ලෙසද ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව දන්වනවා.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපැල මගින් වීමසීම් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් පවසන්නේ.
ක්ෂණික දුරකථන : 1911
දුරකථන අංක : 011 278 5922 , 011 278 4537, 011 278 6616 , 011 278 4208
ෆැක්ස් අංක : 011 278 4422
විද්‍යුත් තැපෑල : gcealexam@gmail.com
බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 8 ක් : මුජිබර්
(24.03.2026 – hirunews.lk)
බාල ගල් අඟුරු භාවිතා කිරීම හේතුවෙන්න විදුලි උත්පාදනය අඩුවී තිබෙන නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ අටක් (8) සැපයීමට සිදුවී ඇති බවත් එය ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවේදී ප්‍රබල ගැටළුවක් වීමට ඉඩ තිබෙන බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනුයි මන්වූත්‍රීවරයා මේ බව පැවසුවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මෙසේ ද පැවසුවා :
“මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇතිවන බලපෑම් කළමනාකරණය කර ශ්‍රී ලංකාවේ ජනතාවට මැදපෙරදිග යද්ධයෙන්වන බලපෑම අවමවන ආකාරය පිළිබඳව මතු කරන්න සමගි ජනබලවේගය නිතරම කටයුතු කරනු ලැබුවා. නමුත් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් එල්ල නොවන බවත් එය කළමනාකරණය කරගත හැකි බවත් ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් නිතරම ප්‍රකාශ කළා.
කෙසේ නමුත් මැදපෙරදිග යුද්ධය හමුවේ ආණ්ඩුව යම් කලබලකාරි තත්ත්වයකට මුහුණ දී තිබෙන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. මෙම අර්බුදයේ බැරැරුම්කම පිළිබඳ ආණ්ඩුවට කිසිදු දැනුම්වත්භාවයක් නැහැ. එවැනි දැනුම්වත්භාවයක් තිබුණානම් මෙම අර්බුදය යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකියාව තිබුණා.
ඒ වගේම මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමේ පෙරනිමිත ජනවාරි මාසයේ සිට පහළවෙමින් තිබුණා. නමුත් එම පෙරනිමිති ආණ්ඩුව හඳුනාගත්තේ නැහැ. නමුත් මේ වනවිට මැදපෙරදිග යුද්ධය ශ්‍රීලංකාවට බලපා තිබෙනවා. එය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව මේ වනවිට අපොහොසත් වී තිබෙනවා.
ඒ වගේම ආණ්ඩුව ගෙනා බාල ගල් අඟුරු හේතුවෙන් ලක්විජය බලාගාරය නිෂ්පාදනය කරන විදුලියේ යම් අඩුවිමක් තිබෙනවා. ඒ අඩුවිම පියවා ගැනීමට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 8 ක් යොදා ගනු ලබනවා. ඒය සිදුවුණේ මැද පෙරදිග යුද්ධය නිසා නෙවෙයි. කුමාර ජයකොඩි ගෙනාපු බාල ගල් අඟුරු අනුර කුමාර සුදු කිරීම නිසයි මේ පාඩුට රටට දරන්න සිදුවී තිබෙන්නේ.
කෙසේ නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙනාපු නිසා දිනකට ඩිසල් ලිටර් ලක්ෂ 8 ක් වැය කරන්න සිදුවෙලා තිබෙනවා. ජනතාවට ලබා දෙන්න ගෙනා ඩිසල් තොගයයි මෙලෙස විදුලි උත්පාදනයට යොදා ගන්න ආණ්ඩුව කටයුතු කර තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුවේ තිබෙන අසමත්භාවය තුළ ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවීමේ ඉඩකඩක් තිබෙනවා.
ඒ අනුව රටේ විදුලි අර්බුදයක් නිර්මාණය කරනු ලබන්නේ ආණ්ඩුවයි. අවසානයේදී මේ පිඩනයත් රටේ ජනතාවට ගෙවන්න සිදුවේවි. ඒ වගේම බලශක්ති ඇමැතිවරයා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් රටට සිදුවුණ පාඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව එම පැමිණිලි වහාම පිළිබඳව අල්ලස් කොමිස වහාම ක්‍රියාත්මක විය යුතුයි. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මිලදී ගෙන රටට විශාල පාඩුවක් බලශක්ති ඇමැතිවරයා සිදුකර තිබෙනවා. අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඒ සඳහා වහාම ක්‍රියාත්මක විය යුතුයි.
ඒ වගේම ඉරාන නැව් ගැන විපක්ෂය බොරු ප්‍රචාර ගෙන යන බව ප්‍රකාශ කළා. නමුත් ලංකා රජයේ ආරාධනයක් අනුව ඉරාන නැව් ලංකාවට පැමිණි බව ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා. විපක්ෂය ද ආණ්ඩුව ද දැන් බොරු කියන්නේ. රටේ ජනාධිපතිවරයා ලෙස වගකිමකින් යුතුව හැසිරිය යුතුයි. ආරාධනයකින් ලංකාවට පැමිණියානම් ඉරාන නැව් ආරක්ෂා කිරීම ලංකා රජයේ වගකිමක්. ආණ්ඩුව ඉරානයෙන් සමාව ලබාගත යුතුයි.
ජනාධිපතිවරයා දිගින් දිගටම රටට බොරු ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ වගේම ඇමරිකානු නැව් පැමිණෙන බව ඇමරිකාව ඉල්ලිමක් කර තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නැහැ. ඉරානයේ නැව් පමණක් ලංකාවට පැමිණිමට ඉල්ලිමක් කර තිබෙන බව පමණයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. නමුත් ඇමරිකාව සහ ඉරානය කළ ඉල්ලිම් දෙකම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කරන්නේ දින 15 කට පසුවයි. ඒ වගේම ඉරානයේ යුද නැව් පැමිණිම සහ ඇමරිකාවේ ගුවන් යානා රැගත් නැවක් පැමිණිම සිද්ධින් දෙකක්. නමුත් ජනාධිපතිවරයා මෙම සිද්ධින් දෙක එක සිද්ධියක් ලෙස පෙන්වන්න උත්සහ කළා.
ඒ වගේම ජනාධිපතිවරයා මැද පෙරදිග යුද්ධය අවස්ථාවේදී ඉරානයට කතා කරලා තවම විස්තර විමසලා නැහැ. ඉරාන තානාපතිවරයා හමුවෙලා සාකච්ඡා කරලා නැහැ. කෙසේ නමුත් ඉරානයෙන් තෙල් මිලදී ගැනීම නිසා ඩොලර් මිලියන 250 ක ණයක් ගෙවන්නත් තිබෙනවා. ඉරානය ශ්‍රී ලංකාවට විශාල ලෙස උදව් කළා. ජිනිවා මානවහිමිකම් ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව සමඟ සිටියේ ඉරානය. ඒ වගේම ලංකාවේ තේ නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ඉරානය මිලදී ගනු ලබනවා. ශ්‍රී ලංකාවට දැවැත්ත ව්‍යාපෘති ගණනාවක් ලබාදී තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴