විදුලි රැහැනක් හිසට වැටී සිසුවිය මරුට

විදුලි රැහැනක් හිසට වැටී සිසුවිය මරුට


විදුලි රැහැනක් හිසට වැටී සිසුවිය මරුට

(17.06.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala)

ලොරි රථයක ගැටීමෙන් කැඩුණු විදුලි රැහැනක් පාසල් සිසුවියකගේ හිස මතට වැටී සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ දහතුන් (13) හැවිරිදි අලුපොතගම, ගෝනගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. කොහුබත් පිර වූ ලොරි රථයක් වාරියපොල ගනේවත්ත මාර්ගයේ ධාවනය කරමින් සිටියදී විදුලි රැහැනකගැටී තිබේ. එම ගැටීමෙන් කැඩීආ විදුලි රැහැන ලොරි රථය පසුපස ධාවනය කරමින් තිබූ යතුරුපැදියේ පසුපස සිටි සිසුවිය ගේ හිසෙහි වැදී තිබෙනවා .

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරනවා ෴


සිව්වන (4) ශ්‍රේණියේ සිසුවෙකුට පහර දුන් විදුහල්පති අත්අඩංගුවට – සිසුවා රෝහලේ

(17.06.2023 – 15:14 +0530 – hirunews.lk/sinhala)

මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් එම පාසලේ සිව්වන (4) වසරේ ඉගෙනු ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර තිබෙනවා.

සිසුවාට A4 කොළයක් රැගෙන එන ලෙස දන්වා තිබුණ ද ඔහු එය රැගෙන නොඒම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් සිසුවාගේ පිට ප්‍රදේශයට පහරදී ඇති බව සඳහන්.

පාසල නිම වී නිවසට ගිය පසු එකවරම වමනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දරුවාගෙන් ප්‍රශ්න කිරීමේ දී පහර කෑමට ලක් වූ දරුවා විදුහල්පතිවරයා කළ පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන්ට පවසා තිබෙනවා.

දෙමාපියන් විසින් සිසුවාට අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට සිසුවා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර පහර දීම් සැකකාර විදුහල්පතිවරයාව ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


රිය අනතුරකට ලක්වීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ රෝහල්ගත කරයි

(17.06.2023 – 16:28 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ නිල රථය අනතුරට ලක්වීමෙන් ඔහුගේ බිරිඳ තුවාල ලබා තිබෙනවා.

පිත්තල හංදිය ප්‍රදේශයේ දී විදුලි සංඥා පුවරුවක් අසල නතර කර සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් නිල රථයේ ගැටුණු අනික් රථයේ රියදුරු බීමත්ව රිය පදවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

දින දෙකකට (2) පමණ පෙර සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ තම බිරිඳ ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළා ෴


වාරියපොළ පොලිසියට ජංගම දුරකථන ගැටලුවක්

(17.06.2023 – 16:40 +0530 – hirunews.lk/sinhala)

වාරියපොළ පොලිසිය තුළට ජංගම දුරකථන සංඥා නොමැතිවීම හේතුවෙන් තමන් බොහෝ පීඩාවට පත්වන බව එම පොලිසියේ නිලධාරීන් චෝදනා කරයි.

ජංගම දුරකථනයකින් ඇමතුමක් ගැනීමට අවශ්‍ය වුවහොත් යාබද මහා මාර්ගයට හෝ පොලිසිය පිටුපසට යාමට අවශ්‍ය බවත් හදිසි අවස්ථාවන්වලදී කිසිදු අයෙකුට පොලිස් ස්ථානය තුළ සිටින කිසිදු අයෙකු සම්බන්ධ කර කරගැනීමට නොහැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

වසර කිහිපයක් තිස්සේ මෙම සම්බන්ධව උසස් නිලධාරීන් මෙන්ම අදාල ආයතන දැනුවත් කළ ද කිසිදු පලක් නොමැති වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටී ෴


රථවාහන අනතුරු අවම කරගැනීමට පොලිස් නිලධාරීන්ට විශේෂ වැඩපිළිවෙලක්

(17.06.2023 – 17:00 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව වැඩිවෙමින් පවතින රථවාහන අනතුරු හේතුවෙන් මියයන පිරිස ඉහල ගොස් ඇති පසුබිමක රථවාහන අනතුරු හා ඉන් සිදුවන මරණ ප්‍රමාණය අවම කරගැනීම වෙනුවෙන් වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ සංකල්පයකට අනුව පොලිස් කොට්ඨස 5 ක් වෙනුවෙන් ක්‍රියාත්මක කළ රථවාහන නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (17) පැවැත්වුනා.

එහිදී සම්පත් දායකයා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කේ.ජේ. ගුණසේකර මහතා සිය දේශනය මෙහෙයවමින් රථවාහන නිළධාරීන්ගේ වගකීම මෙන්ම අධිකරණයමය කටයුතු වලදී රථවාහන නිළධාරීන් නීතිකෘත්‍යන් සඳහා සූදානම් වියයුතු ආකාරය පෙන්වා දෙමින් ඒ හරහා රථවාහන අනතුරු අවම කරගන්නා ආකාරය පෙන්වා දුන්නා.

එමෙන්ම බොහෝදෙනෙකුට අමතක වී ඇති මංමාවත් පනතේ රථවාහන අනතුරු අවම කරගතහැකි ආකාරය පිළිබඳවද පෙන්වාදුන් ඒ මහතා එහිදී පාරවල් වල කිසිදු මාර්ග සලකුණක් නොවන, සෑම සටහනක්ම වදනක්ම ඇඳීමක්ම දඩයකට යටත් විය යුතු වරදක් බවත් ඉන් ඇතිවිය හැකි මාර්ග අනතුරු පිළිබඳවත් උදාහරණ සහිතව පෙන්වා දුන්නා.

කුලියාපිටිය කුරුණෑගල හලාවත පුත්තලම හා නිකවැරටිය ආදී පොලිස් කොට්ඨාසවල සහකාර පොලිස් අධිකාරී වරුන් හා රථවාන ස්ථානාධිපතවරු මෙන්ම රථවාහන අංශවලට අනුයුක්තව කටයුතු කරන නිළධාරීන් මේ සඳහා සහභාගීව සිටි අතර එහිදී නිළධාරීන්ට ප්‍රශ්න යොමු කිරීමටද අවස්ථාව සලසා දී තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ගුණසේකර, වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජල අභයවර්ධන ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා ෴


මාමණ්ඩිගේ උදලු පහරින් බෑනා මරුට

(17.06.2023 – 17:02 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මාමණ්ඩිය සිය බෑනාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මින්නේරිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 81, රොටවැව, ගල්ඔය හන්දිය, පදිංචි වීරවර්ධන බණ්ඩාරනායකගේ ඉෂාර ඔෂද බණ්ඩාරණායක නමැති 32 හැවිරිදි දෙදරු පියෙක්.

මරණයට පත්වූ පුද්ගලයා දිනපතා බීමත්ව පැමිණ සිය බිරිදට රණ්ඩුසරුවල් කර ඇති අතර පසුගියදා මරණකරු සිය බිරිද සමග රණ්ඩු කර තිබෙනවා.

ඒ අවස්ථාවේ බිරිද දරුවන්ද රැගෙන යාබද නිවසේ සිටින සිය පියාගේ නිවසට ගොස් සැඟව සිටින අතර තුර ඒම නිවසට ද පැමිණ මෙම පුද්ගලයා රණ්ඩු කළ අවස්ථාවේ මෙම බහින්බස්වීම දුරදිග යෑමෙන් නිවසේ තිබූ උදැල්ලෙන් සැකකාර මාමා විසින් ඔහුගේ හිස ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇතැයි විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය පවසයි ෴


ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය මඟින් ගෘහ මූලික ලැයිස්තු ඩිජිටල් කිරීමට නියමිතයි – රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත

(17.06.2023 – 17:04 +0530 – hirunews.lk/sinhala)

ගෘහ මූලික ලැයිස්තුව ඇතුළු පවූල් තොරතුරු ඩිජිටල් කිරීමට අදාල දත්ත එක්රැස් කිරීම් ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික ලබාදීමේ විශේෂ ජංගම සේවාවට 2023.06.17 දින එක්වෙමින්.

‘e ග්‍රාම නිලධාරි’ ව්‍යාපෘතියට අදාල දත්ත එක් රැස් කිරීම පුත්තලම, කළුතර, කොළඹ, ගම්පහ, හම්බන්තොට, මන්නාරම, මාතර යන දිස්ත්‍රික්ක මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරනු ලබන මහජන සේවාවන් නව තාක්ෂණය සහිතව කාර්යක්ෂම ඉටුකිරීමට මෙම ‘e ග්‍රාම නිලධාරි’ ජාතික ව්‍යාපෘතියේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත වැඩිදුරටත් කියා සිටියේය.

මෙම දිස්ත්‍රික්ක සඳහා අදාල කොට්ඨාශ භාර ග්‍රාම නිලධාරි හෝ බලයලත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැමිණ අදාල තොරතුරු ගැනීම ඉදිරියේදී සිදු කරනු ඇත.

‘e ග්‍රාම නිලධාරි’ ව්‍යාපෘතියට අදාළ තොරතුරු ඩිජිටල් කිරීමෙන් ඉදිරියේදී රාජ්‍ය සේවයෙන් ලබාගන්නා සේවාවන් සහ සහතික පත්‍ර online (මාර්ගගත) ක්‍රමයට ලබාගත හැක ෴


කාර් රථයක් ඉස්සු හතරක් (4) අත්අඩංගුවට

(17.06.2023 – 17:20 +0530 – hirunews.lk/sinhala)

වාහන අත්පත් කර ගැනීමේ නිලධාරීන් බව කියමින් සිවිල් ආරක්ෂක නිලධාරියෙකුගේ කාර් රථයක් පැහැරගත් සැකකරුවන් 4 දෙනෙකු පොලොන්නරුව පොලිසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිවිල් ආරක්ෂක නිලධාරියා පොළොන්නරුව නගරයට සිය නිවසේ සිට යමින් සිටියදී වෙනත් රථයකින් පැමිණි සැකකරුවන් පිරිස සිවිල් ආරක්ෂක නිලධාරියාට පහර දී කාර් රථය පැහැරගෙන ගොස් ඇත. එම කාර් රථය තුළ තිබූ රුපියල් ලක්ෂ දෙකකට (2) ආසන්න මුදලක් ද කොල්ල කා ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


සෞඛ්‍ය අමාත්‍යංශයට රතු එළියක් – දින 7 ක් ඇතුළත විසඳුම් දෙන්න

(17.06.2023 – 17:31 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින 7 ඇතුළත සිය ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යංශය නිසි විසඳුම් ලබා නොදුනහොත් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

එහි සභාපති රවී කුමුදේෂ් පැවසුවේ ඖෂධවේදීන් ඊයේ (16) ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (17) පෙරවරු 8 ට අවසන් කළ බවයි.

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම සංකේත වැඩ වර්ජනයේ නිරත වූ බව ඔහු කියා සිටියා ෴


නීති විරෝධීව ධීවර කටයුතු කළ අටක් (8) නාවික හමුදාවට කොටුවෙයි

(17.06.2023 – 17:56 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ පුද්ගලයින් 8 දෙනෙකු උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

බලපත්‍ර රහිතව කිමිදුම් කටයුතුවල යෙදුණු මෙම පුද්ගලයින් සතුව තිබූ ඩිංගි යාත්‍රා හතරක් (4) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස සහ උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා ෴


මැණික් පතල කඩා වැටී දෙදෙනෙකු (2) මරුට

(17.06.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

රක්වාන ඕබොඩකන්ද දොළ රක්ෂිතයක අනවසරයෙන් මැණික් පතල් හාරමින් සිටි පුද්ගලයන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් දෙදෙනකු (2) තුවාල තුවාල ලබා රෝහල් ගතකළ බව රක්වාන පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ රක්වාන මාදම්ප වතුයායේ පදිංචි සෙල්ලමුත්තු සෙල්වකුමාර නැමැති හතලිස් අට (48) හැවිරිදි සිව් දරු පියකු හා එස්. ත්‍යගරාජා නැමැති හතළිස් පස් (45) හැවිරිදි තිදරු පියෙක්.

මැණික් ගරමින් සිටි පිරිස පස් කන්දකට යටවීමෙන් අනතුරුව තුවාල ලබා සිටියදී ඉන් ගොඩට ගෙන රක්වාන ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන පැමිණි නමුත් ඒ වනවිටත් දෙදෙනා (2) මියගොස් සිටි බව‍යි පොලිසිය පවසන්නේ ෴


සුද්දන් කොල්ල කෑ මිල කළ නොහැකි ආයුධ හයක් (6) යළි මෙරටට

(17.06.2023 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ලන්දේසි පාලන සමයේ දී (1640-1796) ශ්‍රී ලංකාවේ සිට ඕලන්දයට (නෙදර්ලන්තය) රැගෙන ගිය මිල කළ නොහැකි පෞරාණික අවි ආයුධ 06 ක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කළ ඉල්ලීමකට අනුව නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නෙදර්ලන්ත රජය පොරොන්දු වී තිබෙනවා.

පාරම්පරික සිංහල කැටයම් සහිත කාලතුවක්කුවක්, ලෙව්කේ දිසාවේට අයත් දියමන්ති එබ්බවූ කඩු කස්තාන ඇතුළු අවි ආයුධ ද මෙම පුරාවස්තු අතරට අයත්.

මෙම පෞරාණික භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන ආ පසු කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ කුටියක තැන්පත් කරන අතර නෙදර්ලන්ත රජයේ අධීක්ෂණය යටතේ එම කුටිය මේ වන විට ඉදිකරමින් පවතින බවයි හිරු ප්‍රවෘත්ති අප වෙත වාර්තා වෙන්නේ.

ලංකාවට රැගෙන ආ පසු කෞතුක භාණ්ඩ වලට කාලගුණික සාධක වලින් හානියක් නොවන පරිදි අදාල කුටිය නිර්මාණය කිරීමට ජාතික කෞතුකාගාරය මේ වන විටත් පියවර ගෙන ඇතැයි කෞතුකාගාර නිලධාරියෙකු අප වෙත පැවසීය.

මෙම විශේෂිත කුටියේ ඉදිකිරීම් මෙම සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන අතර ඔක්තෝම්බර් මාසයේ මුල් සතියේ දී එම පුරාවස්තු මෙරටට රැගෙන ඒමට නියමිතයි.

රිදී, රත්‍රන් සහ මැණික් ඔබ්බවා ඇති ලෝකඩ කාලතුවක්කුව, ලී තුවක්කු කරත්තය, ඝන රන් මිටක් සහිත දියමන්ති 136 ක් එබ්බ වූ රන් කොපුවක් සහිත කස්තානය, සියුම් කැටයම් ලී මිට සහිත තුවක්කු දෙකක්, යකඩ කඩුවක් සහ කොපුවක්, රන් ආලේපිත කුඩා තුවක්කු බටයක් සහ ලෝකඩ තුවක්කුවක් එම පෞරාණික භාණ්ඩ අතරට අයත් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *