බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට

බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට


බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට

(17.06.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala)

බමරකන්ද ඇල්ලෙන් වැටී සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අද (17) ජීවිතක්ෂයට පත්වී ඇති බව හල්දුම්මුල්ල බව පොලීසිය පවසයි.

පස් (5) දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවකට පැමිණ සිටිය දී පය ලිස්සා විසිපස් (25) හැවිරිදි මෙම සිසුවා ඇල්ලෙන් පහළට වැටී තිබෙනවා.

හල්දුම්මුල්ල පොලිසිය කණ්ඩායමක් යොදවා ඇල්ලට වැටුණු සිසුවා සොයා මෙහෙයුම් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙකු හිරු ට පැවසීය ෴


පවුලක මාසික වියදම ඉහළට

(17.06.2023 – 19:10 +0530 – hirunews.lk/sinhala)

මෙරට පවුලක මාසික වියදම රුපියල් 76,124 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවකින් හෙළි කර තිබෙනවා.

මෙම වසරට (2023) අදාළ දත්ත වාර්තා අනුව, එම වියදම පෙන්නුම් කරන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේ.

මෙරට පවුලක මාසික වියදම පසුගිය වසරේ (2022) පැවතුණේ රුපියල් 63,820 ක් ලෙසයි. 2022 වසරට සාපේක්ෂව මෙම වසරේ (2023) මෙරට පවුල් වලින් සියයට 60 කගේ මාසික ආදායම පහළ ගොස් ඇති බව ද අදාල වාර්තාවෙන් හෙළිව තිබෙනවා.

එම වාර්තාවට අනුව, පවුලක මාසික වියදමෙන් සියයට 53 ක් එනම් රුපියල් 40,632 ක මුදලක් වැය කරනු ලබන්නේ ආහාර සපයා ගැනීම සදහා බවත්, ඉතිරි සියයට 47 එනම්, රුපියල් 35,492 ක මුදල වැය වන්නේ ආහාර නොවන අවශ්‍යතා සඳහා බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙනවා.

එමෙන්ම, මෙරට පවුල්වල ආහාර නොවන අවශ්‍යතා සඳහා වැය කරන මුදලින් වැඩිම ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සදහා වැය කිරීමට සිදුව ඇති අතර එය ආහාර නොවන වියදම් වලින් සියයට 23 ක ප්‍රතිශතයක් බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

+


ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත ජනපතිට

(17.06.2023 – 19:27 +0530 – hirunews.lk/sinhala)

‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත – 2048’ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා තිබෙනවා.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් එය සකස් කර ඇති අතර, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ඊට අදාළ අනෙකුත් ආයතනවල ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ඊට ඇතුළත්.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව විසින් නිර්දේශ කර ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාවේ අනුමැතිය සදහා ඊයේ (16) මෙලෙස එය ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසූසා කුබෝටා අතර හමුවක් ද ඊයේ (16) සිදුකෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සහ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා තුළ තරුණ සහභාගීත්වය ඉහළ නන්වා ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරයක් සදහා අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ප්‍රංශ සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සභාවක් ඇමතීමට ආරාධනා කර තිබෙනවා.

ඒ ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රොන් විසින්.

මේ අතර, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අද (17) වාර්තා කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි 21 ඉන්දියාවේ සංචාරයක නිරත වන අතර, එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි, ඇතුළු ඉහළ පෙලේ රාජතාන්ත්‍රිකයන් පිරිසක් හමු වීමට ද නියමිත බවයි.

එමෙන්ම, ජනාධිපතිවරයා ලබන ඔක්තොම්බර් මාසයේ චීනයේ සංචාරයක නිරත වීමට ද සැලසුම් කර ඇති බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ ෴


තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතුවක් නැහැ – ආනයනකරුවන්

(17.06.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ තිරිඟු පිටි මිල රුපියල් 40 කින් ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ තිරිඟු පිටි ආනයනය තහනම් කර ඇති මොහොතක ඩොලරයේ මිල උච්ඡාවචනය මත පිටි මිල එලෙස ඉහළ දැමිය නොහැකි බවයි.

මේ අතර, ආපනශාලා හිමියන් චෝදනා කරන්නේ බොහෝ බේකරි හිමියන් අධික මිල ගණන් වලට තවමත් බේකරි නිෂ්පාදන ආපනශාලාවලට ලබාදීම නිසා මිල අඩු කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි ෴


‘රත්ගම විදුර’ගේ මස්සිනාට සීනිගමදී වෙඩි

(17.06.2023 – 19:58 +0530 – hirunews.lk/sinhala)

සීනිගම දේවාලය ආසන්නයේදී අද සිදු වූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘රත්ගම විදුර’ගේ මස්සිනා බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

පෙරවරු 11 ට පමණ මොහු සිය මෝටර් රථයෙන් බැස ඒ අසල රැදී සිටියදී, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෝටර් රථය පදවාගෙන හික්කඩුව පොලිසිය වෙත ගොස් ඇති අතර, අනතුරුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

වෙඩි තැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ උරහිසට තුවාල සිදුව ඇති අතර තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

රත්ගම ප්‍රදේශයේ පදිංචි, 33 හැවිරිදි වියේ පසුවන මොහු මෙවර පළාත් පාලන ආයතන ඡන්දයට තරග කිරීම සදහා සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ඉදිරිපත් කර තිබූ අයෙක් බව සඳහන්.

මේ අතර, මාළඹේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිට වෙඩි තැබීමට තැත් කළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

කාලයක සිට ඔවුන් දෙදෙනා (2) අතර මතභේදාත්කමක තත්ත්වයක් තිබී ඇති අතර, ඊයේ (16) ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගිය අවස්ථාවේ සැරයන්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව අනෙකුත් නිලධාරින් එක්ව තත්ත්වය සමථයකට පත් කර ඇති අතර, සිද්ධියෙන් පසුව අදාළ සැරයන්වරයා රාජකාරි ස්ථනයෙන් බැහැරව පලාගොස් තිබෙනවා ෴


අවුරුදු 18 ඉක්මවූ ජනගහනයෙන් සියයට 25 ක් භයානක තත්වයක

(17.06.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට වයස අවුරුදු 18 ඉක්මවූ ජනගහනයෙන් සියයට 25 ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

නිහඬ මාරයෙකු ලෙස ක්‍රියාකරන මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ඇත්තේ ඉතා අඩු අවධානයක්.

අධි රුධිර පීඩනය වළක්වා ගැනීම හා ඊට කළ යුතු ප්‍රතිකාර සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කරන සිහි කැඳවීමක් මේ.

කාර්යබහුල ජීවන රටාවත් සමග බොහෝ දෙනෙකුට තම ශරීර සෞඛ්‍යය පිළිබඳව සිතන්නටවත් ඉඩක් නොමැති තරම්.

ආහාර වේල් මග හැරීම, ව්‍යායාම නොමැතිකම, නින්ද අඩුවීම හා මානසික ආතතිය වැනි තත්ත්වයන් සාමාන්‍ය තත්ත්වයන් ලෙස දකින්නට බොහෝ දෙනා පුරුදු වෙලා.

නමුත් මෙහි ඇති භයානක පැතිකඩ වන්නේ තවත් රෝග රැසකට ඉඩ සලසන අධි රුධිර පීඩනය හට ගැනීමයි.

අද වනවිට වයස අවුරුදු 18 ඉක්මවූ ජනගහනයෙන් සියයට 25 ක් හා වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනයෙන් සියයට 50 ක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව මෑතකදී කළ සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

අධි රුධිර පීඩනය පහසුවෙන් හඳුනාගත හැකිද?

හෘදයාබධ, වකුගඩු අකර්මන්‍ය වීම හා අංශභාගය වැනි රෝගී තත්ත්වයන්ට මුල පුරන අධි රුධිර පීඩනය ජනතාව අතර ඉහළ යාමට බලපා ඇති සාධක රැසක් පවතිනවා.

අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වා ගැනීම හා ඊට පවතින ප්‍රතිකාර නිවැරදිව සිදුකරගැනීම වැදගත්.

මේ අතර හෘද රෝගීන්ගේ වැඩිවීමක්ද දක්නට ලැබෙන බව වෛද්‍යවරු පෙන්වා දෙනවා ෴

+


ප්‍රේම සබඳතාවය නිසා ගුටි කෙළියෙන් අයෙක් මියයයි

(17.06.2023 – 21:34 +0530 – hirunews.lk/sinhala)

මුරුක්කන් පොලිස් වසමේ අච්චාන්කුලම් ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු නානාට්ටාන් රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

එම රෝහලේ වෛද්‍ය නිලධාරිණිය විසින් අද (17) මුරුක්කන් පොලිස් ස්ථානයට කරන ලද දැනුම්දීමකට අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය තැනැත්තා වයස අවුරුදු 25 ක් වන අච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම ප්‍රදේශයේ තරුණයෙකු හා තරුණියක් අතර තිබූ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණියගේ පියා ඇතුලු පිරිසක් විසින් එම තරුණයාට හා ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහර දී ඇති අතර එහිදී පහර කෑ වැඩිමහල් සහෝදරයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය තරුණයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා.

අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුරුක්කන් පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි ෴


අක්‍රමවත් මලඅපද්‍රව්‍ය බැහැර කිරීමක්

(17.06.2023 – 21:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් හෝමාගම පිහිටි තාක්ෂණික පීඨ නේවාසිකාගාරයේ මලඅපද්‍රව්‍ය යාබද කුඹුරුවලට බැහැර කිරීම හේතුවෙන් පරිසර දුෂණයක් සිදුවන බව මධ්‍යම පරිසර අධිකාරිය සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි එම අධිකාරිය විශ්ව විද්‍යාලයට ලිඛිතව දැනුම්වත් කර තිබුණද මෙතෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නැතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා ෴


බෞද්ධ උරුමයන් ගැන ආචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමිගෙන් ප්‍රකාශයක්

(17.06.2023 – 22:01 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් කුරුන්දි විහාරය වැනි රට පුරා පැතිර ඇති බෞද්ධ ඓතිහාසික උරුමය වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බව ආචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකායේ විධායක සංඝ සභාව අද රැස්වූ අවස්ථාවේදීයී.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *