මාලබේ දරුවා අවසන් ගමන් යයි – සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මාලබේ දරුවා අවසන් ගමන් යයි – සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


මාලබේ දරුවා අවසන් ගමන් යයි – සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(10.06.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala)

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී මියගිය පස් (5) හැවිරිදි දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (11) තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 51 හැවිරිදි තණකොළ කපන්නා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (10) ඉදිරිපත් කිරීමට නියමිතයි.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට පෙරේදා (08) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ කැපුම් තුවාල සහිතව දරුවෙකු මියගොස් ඇති බව පවසමින්.

පසුව හඳුනා ගැනුණේ මියගොස් තිබුණේ ජොනතන් මාර්ක් නමැති එම ප්‍රදේශයේම පදිංචි පස් (5) හැවිරිදි දරුවෙක් බවයි.

දරුවා තම සීයා සමඟ අදාළ වැඩබිමේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව අවමංගල්‍යයකට සහභාගි වීමට සීයා නිවසින් පිටව ගොස් ඇත්තේ එම වැඩබිම අසල තණකොළ කපමින් සිටි තවත් පුද්ගලයෙකුට දරුවා භාර කරමින්.

කෙසේවෙතත් දරුවා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ ඉන් පසුවයි.

දරුවාගේ මෘත දේහය මුල්ලේරියාව මූලික රෝහල වෙත රැගෙන ගිය අතර දරුවා ලිංගික අපයෝජනයකට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.

දරුවා අවසන් වරට භාරව සිටි තණකොළ කපන්නාගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පාපොච්චාරණය කර ඇත්තේ තණකොළ කපන යන්ත්‍රයේ තලය අත් වැරදීමකින් දරුවාගේ උදරයේ වැදී දරුවා මියගිය බවයි.

දරුවාගේ දේහය මාලබේ 8 කණුව ප්‍රදේශයේ පිහිටි මල් ශාලාවක මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 51 හැවිරිදි තණකොළ කපන්නා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (10) ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

මුල්ලේරියාවේ 5 හැවිරිදි දරුවා මියයාමේ සිද්ධියේ සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.

+

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස් (5) හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගිය දරුවාගේ සීයාව බව ‘අද දෙරණ’ වාර්තාකරු ප්‍රකාශ කළා.

සැකකරුව හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+


බදුරලිය ප්‍රදේශයේ මාරක අනතුරක්

(10.06.2023 – 15:42 +0530 – hirunews.lk/sinhala)

බදුරලිය – කෙලිංකන්ද මතුගම මාර්ගයේ මාකෙළිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් පස් බැම්මක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එයින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් 9 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ ෴


කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික සීමාවාසික පුහුණුලාභීන්ට ජපානයේ රැකියා

(10.06.2023 – 15:45 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ එහිමෙ ප්‍රාන්තයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික සීමාවාසික පුහුණුලාභීන් ලෙස ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට මෙරට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ එරට ආණ්ඩුකාර ටොකිහිරෝ නකමුරා අතර ගිවිසුමට එළඹ තිබෙනවා.

2018 වසරේ කොළඹදී අත්සන් තබන ලද තාක්ෂණික සීමාවාසික පුහුණුලාභීන් බඳවා ගැනීමේ සහයෝගිතා ගිවිසුමට යටත්ව කෘෂිකාර්මික හා අනෙකුත් ක්ෂේත්‍ර මෙන්ම ආහාර පිරිමැසුම් කර්මාන්තයේ ද්වීපාර්ශවීය සහයෝගිතාව ඉහළ නංවා ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුමට එළඹ ඇති බව සඳහන්.

ප්‍රාන්තයේ දැනට පවතින ශ්‍රම හිඟයට විසඳුමක් ලෙසයි ශ්‍රී ලාංකිකයන්ට මෙම අවස්ථාව හිමිව ඇත්තේ ෴


සිමෙන්ති මිල අඩු කිරීමෙන් පමණක් ක්‍ෂේත්‍රය නගා සිටුවිය නොහැකි බවට චෝදනාවක්

(10.06.2023 – 17:25 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති මිල අඩු කිරීමෙන් පමණක් ඉදිකිරීම් ක්ෂේත්‍රය නගාසිටුවීමට නොහැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එම්.ඩී. පෝල් කියා සිටියේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබා ගැනීමට පාරිභෝගික අධිකාරිය මේ වනතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි ෴


යතුරුපැදි අනතුරෙන් සත් (7) හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

(10.06.2023 – 17:33 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදි කාරියගේ පාලනයෙන් ගිලිහී තවලම අකුරැස්ස මාර්ගයේ දී තාප්පයක වැදුනු යතුරුපැදි අනතුරින් 7 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පසුගිය 6 වැනි දා යතුරුපැදි කාරිය වන 38 හැවිරිදි කාන්තාව සිය දරුවන් තිදෙනා (3) සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදී ඇයගේ පාලනයෙන් ගිලිහුණු යතුරුපැදිය පාරෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

එම අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා (3) සහ මව රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම හත් (7) හැවිරිදි දරුවා මියගොස් ඇති බව හිනිදුම පොලිසිය පොලිසිය අනාවරණය කරනවා ෴


මිනිස් හිස්කබලක් ඇතුළු අස්ථි කොටස් කිහිපයක් චන්ද්‍රිකා වැව් ඉස්මත්තෙන් හමුවෙයි

(10.06.2023 – 17:50 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – කුඹුගොඩආර – මානෙල් මාවත ප්‍රදේශයේ චන්ද්‍රිකා වැව ඉස්මත්තේ තිබී මිනිස් සිරුරක හිස් කබල ඇතුළු අස්ථි කොටස් කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මතයි ඇඹිලිපිටිය පොලීසිය මෙම සිරුරු කොටස් සොයා ගෙන ඇත්තේ. පිරිමි පුද්ගලයෙකුගේ හිස් කබලක් බවට මෙය හදුනාගෙන ඇති අතර, දැනට සතියකට පමණ පෙර එම සිරුරු කොටස් අදාළ ස්ථානයට ගෙනවිත් දමා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

අදාළ ස්ථානය පාළු ප්‍රදේශයක් බැවින් කවුරුන් විසින් මෙය ගෙනවිත් දැම්මේ ද යන්න මෙතෙක් අනාවරණ කර ගැනීමට නොහැකි වූ බවයි පොලීසිය සඳහන් කළේ.

මෙහි මනුෂ්‍ය ඝාතනයක ලක්ෂණ නොමැති බවත්, යම් ශාන්ති කර්මයක් සඳහා අදාළ හිස්කබල සහ අස්ථි කොටස් මෙලෙස යොදා ගෙන ඇති බවටත් සැක පළ කළ හැකි බව පොලීසිය සඳහන් කළා.

කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශන සඳහා එම සිරුරු කොටස් ඇඹිලිපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර තිබෙනවා ෴


කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථ පැහැරගැනීමක්

(10.06.2023 – 17:56 +0530 – hirunews.lk/sinhala)

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථ වලට ගොඩවී ඊයේ (09) දිනයේ ත්‍රීරෝද රථ දෙකක් මිනුවන්ගොඩ දී සහ සෙවනගල දී පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

සෙවනගල පොලිස් වසමේ ත්‍රිරෝද රථයකට ගොඩ වූ පුද්ගලයෙකු උක් වගා බිමක් වෙත ත්‍රීරෝද ත්‍රිරෝද රථය රැගෙන ගොස් රියදුරුට පහර දී ඔහුගේ ජංගම දුරකථනයද පැහැරගෙන ත්‍රිරෝද රථය රැගෙන පලාගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

මිනුවන්ගොඩ පොලිස් වසමේ දී කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩ වූ පුද්ගලයන් දෙදෙනකු (2) විසින් රියදුරු සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනයද රැගෙන ඔහුට පහර දී ත්‍රිරෝද රථය රැගෙන පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා අවභෝධතා ගිවිසුමකට එළඹේ

(10.06.2023 – 18:06 +0530 – hirunews.lk/sinhala)

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතර අවභෝධතා ගිවිසුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද (10) අත්සන් කළා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසීස්, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි පාලක සභාවේ ලේකම් ප්‍රසාද් ජයවීර, කොරියානු ක්ලූලයිෆ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන් යුං ලිම් යන මහත්වරු මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

මෙම අවභෝධතා ගිවිසුම අනුව කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා වන ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතයි.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් වෙල්ඩින් රැකියා සදහා මූලික අදියරේදී ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර දෙවැනි අදියරේදි නැව් පින්තාරු පුහුණුව, ඉලෙට්‍රිකල් පුහුණුව ලබාදීමට නියමිතයි.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්ට කොරියානු භාෂා පුහුණුව ලබාදීමටද නියමිතයි.

ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් සපයන අතර කොරියානු ක්ලූලයිෆ් ආයතනය විසින් පුහුණුකිරීම් කටයුතු සිදු කරනු ලබනවා.

ඒ සදහා වන කොරියානු පුහුණුකරුවන්ද එම ආයනය විසින් සම්බන්ධීකරණය කිරීමට නියමිතයි.

මෙම පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ රැකියා අවස්ථා ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීම සදහා වන රැකියා කෝටාවන් ලංකාවට ලබාගැනීටම අවශ්‍ය සහාය ලබාදීමට නියමිතයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාල පුහුණු කටයුතුවල ගුණාත්මකභාවය සහතික කිරීම සදහා වන අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා.

අවභෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ගංගාරාම විහාරවාසී ශ්‍රාස්ත්‍රපති හීන්කුඹුරේ කොන්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක යන මහත්වරු එක්ව සිටියා.

+


නවීන් දිසානායක සබරගමුව පළාතේ ආණ්ඩුකාර ලෙස පත් කෙරේ

(10.06.2023 – 18:10 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක ලබන අඟහරුවාදා දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන පවසනවා.

බියගම පැවති එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීමකට එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴


ඕමාන යූරියා සදුදා (12) සිට බෙදයි

(10.06.2023 – 18:56 +0530 – hirunews.lk/sinhala)

යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500 සහිත නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ලබන සඳුදා (12) සිට යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා හැරෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. මෙම පොහොර තොගය ඕමානයේ සිට ආනයනය කර තිබෙනවා.

මේ අතර, අනුරාධපුරය – ගලෙන්බිදුනුවැව හුරුලුවැව – වම් ඉවුර හා දකුණ ඉවුර යටතේ වගා කෙරෙන කුඹුරුවලට වැළඳී ඇති පණු උවදුරක් හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ගොවීන් ප්‍රකාශ කළේ කුඹුරු අක්කර 6,000 ක් පමණ ගොඩවෙල් නමැති මෙම පණු උවදුරට ගොදුරුවී ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *