භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවත් කරයි

භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවත් කරයි


භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවත් කරයි

(07.06.2023 – 15:57 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ 300 ක ආනයන සීමා මෙම සති අන්තයේ ඉවත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216 ක් බවයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත් මෙවැනි තීන්දු තීරණවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවත් අපහසුතාවට පත් වූ බව ඇමැතිවරයා පවසා සිටියා.

රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ නව බදු හඳුන්වා දීම, පොලී අනුපාත ඉහළ නැංවීම සහ ආනයන සීමා පැනවීමට රජය පියව‍ර ගත්තේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමටත් විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමටත් බවයි ෴


ලංකාවේ උසම පහන් කූඩුව

(07.06.2023 – 16:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ උසම පහන් කූඩුව මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතිනවා.

උස අඩි 45 පරිවාර කූඩු දෙසීයකින් (200) මෙම පහන් කූඩුව සමන්විතයි.

වයඹ විශ්ව විද්‍යාලය පරිශ්‍රයේ මෙම පහන් කූඩුව ප්‍රදර්ශනය කෙරෙන බව සඳහන්.

ලබන 10 වැනිදා දක්වා මෙය ප්‍රදර්ශනය කරන බවයි වාර්තා වන්නේ.


රට සිහින පෙන්වා මුදල් වංචා කල පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(07.06.2023 – 16:57 +0530 – hirunews.lk/sinhala)

පෘතුගාලයේ වීසා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 90 ක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) දින දාහතරකට (14) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබෙනවා.

රුපියල් ලක්ස 90 ක මුදලක් පුද්ගලයන් දෙනකුගෙන් (2) ලබාගෙන එම පුද්ගලයින් දෙදෙනා (2) ගැම්බියාව නමැති අප්‍රිකානු රටේ අතරමං කර ඇති බවට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


‘කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ඉතා ප්‍රශංසනීයයි’ – අගමැති

(07.06.2023 – 17:04 +0530 – hirunews.lk/sinhala)

ක්ෂේත්‍ර රැසකට ආධාර ලබාදෙමින් දකුණු කොරියාව ලබාදෙන අඛණ්ඩ සහය වඩාත් ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

කොරියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ලී ජින්-බොක් සහ කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජූනි 06 වැනිදා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීත්, බුසාන් හි නාගරික අධ්‍යක්ෂ ජනරාල් යූ ජෑන්ග් චෝ ජුනි 07 වැනිදා අරලියගහ මන්දිරයේදීත් හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කොරියානු ජනරජය සහ එහි පරිත්‍යාගශීලී නියෝජිතායතන මෙන්ම සංවර්ධන පදනම් ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ බොහෝ සුබසාධන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වර්තා වන්නේ.

කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා වර්තමානයේ කැපී පෙනෙන මට්ටමකට වර්ධනය වන අතර දෙරටේ සහයෝගිතාවය ශාස්ත්‍රීය, විද්‍යා හා තාක්ෂණ සහ සංස්කෘතික සබඳතා ඇතුළුව ඉහළ මට්ටමක පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කොරියානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ලේකම් විශේෂ නියෝජිත ලී ජින්-බොක් පැවසුවේ කොරියාව ශ්‍රී ලංකාවේ ආයෝජන, වෙළෙඳ සහ සංවර්ධන සහයෝගීතාව වැඩි කරන බවයි.

තොරතුරු තාක්‍ෂණයේ තරුණ නිපුණතා සංවර්ධනය සඳහා තවදුරටත් සහාය ලබා දෙන බව පැවසූ ඔහු කොරියානු තොරතුරු තාක්ෂණ විශේෂඥයින් විසින් දැනට පවතින තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාන වෙත ඉගැන්වීම් පහසුකම් ව්‍යාප්ත කළ හැකි බවද පවසා ඇති බව සඳහන්.

රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර පැවසුවේ, කොරියානු සංවර්ධන ආකෘතිය සහ කොරියාවේ මානව සම්පත් ධාරිතා සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් පිළිබඳව එරටේ පුහුණුව ලත් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් දැඩි පැහැදීමකට ලක්ව සිටින බවත්, ඔවුන් ඒවා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවන බව සතුටින් සඳහන් කරන බවත්ය.

කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්ති මෙන්ම ධීවර ක්ෂේත්‍ර වැනි නව ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කිරීමට කොරියාවට දැන් අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා නියෝජිතයින් සඳහන් කර තිබෙනවා.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේ, අපනයනය කිරීමට හැකියාව ඇති ශාකසාර ඖෂධ නිෂ්පාදනය සඳහා කොළවලින් සාරය ලබා ගැනීම වැනි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම කොරියාවට ලබාදිය හැකි බවයි.

EXPO 2030 බුසාන් හි පැවැත්වීමට ගෙන ඇති යෝජනාව සහ එහි සූදානම පිළිබඳව ද කොරියානු නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා ෴


තරුණියක් අපයෝජනය කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

(07.06.2023 – 18:21 +0530 – hirunews.lk/sinhala)

ගංවතුර නිසා නිවසට යාමට නොහැකිව සිටි තරුණියක් අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයෙකු ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ගංවතුර හේතුවෙන් මීගහතැන්න ප්‍රදේශයේ මාර්ගයක නිවසට යාමට නොහැකිව තරුණිය රැඳී සිටිය දී සැකකාර ව්‍යාපාරිකයා ලොරි රථයෙන් නිවසට ඇරලවන බව පවසා නංවා ගෙන තිබෙනවා.

අනතුරුව පාළු ස්ථානයකට රැගෙන ගොස් ලොරි රථය තුළදී තරුණිය අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට ඇප

(07.06.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අද (07) පස්වරුවේ කිළිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

කිලිනොච්චිය පොලිසියේදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ. එමෙන්ම ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක ආරක්ෂාවට යොදවා සිටි, පොලිස් නිලධාරීන් සමඟ ඇතිවූ ආරවුලකට අදාළව මන්ත්‍රිවරයාට පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර එම සිද්ධිය වාර්තා වුණේ පසුගිය 02 වනදායි.

අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබුණත් එලෙස නොපැමිණි නිසා පොලිසිය ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද අධිකරණයෙන් ලබා ගත්තා.

අනතුරුවයි කිලිනොච්චි පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද (07) උදෑසන මන්ත්‍රීවරයාගේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඔහුව අත්අඩංගුවට ගත්තේ.

එහිදීද මන්ත්‍රීවරයා සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූයේ උණසුම් වචන හුවමාරුවක්.

කෙසේ වෙතත් පසුව මන්ත්‍රීවරයා කිළිනොච්චි පොලිස් ස්ථාන වෙත රැගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේ ඔහුගේ පක්ෂයේ අධාරකරුවන් පිරිසක් පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වූ බව හිරු වාර්තාකරු සදහන් කළා.

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිහිපදෙනෙකු විරෝධය පළ කර තිබෙනවා.

එසේම මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) ගෙන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිසමේ කාර්යාලයේ නිලධාරින් අද (07) පැය 04 ක් පමණ ප්‍රකාශ සටහන්කරගෙන තිබුණේ සූම් තාක්ෂණය ඔස්සේයි.

+


සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍රය අමතක වී පැමිණි සිසුවියට උපකාර කළ උතුම් හදවතක් ඇති නිලධාරියා

(07.06.2023 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ගෝනපොළ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසල දී මිනිස්කම උතුරා ගිය පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (06) පැවැත්වුණේ ගණිතය විෂයයි.

මොරගහහේන ගෝනපොළ පලන්නෝරුව මහා විද්‍යාලය ද විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබු අතර මොරගහහේන පොලීසියට අනුයුක්ත රථවාහන අංශයේ පොලිස් සැරයන් ඒ. කුලරත්න විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල සේවයේ නිරතව සිටියා.

එම නිලධාරියා අසළට පැමිණි සිසුවියක් හඬා වැටෙමින් ඔහුට පවසා තිබුණේ, තමාට විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඒමට අමතක වූ බවයි.

එම අවස්ථාව වන විට වේලාව පෙරවරු 8 පසු වී මිනිත්තු 22 ක් වූ අතර විභාග ආරම්භයට ඉතිරිව තිබුණේ තවත් මිනිත්තු 8 ක් පමණ කාලයක්.

දැරියගේ මානසික තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගත් පොලිස් නිලධාරියා, සිය රාජකාරී මධ්‍යයේ වුවද දෙවරක් නොසිතා දැරිය සිය රාජකාරි යතුරු පැදියේ නංවාගෙන කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි දැරියගේ නිවස වෙත කැටුව ගොස් ඇයට විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

පසුව විභාගය ආරම්භ වීමට පෙර ඔහු මෙම දියණිය විභාග මධ්‍යස්ථානය වෙත නැවත කැටුව එනු ලැබුවා.

මිනිස් කම උඩු සුළඟට ගසා ගෙන ගොස් ඇති මෙවන් වපසරියක මේ පොලිස් නිලධාරියා සිදුකළ උතුම් ක්‍රියාව සැබවින් ම ප්‍රශංසනීයයි.

+


ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම ඉහළට

(07.06.2023 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2 කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.2 ක් බව සඳහන් වනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 2.7 ක් ලෙසටයි.

චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4 ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වනවා ෴


ඩයනාගෙන් සජබට කූඨ ලේඛන චෝදනාවක්

(07.06.2023 – 21:04 +0530 – hirunews.lk/sinhala)

තමන් සමගි ජනබලවේගයේ උපලේකම් ධූරයෙන් ඉවත් වූ බවට සිය අත්සන යොදා සමගි ජන බලවේගය දිසා අධිකරණයට කූඨ ලේඛනයක් ලබාදී ඇති බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අද (07) පාර්ලිමේනිතුවේ දී චෝදනා කළා.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් කළ බවද ඇය පැවසුවේ අද (07) කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය මූහුණ පා ඇති ගැටළු පිළිබදව එම විවාදය පැවැත්වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *