‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක්

‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක්


‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක්

(08.06.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)

බීමත් සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ ‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක් (2) තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ හය (6) වන මහලේ පිහිටි පීට්සා අවන්හලකදී මෙම ගැටුම ඇති වුණේ පසුගිය 05 වැනිදා රාත්‍රියේයි.

සේවය අවසන් කර නිවසට යාමට සූදානම් වූ අවන්හල් සේවකයෙකු තම හෙල්මටය මේසයක් මත තබා ගොස් තිබුණා.

ඒ අතරතුර එහි පැමිණෙන සුරාබදු නිලධාරීන් පිරිසක් එම හෙල්මටය රැගෙන යාමට උත්සහ කර යළිත් එය එහි තබා ඇති බවටයි සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

එම අවස්ථාවේ දී සුරාබදු නිලධාරීන්, අවන්හලේ කළමණාකාරවරයා සහ ප්‍රධාන සූපවේදියා සමග බහින් බස් වීමක් ඇතිකරගෙන තිබුණා.

එහිදී සුරාබදු නිලධාරීන් ප්‍රධාන සූපවේදියාට පහර දෙන ආකාරය ද සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙන බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව තවත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් ද එහි පැමිණ අවන්හලේ සේවකයින්ට පහර දී තිබුණා.

එහිදී ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ අවන්හලේ ප්‍රධාන සූපවේදියා සහ සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එම අවස්ථාවේ සුරාබදු නිලධාරීන් බීමත්ව සිට ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මේ වන විට විමර්ශනයක් සිදුකරන අතර සුරාබදු දෙපාර්තමේන්තුවද වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සඳහන් කළේ තමන් කැඳවන වාර්තාවේ සිද්ධියට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව ගනු ලබන විනය ක්‍රියාමාර්ග ද ඇතුළත් කරන ලෙසට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදුන් බවයි ෴


දියේ ගිලී විදේශිකයෙක් මරුට

(08.06.2023 – 06:38 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය රුසියන් ජාතිකයෙකු ඊයේ (07) දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ රුසියන් ජාතිකයෙක්.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


බොරැල්ල රෝහලේ වකුගඩු සැත්කම් අත්හිටුවීමට එරෙහිව අතුරු තහනමක්

(08.06.2023 – 07:15 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ඊයේ (07) අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

වෙස්ටර්න් රෝහල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම බල‍රහිත කරන්නැයි අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම රිට් පෙත්සමට අදාළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් ඇතුළු විනිසුරු මඬුල්ලක් විසින්.

පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම ජුනි 14 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය විසින් තීරණය කරනු ලැබුවා ෴


කාන්තාවක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

(08.06.2023 – 07:29 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාළු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරනවා.

අදාළ කාන්තාව වයස අවුරුදු 29 ක් හැවිරිදි තිදරු (3) මවක්.

මාළු ව්‍යාපාරිකයාගේ තර්ජන ගර්ජනවලට ලක් ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැදි සිටි තිදරු මව ද පොලීසිය බාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂයක් සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පළා ගියහොත් සැමියා හා දරුවන් මරා දමන බව ද ලබාගත් නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හරින බවට ද නිතර තර්ජනය කළ බව ද එම කාන්තාව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අවස්ථා ගණනාවකදී පොලිස් ස්ථාන රැසකට මේ පැමිණිලි කළත් කිසිදු ස්ථානයකින් සාධාරණයක් ඉටු නොවුන බවයි.

කෙසේ වෙතත් ඇය දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිලි කිරීමෙන් පසු අදාල විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්තට භාර දී තිබූ අතර ඒ අනුව ඇය ඇතුළු කණ්ඩායම මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී අදාල කාන්තාවට තර්ජනය කිරීමට යොදා ගත් බව කියන මාලු කපන පිහි 05 ක් හා කිනිස්සක් සොයා ගෙන තිබෙනවා.

ඊට අමතරව ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබූ ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අදාළ සැකකරුවා වයස අවුරුදු 36 ක් වන තිදරු මවගේ ඥාති මාමා කෙනෙක් බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴


මේ මස අවසන් වනතෙක් එළවළු මිල ඉහළ අගයක

(08.06.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala)

මේ මස අවසන් වනතෙක් එළවළු මිල ඉහළ අගයක පවතිනු ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.

මේ අතර එළවළු මිල ඉහළ යාමත් සමග පාරිභෝගික ජනතාව ඒ ආශ්‍රීත විකල්ප වෙත යොමු වූ අතර ඒ අනුව පසුගිය කාල සීමාවේ දී වෙළදපොළේ මඤ්ඤොක්කා සහ කොස් සදහා ඉහළ ඉල්ලුමක් පැවතුණා.

එම ඉල්ලුමත් සමග වෙළදපොළේ අද (08) වන විට මඤ්ඤොක්කා සහ කොස් මදුළු කිලෝවක මිලද රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බව වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කළේ.

ඒ හේතුවෙන් පාරිභෝගික ජනතාව තවත් අපහසුතායට පත්ව සිටිනවා.

පසුගිය දිනවල කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවල කොස් බහුලව අලෙවි වීම දක්නට ලැබුණා.

මේ වන විට බෝංචි, කැරට්, ලීක්ස්, බීට්රූට්, නෝකෝල්, මාළුමිරිස් සහ කරවිල ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 250 සිට රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් තොග මිල මෙලෙස සටහන් වුවද සිල්ලර වෙළදපොළේ මිල ගණන් ඊට හාත්පසින් වෙනස් අගයක් ගන්නවා.

ඇතැම් ප්‍රදේශවල එළවළු කිලෝවක් රුපියල් 250 ක මිලකට අලෙවි වන බවයි වෙළඳපොළ සොයා බැලීමටක දී අනාවරණය වුණේ.

මේ අතර ගෑස් මිල යලිත් පහළ යාමේ වාසිය ජනතාවට මෙතෙක් ලැබී නැහැ.

ආපනශාලාවල අලෙවි වන කෙටි ආහාරවල මිල ගණන් තවමත් ඉහළ අගයක පවතින අතර බත් පැකට්ටුවක් ද අලෙවි වන්නේ පැරණි මිලටමයි.

ආපනශාලා හිමියන් කියා සිටියේ එළවළු මිල අධික වීම හේතුවෙන් බත් පාර්සලයක මිල අඩු කළ නොහැකි බවයි.

මේ අතර යලිත් වරක් වෙළදපොළේ අන්නාසි ගෙඩියක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴


සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

(08.06.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය අද (08) අවසන් වනවා.

පසුගිය මස 29 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණා.

පැවති කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ප්‍රධාන විභාග පවත්වන කාල සීමාවන් විවිධ සංශෝධනයන්ට ලක්වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගයයි මෙලෙස මාස 05 ක පමණ පසුව ආරම්භ වුණේ.

මේ අතර රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 03 වන අදියර ලබන සඳුදා ආරම්භ වීමට නියමිතයි ෴


විදේශ රැකියා අපේක්ෂකයින්ට සහනයක්

(08.06.2023 – 08:13 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා අපේක්ෂකයින්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේ දී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

විදේශ රැකියා සදහා පිටත්ව යන පුද්ගලයින්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේ දී එහි සුළු වැරදි ඇතුළත් කිරීම නිසා ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දැනුවත් කර තිබුණා.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා නීතිපතිවරයාට මීට අදාළ නව යෝජනාවලියක් සකස් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ ෴


භූ විද්‍යා කාර්යාංශයට කෝප් කමිටුවෙන් දෝෂාරෝපණයක්

(08.06.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

මහජන සේවා නිසිලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නිළධාරීන් කෝප් කමිටුව හමුවේ දැඩි දෝෂාරෝපණයකට ලක් වුණා.

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය බලපත්‍ර ලබා දීමේදී විෂයභාර අමාත්‍යවරයාව අනිසි ලෙස මැදිහත් කර ගන්නා බවටයි එහිදී චෝදනා එල්ල වූණේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යංශයේ පතල් සුරක්ෂිතතා අධ්‍යක්ෂක කේ.වී.ජගත්, එම කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කාංචනා ප්‍රනාන්දු සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ පසුගිය දා පැවති කෝප් කම්ටුව හමුවේ පෙනී සිටියා.

එහිදී කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර සහ එම කමිටුවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, නිමල් ලන්සා සහ මහින්දානන්ද අළුත්ගමගේ ඊට එක්වෙමින් ඔවුන්නේ ප්‍රශ්න කළා ෴


මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ගේ සහායකයින් දෙදෙනාටත් (2) ඇප

(08.06.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

කිළිනොච්චියේ මරදන්කේණී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ කාන්තා දේශපාලන අංශයේ නායිකාව හා අනෙක් දේශපාලන ක්‍රියාධරයා ද රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා ඊයේ (07) නියෝග කර තිබෙනවා.

ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා සමඟ ඔවුන් දෙදෙනා (2) ද කිළිනොච්චියේ තාලෙයිඅඩි විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පොලිස් නිලධාරීන් සමඟ ගැටුමට මැදිහත් වී ඇති අතර මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට බැන වදිමින් සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පසුපස එළවා ඇත්තේ ඔවුන් දෙදෙනායි (2).

ඒ අනුව පොලිසියේ රාජකාරීවලට බාධා කිරිමේ චෝදනාව යටතේ මරදන්කේණී පොලිසිය විසින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ කාන්තා දේශපාලන අංශයේ නායිකා ව වන සර්ගුණදේවි ජගතීස්වරන් නමැත්තියත්, උදයසිවම් නමැති පුද්ගලයාත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පසුව ඊයේ (07) දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නියමිත දිනයේ ඔවුන් දෙදෙනා (2) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් එක් අයකුට රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත නිදහස් කළ අතර යළි ජූනි මස 27 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *