මියගිය වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමුවෙයි

මියගිය වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමුවෙයි


මියගිය වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමුවෙයි

(13.06.2023 – 15:43 +0530 – hirunews.lk/sinhala)

දින කිහිපයකට පෙර මියගිය බවට සැක කෙරෙන තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍යවරයෙකුගේ සිරුරක් වෛද්‍ය නේවාසිකාගාරයේ තිබී සොයාගෙන තිබෙනවා.

35 හැවිරිදි ඔහු අද (13) දිනයේදී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහලේ සුළු සේවකයෙකු විසින් නේවාසිකාගාරයට ගොස් සිදුකළ සොයා බැලීමකදී සිරුර සොයාගත් බව තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ.

ඔහු තඹුත්තේගම මූලික රෝහලේ රුධිර කාන්දුකරණ අංශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති අතර, බිරිඳ වෙනත් රෝහලක දන්ත වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා.

මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණ වනු ඇති බවයි පොලිසිය කියා සිටියේ ෴

+++++++

https://www.youtube.com/watch?v=E25kPzsAM1o#t=5

+


වල් නාශක සහ කෘමි නාශක ඉසීමට ඩ්‍රෝන තාක්ෂණය

(13.06.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala)

2022 යල කන්නයේදී වගා හානි සිදු වූ වී ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය විසින් රුපියල් මිලියන 70 ක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අතර කෘෂි කර්මාන්තය සඳහා ඩ්‍රෝන තාක්ෂණය සම්බන්ධ කරගනිමින් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් වගා කටයුතු සිදුකරන තරුණයෙකු පිළිබඳව දිඹුලාගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ශ්‍රී ලංකාවේ කෘෂි භෝග නිෂ්පාදනය සඳහා තාක්ෂණය භාවිත කිරීම පවතින්නේ බොහෝ සෙයින් අඩු මට්ටමක පැවතියත් විදෙස් රටවල එය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

කෘෂිකර්මාන්තයට ඩ්‍රෝන තාක්ෂණය සම්බන්ධ කරගැනීමත් තාක්ෂණික විප්ලවයක තවත් දිගහැරුමක් ලෙස හුවා දැක්විය හැකියි.

පොළොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගල ප්‍රදේශයේ පදිංචි ‘සංකල්ප සිල්වා’ නම් තරුණයෙකු ඩ්‍රෝන තාක්ෂණය මගින් වල් නාශක සහ කෘමි නාශක ඉසීම සිදුකරන පුවතක් අපට වාර්තා වුණා.

මෙමගින් කෘමිනාශක සහ වල් නාශක 60% කින් පමණ ඉතිරි කරගත හැකි බවද ඔහු පවසනවා.

බඩ ඉරිඟු, පොල්, කජු, උක්, ඇතුළු අනෙකුත් භෝග වගාවන්ට වැළඳෙන සියලුම රෝග සඳහා කෘමි නාශක, වල් නාශක මෙන්ම දියර පොහොර ඉසීමට හැකි වන පරිදී මෙය නිර්මාණය කර තිබෙනවා.

මෙම තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාව පුරා අක්කර 900 කට ආසන්න ප්‍රමාණයක ගොවීන්ට සේවා සපයා තිබීමද විශේෂත්වයක් ෴


‘අස්වැසුම’ තොරතුරුවල සත්‍යාපන කටයුතු සියයට 95 ක් අවසන්

(13.06.2023 – 15:50 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම සුබසාධන දීමනා’ අපේක්ෂ ප්‍රතිලාභීන් විසින් ලබාදුන් තොරතුරුවල සත්‍යාපන කටයුතු සියයට 95 ක් අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අස්වැසුම යෝජනා ක්‍රමය සියලුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් ලබන මාසයේ සිට සිදුකරන බවයි.

සුබසාධන ප්‍රතිලාභ ලබාගන්නා පිරිසට පහසුවෙන් හඳුනාගත හැකි විනිවිදභාවයකින් යුතු තෝරා ගැනීමේ ක්‍රියාවලියක් මත මෙම සුබසාධන දීමනා ලබාදීම සහතික කරනු ඇති.

සුබසාධන දීමනා ලබාගැනීමට තමන් සුදුසුකම් ලබා අදාළ නම් ලැයිස්තුවේ නම නොමැති නම් ඒ සඳහා අභියාචනා, විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා යම් කාලසීමාවක් ලබාදීමටද නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴


ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා ඔක්තෝම්බරයේ සිට

(13.06.2023 – 15:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

තුර්කි ගුවන් සේවය නිවේදනය කළේ ඒ අනුව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් එලෙස ආරම්භ කිරීමට නියමිත බවයි.

එමඟින් යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවට ද එම ගුවන් සමාගම විශ්වාසය පළ කරනවා ෴


යතුරුපැදි සොරකමේ ගිය අඹුසැමි යුවල

(13.06.2023 – 16:37 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදි සොරාගත් අඹුසැමි යුවළක් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබෙනවා.

මඩාටුගම දුනුමඩලාව ප්‍රදේශයේ නිවසක තිබී සොරා ගත් යතුරු පැදිය දඹුල්ල ප්‍රදේශයේ සඟවා තිබියදී මඩාටුගම පොලිසිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා තිස්හත් (37) හැවිරිදි මෝටර් රථ කාර්මිකයකු වන අතර මෙම යුවල දඹුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් වනවා ෴


කුල දරුවන් සසුන් ගත කිරීමට වයස් සීමාවක්?

(13.06.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මේ සම්බන්ධව සාකච්ඡාවක් ලබන 15 වනදා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමට කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ දරුවන් සසුන්ගත කිරීමේ වයස් සීමාව තීරණය කිරීම සඳහා මහානායක හිමිවරුන්ට පවරන බවයි ෴


කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවසක් වටලයි

(13.06.2023 – 17:26 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගන ගිය ගණිකා නිවසක් වටලා සුරුපී තායි තරුණියන් දෙදෙනෙකු (2) ඇතුළු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර තායි තරුණියන් දෙදෙනාට (2) අමතරව මෙරට තරුණියක්, එහි කළමණාකරු සහ ගණිකා ජාවාරම මෙහෙය වූ හිටපු හමුදා නිලධාරියෙක් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින මෙරට තරුණියගේ හත් (7) හැවිරිදි දියණිය ද එම ස්ථානයට කැඳවාගෙන තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ලද තොරතුරකට අනුව පොලිස් උපාය දූතයකු යොදවා රුපියල් 10,000 ක මුදලක් දී කාන්තාවක් මිලදී ගැනීමෙන් පසු මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ගණිකා වෘත්තියේ යෙදෙමින් එම ස්ථානයේ රැඳී සිටි තායි තරුණියන් දෙදෙනාට (2) ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණිය රුපියල් කෝටි දහයක (10) පමණ දේපළවලට හිමිකම් කියන තැනැත්තියක් බවත්, ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක් (3), පිළියන්දල ප්‍රදේශයේ ඉදි කරමින් පවතින තෙමහල් නිවසක් ද ඇති බවයි මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සඳහන් කළේ එම සැකකාරියගෙන් සිදු කළ පුශ්න කිරීමේදී ගණිකා වෘතියේ යෙදෙමින් එම වත්කම් උපයාගත් බවයි.

මෙම වැටලීමත් සමඟ අත්අඩංගුවට ගත් ජාවාරම මෙහෙය වූ බව කියන හිටපු හමුදා නිලධාරියා අසනීප තත්ත්වයට පත්ව පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර සිටියා ෴


ආහාර හිඟයක් ගැන පළවූ වාර්තා අසත්‍යයයි

(13.06.2023 – 17:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාවගෙන් මිලියන 7.5 ක් ආහාර හිඟයකට මුහුණ පා සිටින බවට පළවූ වාර්තා අසත්‍ය බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එම වාර්තා මෙරට සියලුම පළාත්වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවට වන භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුම් සොයා ගැනීම්වලට පරස්පර බව ඔහු සඳහන් කරන බවයි ෴


කොළඹ මාර්ගයක් වැසේ

(13.06.2023 – 17:40 +0530 – hirunews.lk/sinhala)

නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර කොටා පාර දුම්රිය හරස් මාර්ගය ලබන 17 වැනිදා පෙරවරු 07:00 සිට ජුනි මස 18 වැනිදා පෙරවරු 05:00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට සිදුවන බවයි.

මෙම දුම්රිය හරස් මාර්ගය වසා තබන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම්දීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴


ගොවියෙකු විසින් රතුලූණු වගාව සඳහා යන්ත්‍රයක් නිපදවයි

(13.06.2023 – 17:50 +0530 – hirunews.lk/sinhala)

රතුලූණු වගාව පහසු කරවන නව යන්ත්‍රයක් යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ ගොවියෙකු විසින් නිපදවා තිබෙනවා.

අච්චුවේලී ප්‍රදේශයේ එස්. චන්ද්‍රසේකරන් නැමති මෙම ගොවියා අත් ට්‍රැක්ටරයකට සවි කළ හැකි වන සේ නිපදවන ලද මෙම යන්ත්‍රයෙන් රතු ලූණු බීජ සිටුවීම, අස්වැන්න නෙලීම, රතුලූණු සකස් කිරීම යන සියළුම කාර්යයන් ඉටු කළ හැකි බවයි අප වාර්තාකරු පවසන්නේ.

වසර දෙකක (2) උත්සාහ කිරීමකින් අනතුරුව මෙම යන්ත්‍රය ඔහු විසින් නිපදවා ඇති අතර එම යන්ත්‍රය යාපනයේ කෘෂිකර්ම නිලධාරීන් ඉදිරියේ ක්‍රියාත්මක කොට පෙන්වීම පසුගියදා යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ රතුලූණු සිටුවන වගා භූමියකදී සිදු කෙරුණා.

ඉදිරියේදී මෙම යන්ත්‍රය තවත් වැඩි දියුණු කර ගැනීම සදහා ඔහුට උපකාර කිරීමට උතුරු පළාත් කෘෂිකර්ම නිලධාරීන් පොරොන්දුවක් ලබා දී තිබෙනවා ෴


INTERPOL හි රතු නිවේදන ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 07 ක්

(13.06.2023 – 18:46 +0530 – hirunews.lk/sinhala)

INTERPOL හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පලාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකික පලාගිය පුද්ගලයන් හත් දෙනෙකු (7) සිටින බව සඳහන් වෙනවා.

එම හත් දෙනා (7) ගෙන් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු (4) ශ්‍රී ලංකාවේ ‘අවශ්‍ය’ ලෙස ලැයිස්තුගත කර ඇති අතර අනෙක් පලාගිය ශ්‍රී ලාංකික තිදෙනාට (3) රතු නිවේදන නිකුත් කර ඇත්තේ ඔවුන් තම ප්‍රදේශවල සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විදේශ රටවල් විසින් කරන ලද ඉල්ලීම් මත යි.

රතු නිවේදනයක් යනු පිටුවහල් කිරීමට, යටත් වීමට හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව සිටින පුද්ගලයෙකු සොයා ගැනීමට සහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීමට ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් කරන ඉල්ලීමකි.

ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු (4), සොයිසා ජගමුනි සුජීව නොහොත් ‘කොස්ගොඩ සුජී’, නඩරාජා සිවරාජා, මුනිසාමි තර්මසීලන් සහ වික්නරාසා සෙල්වන්තන් යන සැකකරුවන් ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව සිටින පුද්ගලයන් වෙනවා.

මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් ‘කොස්ගොඩ සුජී’ට සහ දිවංගත අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට මෙම රතු නිවේදන නිකුත් කර තිබෙනව අතර තර්මසීලන් අත්බෝම්බ දෙකක් (2) සහ ජීව උණ්ඩ 200 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සහ සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *