ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව


ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

(13.06.2023 – 12:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව පවසනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව, ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන් සටන් පාඨයක් කරගෙන තිබෙන බවත් සඳහන් කර සිටියා.

කිසිදු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් විමර්ශනයක් සිදු නොකර මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ මහචාර්ය රොහාන් සමරජීව මහතා මෙසේද සඳහන් කළේය :

“වර්තමානය ගැන නොදැනුවත්කමත්, අතීතය ගැන නොදැනුවත්කමක් තමයි මෙයට මූලික හේතුව. 90 දශකයේදී අපි විවිධ සමාගම්වලට එන්න කිව්වා. එදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ජංගම දුරකථන ජාලයක් තිබුණේ නැහැ. මොබිටෙල් හි කොටසක් තිබුණත්, කළමනාකරීත්වයේ අයිතිය තිබුණේ ඔස්ට්‍රේලියානු සමාගමකටයි. ආණ්ඩුවේ සාම්ප්‍රදායක් තිබුණා මොබිටෙල් සමාගමෙන් සේවාවන් ලබා ගන්න. ඒ කොටසක් ටෙලිකොම් සමාගමට අයිති නිසා. නමුත් ‍මොබිටෙල් සමාගම ටෙල්ස්ටා ආයතයනය විසින් තමයි එහි කළමනාකාරීත්වය සිදුකළේ. ටෙලිකොම් කළමනාකාරීත්වය තිබු‍ණේ ජපන් සමාගමකටයි. ටෙලිකොම්හි සභාපති විදිහට ලංකාවේ කෙනෙක් හිටියත් මූලික තීන්දු තීරණ ගත්තේ ජපන් ප්‍රධාන විධායක නිලධාරීන් විසින්. යුද්ධයක් තිබූ කාලයේදිත් ජංගම දුරකථන සමාගම් හතරක් (4) සහ ස්ථාවර දුරකථන සමාගම් තුනක් (3) රටේ තිබුණා. ඩයලොග් සමාගමේ පමණයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට හිටියේ. ඒකත් සියයට සියයක් මැලේසියාවට අයිති වෙලා තිබුණේ.

ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව මන්තරයක් වගේ කියව කියව යනවා. සමහරු සටන් පාඨයක් කරගෙන.

ටෙලිකොම් ආයතනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට අයිති වෙලා තිබූ කාලයේ සියලුම ජාත්‍යන්තර ඇමතුම් ගියේ කොළඹ ලෝටස් පාරේ පිහිටි ටෙලිකොම් මූලස්ථානයෙන්. ඒකට යම්කිසි හානියක් වුණොත් ලංකාවම ජාත්‍යන්තරයෙන් වෙන් වෙනවා. වයර් සහ සැටලයිට්වලින් වුණත් මෘදුකාංග පද්ධතියට හානි වුණොත් සමස්ත ජාලයම ඇනහිටිනවා. මුළු මෘදුකාංග පද්ධතියට විකල්ප ක්‍රමවේදයක් නැහැ. එදා එල්ටීටීඊ සංවිධානය අවස්ථා දෙකකදී (2) බෝම්බ ප්‍රහාර එල්ල කළා. පෞද්ගලිකකරණයෙන් පසුව අපි විකල්ප ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න ජපන් සමාගමට උපදෙස් දුන්නා. ඔවුන් වහාම අවශ්‍ය ආයෝජනය කරලා විකල්ප ක්‍රමවේදයක් වෙනත් ස්ථානයක ස්ථාපිත කළා. සියයට සියයක් ආණ්ඩුවට අයිති කාලයේත් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂාව ගැන එදා පාලකයන් නොසලකා හැරියා. අවදානම් තැන අපි එදා හඳුනා ගත්තා. ඒ නිසයි ජපන් ආයෝජනය යටතේ විකල්ප ස්ථානයක බැකප් සයිට් එක හැදුවේ.

හුදෙක් රජයේ ආයතනයකින් කරන්න බැරි වූ දෙයක් ජපන් සමාගම කළා. රජයේ ආයතනවල යටිතල පහසුකම්වල ආරක්ෂාව ගැන බහුතරයක් සොයා බලන්නේ නැහැ. රජය සතු ආයතනවලට ආයෝජනය කරන්නත් බැහැ. සල්ලිත් නැහැ. ‍මේවා පෞද්ගලිකකරණය කරන්නේ යම් නියාමනයක් සහිතවයි. ඒ වගේම ඔවුන් අපි කියන දේවල් අහන්න ඕන. උදාහරණයක් විදිහට එදා ටෙලිකොම් සහ ජපන් සමාගම විසින් කළ වරදක් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන එකක අලාභයක් විඳින්න සිදුවුණා. නෛතික වශයෙන් දඩයක් නොවුවත් එම මුදල යළි පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කළා.

1990 ගණන්වල අපි පාලනය කරන කාලයේ ජාත්‍යන්තර ඇමතුම්වල ඒකාධිකාරයක් තිබුණා. අද ජාත්‍යන්තර සම්බන්ධතා ටෙලිකොම් හරහා නෙමෙයි යන්නේ. ටෙලිකොම් එකට අයිති එක කේබල් මධ්‍යස්ථානයක් විතරයි. අනිත් ආයතනවලිනුත් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමේ හැකියාව අද තිබෙනවා. ආණ්ඩුවේ අද භාවිතා කරන්නේ ටෙලිකොම්හි අන්තර්ජාල සබඳතාවය විතරද? ඒවා ගැන සොයා බලන්නේ නැතුව ජාතික ආරක්ෂාව ගැන මන්තරයක් වගේ කියව කියව යනවා.

අද ආණ්ඩුවේ බොහෝමයක් තොරතුරු හුවමාරු වන්නේ ජීමේල් හරහා. ජීමේල් අයිති විදෙස් රටවල්වලට. දේශපාලනඥයන් මෙන්ම රජයේ ආයතනවල නිලධාරීන් බොහෝමයක් ඇමතුම් ලබා ගන්නේ වට්ස්ඇප්වලින්. වට්ස්ඇප් අයිති කාටද? වට්ස්ඇප්වලින් හුවමාරු වන දත්ත ගබඩා වෙලා තිබෙන්නේ විදෙස් රටවල.

එනිසා ටෙලිකොම් වෙන්න පුළුවන් වෙනත් පෞද්ගලික ආයතනයකින් වෙන්න පුළුවන්, ඔවුන්ගෙන් අන්තර්ජාල සබඳතාවය ලබා ගත්තා කියලා ඒ සමාගම්වලට දත්ත යන්නේ නැහැ. අනික් එක තමයි මේ හැම එකක්ම වෙනත් අයට පිවිසෙන්න බැරි විදිහට මුරපද සහ වෙනත් ක්‍රමවලින් අඟුළු දමා තිබෙන්නේ. ඒ නිසා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කළා කියලා රජයේ දත්ත පිටතට යනවා කීම මහා මුලාවක්” ෴


මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් (2) දැලේ

(13.06.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස, රෂ්ටම්වත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර රාගම දඹුව හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 100 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (13) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිත අතර රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ගැටිති රෝගය මධ්‍යම පළාතේ ගවයින්ටත්

(13.06.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය හේතුවෙන් මධ්‍යම පළාතේ සිට වෙනත් පළාත්වලට ගවයින් ප්‍රවාහනය ද තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති බව මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් පළාතේ කිරි නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක පෙන්වා දෙන්නේ.

මේ වන විට මධ්‍යම පළාතේ දඹුල්ල සහ ගලේවල ප්‍රදේශවල සතුන් 500 ක් පමණ මෙම රෝගයට ගොදුරු වී ඇති බවද ඇය සදහන් කළා.

මේ අතර ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය සදහා අවශ්‍ය එන්නත් ආනයනය කර හෝ ඊට නිසි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ෴


මේ මස පළමු දින 08 තුළ සංචාරකයින් 20,000 ක් දිවයිනට

(13.06.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

මේ මාසයේ පළමු දින 08 තුළ සංචාරකයින් 22,200 ක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, අනුව මේ වසරේ (2023) මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 546,686 ක්.

ගතවූ දින 08 ක කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 6348 ක්.

ඉන් අනතුරුව පිළිවෙලින් රුසියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය වැනි රටවලින් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.

ඊට අමතරව සංචාරකයින් පැමිණි සෙසු රටවල් වන්නේ චීනය, කැනඩාව, ඇමරිකාව, මාලදිවයින සහ ප්‍රංශයයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් එනම් 124,227 දෙනෙකු මෙරටට පැමිණ ඇත්තේ රුසියාවෙන්.

ඊට අමතරව ඉන්දියාවෙන් 95,711 ක්, එංගලන්තයෙන් 44,500 ක්, ජර්මනියෙන් 41,215 ක් සහ ප්‍රංශයෙන් 25,291 ක් සංචාරකයින් මෙරට පැමිණියා.

සාමාන්‍යයෙන් මැයි මාසය යනු මෙරට සංචාරකයින් අඩුවෙන් පැමිණෙන මාසයක් වුවත් පසුගිය මාසයේ දී සංචාරක පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

එමෙන්ම දකුණු ආසියානු සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණින් එම කලාපයේ රටවල සංචාරකයින්ට නිදහස් වීසා නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට රුකුලක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ආසියාවේ හොඳම වෙරළ තීර අතර සිව්වැනි (4) ස්ථානය ශ්‍රී ලංකාවේ ‘මිරිස්ස වෙරළ තීරය’ට හිමිවි තිබෙනවා. ආසියාවේ හොඳම වෙරළ තිරය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයේ වෙබ් අඩවියක් වන ‘ට්‍රිප්ඇඩ්වයිසර්’ මගින් පසුගිය මාස 12 ක කාලය තුළ සිය පාඨකයන් සමඟ කරන ලද සමීක්ෂණයක දී අනෙකුත් රටවල වෙරළ තීරයන් පරාජය කරමින් ‘මිරිස්ස වෙරළ තීරය’ සිව්වැනි (4) තැන හිමි කරගෙන තිබුණා.

මෙම සමීක්ෂණය සඳහා ඉන්දියාව, ජපානය, තායිලන්තය, වියට්නායමය, දකුණු කොරියාව මෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළ කලාප යොදාගෙන තිබෙනවා.

මේ වසරේ ජයග්‍රාහි වෙරළ තීරයන් තෝරා ගැනීම සඳහා රන්වන් වැලි තීර, රළු වෙරළ තීර, පැහැදිලි නිල් ජලය යන නිර්නායකයන් යොදා ගෙන තිබුණා.

ඒ අනුව ඉන්දියාවේ හැව්ලොක් දූපතෙහි රාධනගර් වෙරළ ආසියාවේ අංක එකේ (1) වෙරළ තිරය ලෙස තේරී ඇති අතර දෙවැනි (2) ස්ථානය ඉන්දුනීසියාවේ නූසා පෙනිඩා හි කෙලින්කිං වෙරළත් තුන්වැන්න (3) ලෙස ඉන්දියාවේ බෙනෝලිම් හි වෙරළ හිමි කරගෙන ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කළේ ෴


මෙරට ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රීත නිෂ්පාදන හා අත්කම්වලට ජපානයේ අවධානය

(13.06.2023 – 14:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රීත නිෂ්පාදන හා අත්කම් නිෂ්පාදන වෙනුවෙන් ජපානයේ කමගයා හි පැවති ශ්‍රී ලංකා ෆෙස්ටිවල් ප්‍රදර්ශනයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එම නිෂ්පාදනයන් සදහා ජපන් වැසියන්ගෙන් විශාල ඉල්ලුමක් පැවති බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.

කොහු සහ විවිධ පන් ආශ්‍රිතව සිදුකළ නිෂ්පාදනයන් ඒ අතර ප්‍රමුඛ බව එම අමාත්‍යාංශය කියා සිටියා ෴


වාහන ආනයනය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් – ජාතික ආර්ථික ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති

(13.06.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයන සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගන්නා බව ජාතික ආර්ථිකය හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඔහුගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා රැස්වූ අතර එහිදී රේගු නිලධාරින් ප්‍රකාශ කළේ වාහන ආනයනය අත්හිටුවීම ඇතුළු භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායම ලඟාකර ගැනීමට රේගුවට නොහැකි වී ඇති බවයි.

රේගුවෙන් රුපියල් බිලියන 1,226 ක ආදායමක් මෙම වසරේ අපේක්ෂා කරන නමුත් මුල් මාස 05 තුළ දී උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 330 ක් පමණක් බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළා.

මේ මස සිට වාහන ආයනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 06 ඇතුළත රුපියල් බිලියන 150 ක් බදු ලෙස ලබාගත හැකි බව ඔවුන් පෙන්වා දුන්නා.

රේගු නිලධාරින් එහිදී සඳහන් කළේ ණය ආධාර ක්‍රමයක් යටතේ වෙනත් රටක් සමඟ සම්බන්ධ වී වාහන ආනයනය කළහොත් විදේශ විනිමය ඉතිරි කරගනිමින් රේගු ආදායම වර්ධනය කරගත හැකි බවයි ෴


විදෙස් ගමන් බලපත්‍ර 06 ක් ලඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

(13.06.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගමන් බලපත්‍ර 06 ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු කොළඹ කොටුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ.

සැකකරු අද (13) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


වනඅලියකු නිසා පලාගල නෑගම්පහ මාර්ගයේ ගමනාගමනය ඇනහිටලා

(13.06.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

අලි ඇතුන් නැරඹීම සඳහා මෙරට පිහිටි සුන්දරම ජාතික වනෝද්‍යාන අතරින් එකක් වන්නේ කලාවැව ජාතික වනෝද්‍යානයයි. වියළි කාලය පැමිණීමත් සමඟ කලා වැවේ ජල මට්ටම පහළ යනු ලබන්නේ වැව් ඉස්මත්තේ වැඩෙන ලා තණකොළ වපසරිය පුළුල් කරමින්.

මෙම තණකොළ ආහාරයට ගැනීමට ගල්ගමුව, තිරප්පනේ, හබරණ, රිටිගල හා ගලෙන්බිඳුණුවැව ආදී ප්‍රදේශවල සිට අලි ඇතුන් 300 කට ආසන්න පිරිසක් පැමිණෙනවා.

එලෙස පැමිණෙන වනඅලින් රක්ෂිතය ආසන්නයේ ගම්මානවලට ද ආහාර සොයා පැමිණෙන අතර වගා භූමි සහ නිවාසවලට දැඩි හානි සිදු කරන්නේ ජනතාවගේ ජීවිත ද අවදානමේ හෙළමින්.

මේ අතර කහල්ල පල්ලේකැලේ අභය භූමියේ අලි මංකඩ හරහා දිවෙන පලාගල නෑගම්පහ මාර්ගයේ සැරිසරන වනඅලියකු එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හඹා යමින් මිනිසුන් භීතියට පත් කර තිබෙනවා.

මේ හේතුවෙන් පැයකට ආසන්න කාලයක් ගමනාගමන කටයුතු ඇනහිටි අතර පසුව ගල්කිරියාගම වනජීවි නිලධාරීන් පැමිණ අලියා පලවා හැරීමට කටයුතු කළා.

කලාවැව් රක්ෂිතයේ සැරිසැරූ මෙරට විශාලතම හස්තීන් කිහිප දෙනෙකුට පසුගිය වසරවලදී දිවි අහිමි වුණේ ආහාර සොයා ගම්වැදුණු අවස්ථාවලදී අනාරක්ෂිත විදුලි රැහැන්වල ගැටීම හේතුවෙන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *