ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට

ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට


ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට

(18.06.2023 – 06:48 +0530 – hirunews.lk/sinhala)

ලග්ගල පොලිස් වසමේ දාස්ගිරිය, හත්තොට අමුණ ප්‍රදේශයේදී පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) වන දින උදෑසන දක්වා සිදු කරන ලද ශාන්තිකර්මයක් අතරතුරදී හදිසි අසනීප තත්වයකට පත්වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ලග්ගල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

මරණකාරිය වයස අවුරුදු 48 ක් වූ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වෙන්නේ.

ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්වයෙන් පසු වූ කාන්තාවන් දෙදෙනෙකු (2) හා පිරිමියෙකු සුවපත් කිරීම සඳහා ශාන්තිකර්මයක් පවත්වන අතරතුර ශාන්තිකර්මය සිදුකළ තැනැත්තා විසින් වරින් වර මොවුන් තිදෙනාට තැඹිළි ගෙඩි 21 ක් බැගින් පෙවීම සිදුකළ බවත්, එසේ සිදුකරන අතරතුරදී මෙම කාන්තාව හදිසි අසනීප තත්වයකට පත්වූ පසු කහ දියර ද බිමට සලස්වා තිබෙනවා.

ඉන්පසු රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව දාස්ගිරිය රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මෘතදේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) වන දින දඹුල්ල රෝහලේදී සිදුකිරීමට නියමිත අතර ශාන්තිකර්මය සිදුකරන ලද වයස අවුරුදු 25 ක් වන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

සිද්ධිය සම්බන්ධව ලග්ගල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

+


සූදු ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

(18.06.2023 – 07:12 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – වසායිච් – සේනයි නාවලඩි ප්‍රදේශයේදී මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කුකුල් ක්‍රීඩාවට සම්බන්ධ වූ පිරිසක්.

සිද්ධියේදී කුකුල් පොරය නරඹමින් සිටි පුද්ගලයෙකු සහ කුකුළු පොරයට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලඩි ප්‍රදේශයේ වයස අවුරුදු 26 ත් 30 ත් අතර පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ ෴


මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

(18.06.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු (2) රෝහල් ගත කර තිබෙනවා.

එය ඩුබායි හි සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන වරුණ, රසල් , ප්‍රියන්ත යන පුද්ගලයන් තුන්දෙනා (3) විසින් මෙහෙයවූ බවටයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම වෙඩි තැබීමට යොදා ගත් ටී-56 වර්ගයේ ගිනි අවිය ගම්පහ – කෙහෙල්බද්ද ප්‍රදේශයේ පාතාල සාමාජිකයෙකුගෙන් ලබා ගෙන ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ.

දීර්ඝ කළක සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවති ගැටුමක ප්‍රතිඵලයක් ලෙසයි මිනුවන්ගොඩ – බැස්ටියන් මාවත ආසන්නයේදී ඊයේ (17) රාත්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු (2) වන 42 හැවිරිදි ‘නිහාල් හරිස්චන්ද්‍ර’ හෙවත් ‘බාප්පා’ සහ 35 හැවිරිදි ‘විස්මිල් මධූ’ හෙවත් ‘චප්පා’ මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මොවුන් දෙදෙනා (2) යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදියි මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් ටී-56 ගිනි අවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණේ. මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට මිනුවන්ගොඩ, හලාවත, මීගමුව සහ සීදුව යන අධිකරණවල තුවාල ලැබූ දෙදෙනාට (2) විරුද්ධව නඩු විභාග වෙමින් පවතින බව සඳහන්.

මිනුවන්ගොඩ – බැස්ටියන් මාවත ආසන්නයේදී ඊයේ (17) රාත්‍රියේ දී සිදු වූ වෙඩි තැබීම ඩුබායි සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

+


අද (18) ලෝක පියවරුන්ගේ දිනයයි

(18.06.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ගේ ලෝකය තුළ සිටින සෙනෙහෙබර පිරිමි ආත්මය වන්නේ තාත්තා ය. එපමණක් නොව දරුවන් රජුන් තනනු වස් නිරතුරු වෙහෙසෙන ආදරණීය තාත්තා සැබවින් ම දරුවන්ගේ ලොවෙහි වීරයා ද ඔහුම පමණයි.

සෑම වසරකම ජූනි මාසයේ තුන්වන (3) ඉරිදා දිනය ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරනු ලබනවා.

මෙය 1910 වසරේදී පමණ ඇමෙරිකාවේ ආරම්භ වූ බව සඳහන්.

1916 පමණ වන විට ඇමෙරිකාවේ ජනාධිපති වූ වුඩ්රෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකමින් කටයුතු කර තිබෙනවා.

ලොව ඇතැම් රටවල් නොවැම්බර් 19 වැනිදා ලෝක පියවරුන්ගේ දිනය සමරන අතර, ඇතැම් රටවල් තමන් විසින් තෝරා ගත් විවිධ දිනයන්හිදී එම දිනය සමරනු ලබනවා.

+


පොලිස් ස්ථානාධිපතිට පොලීසියෙන්ම මරණ තර්ජන

(18.06.2023 – 08:43 +0530 – hirunews.lk/sinhala)

සිවලාකුලම පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජනය කළ පොලිස් කොස්තාපලයෙකු ගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

සති තුනක (3) කාලයක් එක දිගට රාජකාරි වල යොදවා තිබීම හේතුවෙන් කුපිත වූ පොලිස් කොස්තාපලයා මෙලෙස මරණ තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි ෴


සතොස වසා දැමීමේ තීරණයක්

(18.06.2023 – 09:34 +0530 – hirunews.lk/sinhala)

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (ස.තො.ස) වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළෙඳ අමාත්‍යංශය සූදානම් වෙන බව වාර්තා වෙනවා.

සතොස ආයතනය වසර ගණනාවක්ම දිගින් දිගටම පාඩු ලැබීම මීට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සේවය කරන සේවකයින් පිළිබඳව පසුව තීරණය කරන බවත් සඳහන් ෴


යාපනයේ නාගපූෂණී අම්මාන් කෝවිලේ පූජාවට පෙර සිදු වූ අකරතැබ්බය

(18.06.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ නාගදීපයේ පිහිටි ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යට පැය කීපයකට පෙර විශාල නාගයින් තුන්දෙනෙකු (3) කෝවිල තුළට පැමිණීමත් සමගම බැතිමතුන් බියට පත් වී ආරක්ෂිත ස්ථාන කරා ගොස් තිබෙනවා.

කෝවිලේ බාරකරුවන් විවිධ ස්ත්‍රෝත්‍ර කියමින් නාගයින් පලවා හැරීමට උත්සහ කොට ඇතත් එම නාගයින් කෝවිල පුරා බඩ ගාමින් ගොස් අවසානයේ දී කෝවිලෙන් බැහැරව එකිනෙකා පසු පස එකිනෙකා ගොස් තිබෙනවා .

කෝවිලට නාගයින් පැමිණීම සම්බන්ධයෙන් කෝවිලේ පූජකවරු විවිධ මත පලකරණු ලැබූවත් බැතිමතුන් පූජාවලට සහභාගී වී ඇත්තේ දැඩි විපරමකින් පසුව බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


කතරගම ඇසළ උත්සවයට පැමිණෙන බැතිමතුන්ට, මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

(18.06.2023 – 10:29 +0530 – hirunews.lk/sinhala)

වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා.

හෙට (19) දිනයෙන් ආරම්භ වන ඇසළ උත්සවය ලබන මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම කාලසීමාව තුළ බැතිමතුන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර, අක්‍රමවත් කසළ බැහැරකිරීම හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700 ක් පමණ එක්රැස්වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.

මෙම තත්වය පාලනයට කතරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පෙරහැර කමිටුව සමඟ ඒකාබද්ධව මධ්‍යම පරිසර අධිකාරිය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව පූජා භූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවල ගමන් මලු පරීක්ෂා කර ඒ වෙනුවට හිතකාමී ආදේශක මලු ලබාදීම, බැතිමතුන් ප්‍රවාහනය කරන රථවල දැනුවත් කිරීමේ ස්ටිකර් ප්‍රදර්ශනය, දැන්වීම් පුවරු සහ අත්පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරීමද සිදුකරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ෴


‘දේශීය ණය ප්‍රශස්තකරණයේ ක්‍රියාවලිය තවමත් අවසන් කර නෑ’ ෂෙහාන් සේමසිංහ

(18.06.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)

දේශීය ණය ප්‍රශස්තකරණයේ ක්‍රියාවලිය තවමත් අවසන් කර නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

බැංකු සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීමට රජය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවයි ඔහු සඳහන් කර සිටියේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ සම්බන්ධ වීමේ දී ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *