ලංගම අධිවේගි බස්වල 01 දා සිට කොන්දොස්තර නෑ

ලංගම අධිවේගි බස්වල 01 දා සිට කොන්දොස්තර නෑ


ලංගම අධිවේගි බස්වල 01 දා සිට කොන්දොස්තර නෑ

(18.06.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 01 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එහිදී අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර, බස් රථයේ රියදුරු විසින් එම ප්‍රවේශපත් නිකුත් කරන බව සඳහන්.

ලොව දියුණු රටවල් වන එංගලන්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද ඒ හේතුවෙන් ලංකාවේ ද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් ෴


කොළඹට විදුලි බස් රථ

(18.06.2023 – 14:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ එමඟින් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ගැටලුවට විදුලි බස් රථ සාර්ථක විසඳුමක් වනු ඇති බවයි ෴


හෘද රෝගීන්ගෙන් වැඩි පිරිසක් තරුණ ප්‍රජාව

(18.06.2023 – 16:59 +0530 – hirunews.lk/sinhala)

හෘද රෝග යනු අද (18) වන විට සමාජය ගිලගෙන ඇති තවත් භයානක රෝගයක්.

මිනිසෙකුට හෘද රෝගයක් ඇති වීම සදහා බලපාන ප්‍රධාන සාධක විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබුණත් මේ වන විට වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අපිරිසිදු වාතයද හෘද රෝග ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන බවයි.

මිනිස් ශරීරයේ විවිධ කොටස්වලට ජීවත් වීම සදහා අවශ්‍ය කරන ආහාරත්, ඔක්සිජන් වායුවත් විවිධ කොටස් වෙත ගෙන යනු ලබන්නේ රුධිරය මගින්.

සිරුරේ ඇති මෙම කොටස් වෙත රුධිරය පොම්ප කරනු ලබන්නේ හෘදයෙන්.

වැඩුණු මිනිසෙකුගේ හෘදය ග්‍රෑම් 300 ක් පමණ වන අතර ඊට අදාළ සියලුම රෝග පොදුවේ හෘද රෝග ලෙස හදුන්වනු ලබනවා.

හෘද රෝග ඇති වීම සදහා ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, මේද අනුපාතය, ස්ථූලතාවය, දුම්පානය කිරීම, මානසික ආතතිය, කායික වර්ධනය,මෙන්ම ජන්ම ප්‍රවේණිය වැනි සාධක බලපානවා.

එම සාධක එකක් හෝ ඊට වැඩියෙන් පවතීනම් හෘදයාබාධයකට ගොදුරුවීමේ අවධානමක් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මේ වන විට දිනෙන් දින වායු දූෂණය ඉහළ යාමත් මෙරට හෘද රෝගීන් ප්‍රමාණය ඉහළ යාම සදහා හේතු වී තිබෙනවා ෴


ඔන්චිලි පැදීමට ගිය 9 හැවිරිදි දැරියක් මියයයි

(18.06.2023 – 17:03 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල – නෙටොල්පිටිය ප්‍රදේශයේ නිවසක කොන්ක්‍රීට් කණුවක බැඳ තිබූ ඔන්චිල්ලාවක් පැදීමට ගිය දැරියක් එම කණුව කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා.

9 හැවිරිදි දැරියක් මෙලෙස මියගොස් ඇති අතර, ඇයගේ පියාද එම අවස්ථාවේදී කණුවට යටවී තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ දැරියගේ පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරුකර යැවූ බවයි ෴

+


ලග්ගල ශාන්තිකර්මයේදී කාන්තාවක් මියයාමට අදාළව කට්ටඩියා සහ බිරිඳ රිමාන්ඩ්

(18.06.2023 – 17:09 +0530 – hirunews.lk/sinhala)

ලග්ගල – දාස්ගිරිය හත්තොට අමුණ ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් අතරතුර හදිසියේ රෝගාතුරවීමෙන් කාන්තාවක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කට්ටඩියා සහ බිරිඳ මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (18) නාවුල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අනුරාධපුර – ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණා. අසනීප තත්වයෙන් පසුවූ කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමියෙකු (1) සුවපත් කිරීම සඳහා කට්ටඩියෙකු විසින් මෙම ශාන්තිකර්මය පවත්වා ඇති බව සඳහන්.

ඒ අතරතුර කට්ටඩියා විසින් මොවුන් තුන්දෙනාට (3) තැඹිලි ගෙඩි විසි එකක් (21) පොවා ඇති අතර, කහ දියරද බීමට සළස්වා තිබෙනවා.

ඉන් අනතුරුවයි කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් ඔවුන් රෝහල්ගත ගත කර තිබුණේ ෴

+


විහාරාධිපතිගේ සල්ලිවලට විද්ද ඇබිත්තයා හසු වෙයි

(18.06.2023 – 17:21 +0530 – hirunews.lk/sinhala)

කොලොන්නාව ශ්‍රී මහාබෝධි විහාරස්ථානයේ ආවාස ගෙට ඇතුළු වී විහාරාධිපති හිමිගේ බෑගයෙන් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් (1,25,000) සොරාගැනීම සම්බන්ධයෙන් සැකපිට ඒ පිළිබඳ පැමිණිලි කළ සේවකයාම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

ඉකුත් 12 වන දින සිදුව තිබූ මෙම සොරකමේ දී පැමිණිලිකාර සේවකයා සම්බන්ධයෙන් පොලිසියට ඇති වූ සැකයක් නිසා සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම සොරකම සිදුකළ බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

ආවාස ගෙයි ජනෙල් වීදුරු තුනක් (3) ගලවා ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබෙන අතර පොලිසිය නොමග යැවීම සඳහා ජනෙල් වීදුරු ගැල වූ බවද සැකකරු වැඩිදුරටත් පවසා ඇතැයි පොලිසිය පවසනවා.

හෝමාගම පදිංචි 63 හැවිරිදි මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා ෴


ඉන්ධන මිල සංශෝධන දිනය වෙනස් වෙයි – ඔක්ටේන් 95 පෙට්‍රල් හිඟයක් නැහැ

(18.06.2023 – 18:53 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් පවතින බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසනවා.

ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 570 ක් මිලදී ගත් බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් හිඟයක් පවතින බවට මීට පෙර කරුණු වාර්තාවුණා.

දින කිහිපයක සිට මෙම හිඟය පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග නිසි පරිදි පවත්වා නොගැනීම එම හිඟයට හේතුවී ඇති බවටයි වාර්තා වූයේ.

කෙසේ වෙතත් මේ වනවිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පවතින බවයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ප්‍රකාශකයා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර ඉන්ධන මිල සංශෝධනය කරන දිනයද වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර මාසයේ පළමුවනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් අවසන් වරට මිල සංශෝධනයේදී දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දක්නට ලැබුණේ ප්‍රමාණවත් පරිදි තෙල් තොග පිරවුම්හල් හිමියන් විසින් තොග නොපවත්වා ගැනීම හේතුවෙන්.

ඊට හේතුවූයේ ඉන්ධන මිල සංශෝධනය කරන බැවින් පිරවුම්හල් හිමියන් විසින් ඇණවුම් නොකිරීමයි.

එලෙස අවම වශයෙන් ඉන්ධන තොග පවත්වා නොගත් පිරවුම්හල් කිහිපයක බලපත්‍ර අහෝසි කිරීමටද පියවර ගන්නාබවයි විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර එහිදී ප්‍රකාශ කළේ.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 41 ක ලාභයක් උපයාගැනීමටද සමත්වී තිබෙනවා ෴


බුද්ධ ශාසන ඇමතිගෙන් සුමන්දිරන්ට පිළිතුරු – පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිගෙනුත් පැහැදිලි කිරීමක්

(18.06.2023 – 19:15 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – කුරුන්දන්මලේ විහාරස්ථානය ද්‍රවිඩ නායකයෙකු රජ කළ බවට සහ එහි කෝවිලක් තිබූ බවට සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා.

ඇතැම් ද්‍රවිඩ දේශපාලනඥයන් විසින් අදාළ විහාරස්ථානය කෝවිලක් තිබූ ස්ථානයක් බවට සිදුකරන මත පළ කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

මුලතිව් – කුරුන්දන්මලේ විහාරය අවට ඉඩම් ජනතාවට පවරදීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ කථිකාවක් නිර්මාණය වී ඇති අතර, පසුගිය 13 වනදා පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ජනාධිපතිවරයා වෙතද එම ඉඩම් බෙදාදීම සුදුසු නොවන බව සඳහන් කරමින් ලිපියක් යොමුකර තිබුණා.

පසුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිතුරු ලිපියක් යොමු කරමින් කියා සිටියේ එම විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එවැනි පසුබිමක් තුළ පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් එම විහාරස්ථානය සියයට සියයක්ම බෞද්ධ සිද්ධස්ථානයක් බවට පුරාවිද්‍යා කැණීම්වලදී හමුවූ නටඹුන් හා සෙල් ලිපිවලින් තහවුරු වී ඇති බව පෙන්වා දුන්නා.

ජාති භේදයකින් තොරව එම භූමිය ඓතිහාසික උරුමයක් ලෙස රැකගත යුතු බව උන්වහන්සේ එහිදී අවධාරණය කළා.

මේ අතර කුරුන්දන්මලේ විහාරය සම්බන්ධයෙන් මතුවූ කථාබහත් සමඟ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක එම ධුරයෙන් ඉවත්කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අද (18) බලපිටියේ පැවති උත්සවයකදී ප්‍රතිචාර දක්වා සිටියා.

අමාත්‍යවරයා කියා සිටියේ සියලු දෙනා එක්ව නැගී සිටිය යුතු කාලයක් එළැඹ ඇති බවයි ෴

+


පාන් මිල රුපියල් 10 කින් අඩු කරන්න – බේකරි හිමියන්ට රජයෙන් යෝජනාවක්

(18.06.2023 – 19:21 +0530 – hirunews.lk/sinhala)

පාන් රාත්තලක මිල රුපියල් 10 කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලත් රුපියල් 10 කින් අඩු කිරීමට තමන් බේකරි හිමියන්ට දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට බේකරි හිමියන් විසින් කටයුතු කරනු ඇති බවයි කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ තිරිඟු පිටි අඩු කිරීමට පියවර ගතහොත් පමණක් සිය නිෂ්පාදන අඩුකළ හැකි බවයි.

එවන් පසුබිමක තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් අද (18) ගැසට් නිවේදනයක්ද නිකුත් කළා.

ඒ අනුව යම් භාණ්ඩයක් නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කිරීමෙන් පසු එය අනිවාර්යයෙන්ම වෙළඳපොල තුළ හිඟයකින් තොරව පැවතිය යුතුයි.

යම් වෙළඳසැල් හිමියෙක් තොග සඟවාගැනීමක් සිදුකළහොත් මෙම ගැසට් නිවේදනයට අනුව රුපියල් ලක්ෂයේ (1) සිට ලක්ෂ 5 දක්වා දඩ පැනවීමේ හැකියාවද පාරිභෝගික අධිකාරිය සතුව පවතිනවා.

දැනට එම නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට කිරි පිටි, ගෑස් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් ඇතුළත් ෴


අම්පිටිය බලා ධාවනය වූ බසයක් තුළදී රන් මාලයක් ගලවාගත් තරුණියන් සිවුදෙනෙකු (4) රිමාන්ඩ්

(18.06.2023 – 20:08 +0530 – hirunews.lk/sinhala)

මහනුවර සිට අම්පිටිය බලා ධාවනය වූ බසයක් තුළදී උපායශීලීව කාන්තාවකගේ රන් මාලයක් ගලවාගත් නව යොවුන් වියේ තරුණියන් සිවුදෙනෙකු (4) මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය මගින් අද (18) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තරුණියන් සිව්දෙනා (4) මහනුවර සිට අම්පිටිය බලා ධාවනය වන බස් රථයකට නැග රතු බෝක්කුව හන්දිය ප්‍රදේශයට පැමිණෙන විට එහි ගමන් ගත් කාන්තාවක තම ගෙල බැඳි රන් මාලය නොමැති බව දැන ගැනීමෙන් පසු බස් රථයේ සිටි මගීන්ට ඒ බව දැනුම්දීමත් සමග බස් රථයේ සිටි කිසිවකුටත් පිටවීමට ඉඩ නොතබා පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් බස් රථයේ සිටි සැකකටයුතු පුද්ගලයන් පරික්ෂා කිරීමේදී එහි සිටි තරුණියකගෙ තිසර පටය තුළ සඟවාගෙන සිටි රන්මාලය හමුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ සිටි අවුරුදු 18-22 වයසේ තරුණියන් සිවුදෙනෙකු (4) සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තරුණියන් තිදෙනෙකු (3) කුඩ සහ අත් බෑග්වලින් ආවරණය කරගෙන සිටියදී එක් අයෙක් රන් මාලයේ ගාංචුවෙන් එය ගලවා ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණියන් පුත්තලම, ත්‍රිකුණාමලය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *