වාහන ආනයනයට තවම අවසර නැහැ

වාහන ආනයනයට තවම අවසර නැහැ


වාහන ආනයනයට තවම අවසර නැහැ

(16.06.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ 900 ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (16) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ :

“අද ඩොලරයේ මිල තීරණය වන්නේ ඊට ඇති ඉල්ලුම සැපයුම මතයි. නමුත් මීට පෙර අපි සතුව තිබුණ සංචිත මුදා හරිමින් ඩොලරය පාලනය කිරීමට උත්සාහ කළා. අද ඉල්ලුම සහ සැපයුම මත ඩොලරයේ අගය තීරණය කරල තියෙනවා. රුපියල් 360 ට ඉහළ ගිය ඩොලරයේ අගය පහළ බැස්සේ ඩොලර් ලැබෙන මාර්ග වර්ධනය වුණ නිසයි. සංචාරක කර්මාන්තය වර්ධනය වුණා. විදේශයන්වල සිටින අපේ සහෝදරයන් එවන ප්‍රේෂණ වැඩි වුණා. ඒ වගේම ඩොලර් පිටතට ඇදී යන ආනයනයන් සීමා කළා.

නමුත් පහුගිය සතියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් මිල දී ගන්න ඩොලර් මිලියන 75 ක් 80 ක් පමණ අවශ්‍ය වුණා. මෙම මුදල මහ බැංකුව මිල දී ගත්ත නිසා ඩොලරයේ අගය යළිත් ඉහළ යාමේ තත්ත්වයත් උදා වුණා. ඒ වෙලාවෙ ඩොලර් මඟින් ආයෝජනය කරන පාර්ශ්ව ඩොලරය ඉහළ යයි කියන අපේක්ෂාව මත ඒවා මිල දී ගත්තා.

ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ. මේක සාමාන්‍ය තත්ත්වයක්.” යනුවෙන්.

රථ වාහන ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රට පවතින තත්ත්වය හමුවේ එය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු තත්ත්වයක් බවයි.

තෙල් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 80 ක් වෙන් කළ විට ද එය ඩොලරයේ අගය කෙරෙහි බලපෑමක් ඇති කළේ නම් රථ වාහන ආනයනය වැනි ඩොලර් විශාල ප්‍රමාණයක් වැය වන කරුණක් පිළිබඳ සලකා බැලීම දැඩි අධ්‍යයනයෙන් යුතුව කළ යුතු බවයි.

එබැවින් මේ අවස්ථාවේදී රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දිය නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළා ෴


තලංගම ‘ස්පා’ වටලයි

(16.06.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala)

තලංගම නගරය කේන්ද්‍ර කර ගෙන සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) මුවාවෙන් පැය 24 පුරාම ගණිකා නිවාස පවත්වාගෙන යන බවට මහජනතාවගෙන් සහ විවිධ පාර්ශව වලින් වලාන දූෂණ මර්ධන ඒකකය වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට අනුයුක්ත බුද්ධි අංශ නිලධාරින් සිදු කළ මෙහෙයුකින් තරුණියන් හා කාන්තාවන් 23 දෙනෙකු හා ගණිකා නිවාස කළමණාකරනය කල සැකකරුවන් 06 දෙනෙක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තලංගම , මාලඹේ සහ කඩුවෙල යන පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කර තිබෙනවා.

දින ගනණාවක් පුරාවට බුද්ධි අංශ නිළධාරීන් යොදවා සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව අත් අඩංගුවට පත් මේ පිරිස අද (16) කඩුවෙල මහේශ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙලෙස අත්අඩංගුවට පත් තරුණියන් හා කාන්තාවන් වයස අවුරුදු 20 ත් 35 ත් අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අගනුවරට රැකියා සදහා පැමිණි අය බවට වාර්තා වෙනවා ෴


සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට

(16.06.2023 – 17:03 +0530 – hirunews.lk/sinhala)

බොහෝ දෙනෙකුගේ අනවබෝධය මත අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචා සහගත ක්‍රියාවලට හසුවීමේ වර්ධනයක් දැකගත හැකි බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසනවා.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පැවසුවේ, එවැනි අපරධ මැඩලීම සඳහා මේ වනවිට විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.

තාක්ෂණික දියුණුවත් සමග අන්තර්ජාල පහසුකම් පුළුල් වීමෙන් බොහෝ දෙනෙකු යොමුවී ඇත්තේ සියල්ල ඇඟිලි තුඩේ දුරින් තබා ගෙන තම කාර්යයන් ඉටුකර ගැනීමටයි.

එවැනි තත්ත්වයක් තුළ පරිගණක ආශ්‍රිත අපරාධවල ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

අනවශ්‍ය පරිදි පෞද්ගලිකත්වය නිරාවරණය කිරීම්, පුද්ගලයින්ගේ චරිතයට හානිවන ආකාරයේ නිර්දය ලෙස විවේචනය කිරීම්, ලිංගික අඩන්තේට්ටම් වැනි අපරාධ ද සුලබ ව දැකිය හැකියි.

ඒ අතර, ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මකවන අපරාධ ලෙස හඳුනාගෙන ඇති රැකියා ලබා දෙන බවට රවටා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම්, අන්තර්ජාලය ඔස්සේ එවන පණිවුඩ මගින් විවිධ ජයග්‍රහණ ලබා ඇති බවට කරන රැවටීම් ආදිය ද මේ වනවිට වර්ධනය වී තිබෙනවා.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පැවසුවේ, එවැනි අපරධ මැඩලීම සඳහා මේ වනවිට විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි ෴

++++++++++

+


රන් මිල ඉහළට

(16.06.2023 – 17:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා.

ඒ ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ බවයි වාර්තා වී ඇත්තේ.

හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ සඳහන් කරන්නේ ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ රුපියල් 147,000 ක්ව පැවැති කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 155,000 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා මිල පහත බැස තිබූ අතර එය රුපියල් 175,000 දක්වා මිල වැඩි වී ඇති බවයි රත්තරන් ව්‍යාපාරිකයෝ පැවසුවේ ෴


සාත්තු සේවිකාවන් දෙදෙනෙක් (2) අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් දෙදෙනාම රෝහලේ

(16.06.2023 – 17:32 +0530 – hirunews.lk/sinhala)

සාත්තු සේවිකාවන් දෙදෙනකු (2) එකිනෙකාට පහරදීම් සිදුකර ගැනීම නිසා දෙදෙනාම (2) තුවාල ලබා එම රෝහලේම වාට්ටු දෙකක (2) ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වෙනවා.

ගලෙන්බිඳුනුවැව මූලික රෝහලේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු (2) මෙලෙස පහරදීම් සිදුකරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සාත්තු සේවිකාවකට යතුරුපැදි ආරක්ෂිත හිස් වැසුමකින් ද පහර දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සත්තු සේවිකාවක් උදෑසන රාජකාරියට වාර්තා කිරීමෙන් පසු රාජකාරි වේලාව තුළ දී ඇයගේ දරුවා රැගෙන ඒමට පාසලට පිටත්ව යෑම සම්බන්ධයෙන් හටගත් කතාබහක් දුරදිග යෑම මෙවැන්නක් සිදු වීමට හේතු වී ඇති බවට පොලිසිය වාර්තා කර සිටින්නේ ෴


කුඩා බලු පැටවුන් අතර හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක්

(16.06.2023 – 18:09 +0530 – hirunews.lk/sinhala)

හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසනවා.

මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බවයි වාර්තා වන්නේ.

මාස 8 ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම වමනය හා පාචනය විදුරු මස අවපැහැ ගැනීම (සුදුමැලි බව) කෑම අරුචිය කම්මැලි බව මෙහි රෝග ලක්ෂණයක් වන අතර දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවද සොයා ගෙන තිබෙනවා.

මේ වන විට මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ තුල මෙය බහුල ලෙස පැතිර ගොස් ඇති අතර ගම්පොල, නාවලපිටිය, ගිනිගත්හේන හා හැටන් ප්‍රදේශ තුල සිටින බලු පැටව් අතරින් සියයට 80 ක ප්‍රමාණයක් මෙම රෝගයට හොදුරු වී ඇති බව සඳහන්.

මෙය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර-පහක් (4-5) යනතුරු නෑවීමෙන් වළකින ලෙසයි පශු වෛද්‍ය උපුල් සාගරතිලක උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ ෴


පිටකොටුව බැස්ටියන් මාවතේ පොදු වැසිකිලියේ මුදල් ගැනීමේ ජාවාරමක්

(16.06.2023 – 19:40 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිළිය භාවිත කිරීමේදී මගීන්ගෙන් එහි මුදල් අය කරන්නන් වැඩි මුදලක් අයකිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

එහි සභාපති ප්‍රසන්න සංජීව පවසා සිටියේ අදාළ ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයින්ද අධිකාරියට කැඳවන බවයි.

පිටකොටුවට පැමිණෙන මගීන්ගෙන් පොදු වැසිකිලිය සඳහා අයකර ගත යුත්තේ රුපියල් 20 ක මුදලක් වුවත් ඔවුන් රුපියල් 40 ක මුදලක් අය කරනවා.

ඒ පිළිබද දැන්වීමක් ද ඔවුන් සවි කර ඇති අතර, මුදල් ලබාදීම ගැන ප්‍රශ්න කරන මගීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින අවස්ථා ද වාර්තා වුණා ෴


නුවරඑළියේ පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(16.06.2023 – 20:36 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය -වැඩර්මන් මාර්ගයේ තාප්පයක් ඉදිකිරීමේ දී සිදු වූ පස් කඳු කඩා වැටීමකින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 සහ 25 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු (2) බවයි පොලිසිය සඳහන් කළේ ෴


සොයිසා රෝහලේ දුර්ලභ ගණයේ සැත්කමක් සාර්ථකව නිමවේ

(16.06.2023 – 20:44 +0530 – hirunews.lk/sinhala)

මවකගේ ගර්භාෂයෙන් පිටත වර්ධනය වූ දරුවෙකු සිසේරියන් සැත්කමක් මගින් සාර්ථකව පිටතට ගැනීමට කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙලෙස ගර්භාෂයෙන් පිටත දරුවෙකු වර්ධනය වීම මව්වරුන් තිස්දහසකට (30,000) එකක් (1) පමණ මුහුණ දෙන දුර්ලභ තත්ත්වයක් බවයි.

ත්‍රිකුණාමලයේ කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගර්භනී මවක් පසුගියදා කොළඹ ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ, ඇය බිහිකිරීමට සිටින දරුවා ගර්භාෂයෙන් පිටත වර්ධනය වන බවට වෛද්‍යවරුන් කළ නිරීක්ෂණයත් සමඟයි.

මෙවැනි දරුවෙකු පිටතට ගැනීම සඳහා සිසේරියන් සැත්කමක් සිදු කිරීම දැඩි සංකූලතා සහිත ශල්‍යකර්මයක් වුවත් එම අභියෝගය භාරගැනීමට ද සොයිසා කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වුණා.

ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම රෝහලේ මහාචාර්ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ්, වෛද්‍ය හර්ෂණී ලියනගේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, විශේෂඥ වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න යන වෛද්‍යවරුන් එම කණ්ඩායමට ඇතුළත්.

මෙම සැත්කම සිදුකරන අවස්ථාව වනවිට මව ගර්භනී තත්ත්වයේ 34 වැනි සතියටද එළඹ තිබූ අතර දරුවා වර්ධනය වී තිබුණේ බඩවැල සහ මුත්‍රාශය ආශ්‍රිත ප්‍රදේශයේයි.

පැය කිහිපයක සිසේරියන් සැත්කමකින් පසු නිරෝගී ගැහැණු දරුවෙකුට නිරුපද්‍රිතව මෙලොව එළිය දැකීමට අවස්ථාව ලබාදීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට හැකිවුණා.

වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙලෙස ගර්භාෂයෙන් පිටත දරුවෙකු වර්ධනය වීම මව්වරුන් තිස්දහසකට එකක් පමණ මුහුණ දෙන දුර්ලභ තත්ත්වයක් බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *