චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන ළමුන් සිව් (4) දෙනෙක් ඌරගස්මංහන්දිය හමුවෙයි

චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන ළමුන් සිව් (4) දෙනෙක් ඌරගස්මංහන්දිය හමුවෙයි


චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන ළමුන් සිව් (4) දෙනෙක් ඌරගස්මංහන්දිය හමුවෙයි

(14.06.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala)

සහාජයෙන්ම ඉංග්‍රීසි භාෂාව හසුරුවන සම වයසේ දරුවන් සිවු (4) දෙනකු ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

සමවයසේ පසුවන මෙම දරුවන් සිවුදෙනා (4) කොස්ගොඩ පෞද්ගලික පාසලකදී එකට මුණ ගැසී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දරුවන් සිවුදෙනා (4) ගෙන් දෙදෙනකු (2) ගුවන් යානාවල ගමන් කිරීමත්, ගුවන්යානා අනතුරු දර්ශනය වන රූපවාහිනි දසුන් පවා දැකීමට දැඩි බියක් දක්වන අතර මෙම දරුවන් දෙදෙනා (2) පවසන්නේ හිටි හැටියේ ගුවන් යාන කඩා වැටෙන බැවින් ඒවායේ ගමන් කිරීම අනතුරුදායක බවයි.

මෙම දරුවන් සිව් (4) දෙනාම සාමාන්‍ය පවුල් දරුවෝ වන අතර ඔවුන් සමඟ ඉංග්‍රීසි භාෂාව කතාකිරීමට ඔවුන්ගේ මාපියන්ට ද හැකියාවක් නොමැත.

මෙම දරුවන් පාසලේ ඉගැන්වීම් කරන අතර ගුරුවරුන්ගෙන් අමතර ප්‍රශ්න අසන්නට ගොස් බැනුම් අසන සිදුවීම් කිහිපයක් ද ඔවුහු සිහිපත් කළා.

මෙම දරුවන් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන අතර ඔවුන් විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ඉංග්‍රීසි බසින් තොරතුරු කියන බවද වාර්තා වී තිබෙනවා.

කොස්ගොඩ පෞද්ගලික පාසලක පස්වන (5) ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය පදිංචි පුලිඳු පවන් පුරසිංහ (10) සිසුවා දැනට වසර කිහිපයකට පෙර රූපවාහිනියේ ගුවන් යානයක් කඩා වැටෙන අයුරු දැක ඒ මොහොතේ පටන් ඉංග්‍රීසි කතා කිරීමට පටන් ගත් බව ඔහුගේ මව සඳහන් කර තිබෙනවා.

පුලිඳු ඩයිනෝසරයන් පිළිබඳ විග්‍රහ කරන්නේ ඔවුන් සමඟ එකට සිටි අයෙකු මෙන් බවද වාර්තා වෙනවා.

ඩයිනෝසරයන්ගේ බර විශාලත්වය හා ඔවුන්ගේ ආහාර මෙන්ම ඔවුන්ගේ සංචරන රටා පමණක් නොව ඩයිනෝසරයන්ගේ සටන් ගැනද ඔහු විග්‍රහ කරනවා.

එම තොරතුරුවලට අමතරව ඔහු එකිනෙකට ගලපා ගැනීමට අපහසු ඉතිහාසගත තොරතුරු රැසක් ගැන පවසන බවයි වාර්තා වී ඇත්තේ.

ඌරගස්මංහන්දිය ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ හතර (4) වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය බෝගහවෙල පදිංචි ඩබ්ලිව්.ඒ. මිහින මන්දාර (09) සිසුවා පවසන්නේ ගුවන්යානාවල ගමන් කිරීම අති භයන්කාර බවයි.

ඒ පිළිබඳව ඔහු කතාකිරීමට පවා අකමැති බව සඳහන්.

ඔහු පිළිකා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු මෙන් විග්‍රහ කර තිබෙන අතර ඇස හා හෘදය පිළිබඳ පවසන තොරතුරු විශ්මය ජනක බවයි වාර්තා වන්නේ.

ඌරගස්මංහන්දිය වල්ඉඟුරුකැටිය කනිටු විදුහලේ පස්වන (5) ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය කිරිමැටියාව පදිංචි ඒ.ඒ. භාෂිත කෝවින්ද (09) සිසුවා ඩයිනෝසරයන් හා මුහුදු පැළෑටි මෙන්ම මුහුදු ජීවීන් පිළිබඳව තොරතුරු සඳහන් කරනවා.

ඔහු මුහුදු පැළෑටි හා මුහුදු ජීවීන් පිළිබඳව වාර්තා වැඩසටහන්වල විකාශනය වන්නේ ඉතා සුළු ප්‍රමණයක් බවත් ඉතා සුන්දර මෙන්ම අති භයංකර මුහුදු ජීවීන් මෙන්ම මුහුදු පැළෑටි තිබෙන බව භාෂිත පවසනවා.

මිනිසාගේ මාරාන්තික රෝග රැසකට ප්‍රතිකාර සඳහා මෙන්ම අධිපෝෂී ආහාර නිෂ්පාදනය කළ හැකි මුහුදු පැළෑටි පිළිබඳව භාෂිත චතුර ලෙස ඉංග්‍රීසි බසින් පවසන බවයි වාර්තා වන්නේ.

කරන්දෙණිය මඩකුඹුර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ පස්වන (5) ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය උතුරු මාගල පන්සල අසළ පදිංචි ආර්.එච්. ලක්මාල් රාජරත්ත (10) සිසුවා විශේෂ තොරතුරක් නොපැවසුව ද ඔහුගේ ඉංග්‍රීසි කතාකිරීමේ සුවිශේෂී බවක් පෙන්වනවා ෴

+

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(14.06.2023 – 07:12 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට රඹුක්කන පොලිසිය සමත් වී තිබෙනවා.

විදේශ රටවල රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින්ගෙන් මුදල් රුපියල් 820,000 ක් වංචා කිරීම සම්බන්ධව රඹුක්කන පොලිස් ස්ථානයට ලැබී තිබූ පැමිණිලි 06 කට අදාළව විමර්ශන සිදු කර ඊයේ (13) රාත්‍රී කාලයේ දී මෙසේ අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු වයස අවුරුදු 27 ක් වු සිංහගිරි, බෙලිගොඩපිටිය, රඹුක්කන ලිපිනයේ පදිංචි චතුසිකා උදාලගම හා වාසල මුදියන්සේ රාළහාමිලාගේ නිපුන කාවින්ද උදාලගම යන අඹු සැමි යුවළක්.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මොවුන් විසින් මෙවැනි ආකාරයට දිවයිනේ විවිධ ප්‍රදේශවල තවත් පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

තවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මොවුන්ට විරුද්ධව පැමිණිලි කිරීම සඳහා පුද්ගලයින් 46 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර එම පැමිණිලි ඉදිරිපත් කිරීමට ඔවුන් විසින් මුදල් ලබාදුන් වසම්වලට අදාළ පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බවද වාර්තා වනවා.

ඉහත සැකකරු හා සැකකාරිය විසින් සිදුකරන ලද මෙවැනි වංචාවලට හසු වුණු තවත් පුද්ගලයින් සිටි නම් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානය වෙත දැනුම්දෙන ලෙස ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

+

වෙළෙඳසලක් කොල්ලකෑ අයෙක් බඩුත් එක්ක කොටු වෙයි

(14.06.2023 – 07:19 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ප්‍රදේශයේ පසුගිය 01 දින වෙළෙඳසලක් කොල්ලකෑමේ සිද්ධියක සොරබඩු සන්තකයේ තබා ගැනීම හා අලෙවි කිරීමට සම්බන්ධ සැකකරුවකු ඊයේ (13) මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 500 ක් ද, රන් පෙන්ඩන්ට් 02 ක්, උණු කරන ලද රන් කැබැලි 03 ක් ද තිබූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි මෝදර, ඉබ්බගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

(14.06.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40 ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39 කදී ඇඟයීම් මණ්ඩල 519 කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි.

ජූලි මස 04 වනදා දක්වා නගර 18 ක් කේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු සිදු කිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වෙනවා.

එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා ෴

+

ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල 25% කින් පමණ අඩුවිය යුතුයි – ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා කවුන්සිලය

(14.06.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හමුවේ සිමෙන්ති ඇතුලු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල මේ වනවිට 25% කින් පමණ අඩුවිය යුතු බව ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා කවුන්සිලයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ පවසනවා.

එසේ නොකිරීමෙන් නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් විශාල ලාභයක් උපයමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මිල ඉහළ යාම හමුවේ මේ වනවිට තත්වයෙන් බාල යකඩ කම්බි සහ තීන්ත ආලේපන වෙළඳපොලේ පවතින බවද ඔහු කියා සිටියා.

+

රඹුක්කන වෙඩි තැබීමක්

(14.06.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුල අපරාධ ක්‍රියා වාර්තා වීමේ ඉහළයාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් කිහිපයක් ද ආසන්න කාලසීමාව තුල වාර්තා වී ඇති බවයි.

සැකකරුවෙකුට අත්අඩංගුවේ සිටියදී අනවශ්‍ය බලපෑම් කිරීමට කිසිවෙකුට නෛතික පදනමක් නොමැති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසන්නේ පවතින ප්‍රවණතාවයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි.

මේ අතර, රඹුක්කන – කෑගල්ල මාර්ගයේ සුජාත විදුහල ඉදිරිපිටදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ‘බජන්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (14) අලුයම පොලිස් නිලධාරින් පිරිසක් මෙම මාර්ගයේ රැදී සිට ඇත්තේ මෙම සැකකරු මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට ලද බුද්ධි තොරතුරකට අනුවයි.

එම අවස්ථාවේ යතුරු පැදි දෙකක් ධාවනය කරමින් තිබූ අතර එක් යතුරු පැදියක පුද්ගලයෙකු සහ අනෙක් යතුරුපැදියේ දෙදෙනෙකු (2) ගමන් කරමින් සිටියා.

මුලින් පැමිණි යතුරුපැදිකරුට පොලිස් මාර්ග බාධකය අසලදී නැවැත්වීමට සංඥා කළත්, ඔහු අණ නොතකා ධාවනය කර තිබෙනවා. එහිදී පොලීසිය ඔහුට වෙඩි තැබූ අතර, එම පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කෙරුණේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුවීම හේතුවෙන්.

එම අවස්ථාවේ අනෙක් යතුරුපැදියේ සිටි පුද්ගලයන් දෙදෙනා (2) පලායාමට උත්සාහ කර ඇති අතර ඔවුන් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ එලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා (2) ගෙන් එක් අයෙක් ‘බජන්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවයි ෴

+

හෙට (15) සිට යූරියා මිල අඩු කෙරේ

(14.06.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala)

යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 මිටියක මිල හෙට (15) සිට රුපියල් 9,000 දක්වා අඩු කෙරෙනු ඇති.

ඊට අදාළ අනුමැතිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

දැනට මෙම පොහොර මිටියක් රුපියල් 10,000 ක මිලකට පවතිනවා.

එමෙන්ම දැනට කොළඹ වරායට පැමිණ ඇති යූරිය පොහොර නෞකාවේ පොහොර ගොඩබෑම මේ වනවිට සිදුවන අතර, පෙරේදා (12) රාත්‍රියේ පැවති අධික වර්ෂාව ඊට බාධා ඇති කළා.

එහෙත් ඊයේ (13) රාත්‍රියේ සිට යූරියා පොහොර රැගත් ලොරි රථ පොළොන්නරුව ඇතුලු ප්‍රදේශ කිහිපයකට යොමුකළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර වවුචර් පත් වලට ලබාදෙන පොහොර තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව පොළොන්නරු දිස්ත්‍රක්කයේ ඇළහැර ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

ඒ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ෴

+

සතොස වසා දැමීමට එරෙහිව ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පොල් ගසයි

(14.06.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

සමුපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස වසා දැමීමට යන බව පවසමින් එහි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය, ඊයේ (13) මෝදර කාලි මෑණියන්ගේ දේවාලයේ දේව කන්නලව්වක් සහ පොල් ගැසීමක් සිදු කළා.

ඔවුන් කියා සිටියේ එමගින් සේවකයන් 300 කගේ පමණ රැකියා අහිමිවන බවයි ෴

+

ජනපති ආණ්ඩු පක්ෂයේ නායකයන් කැඳවයි

(14.06.2023 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ සඳහා අද (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා.

ඊට අදාළ නිල ආරාධනය ඊයේ (13) අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙරේදා (12) දිනයේ ද ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙවැනිම රැස්වීමක් කැදවීමට පියවර ගෙන තිබු නමුත් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් බහුතරයක් එම රැස්වීම වර්ජනය කිරීමට පියවර ගත්තා.

ඊට හේතු වී තිබුණේ පොහොට්ටුවට නිල වශයෙන් දැනුම්දීමක් සිදු නොකර ආණ්ඩුව පාර්ශ්වයෙන් වෙන වෙනම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු නියෝජිතයන්ට මෙම රැස්වීමට සඳහා ආරාධන කොට තිබීමයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *