ඖෂධ මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය

ඖෂධ මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය


ඖෂධ මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය

(06.06.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල 16% කින් අඩු කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එය ලබන 15 වැනිදා සිට බලාත්මක වන අතර මාස තුනකට (3) වරක් ඖෂධ මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ.

මේ අතර දැනට ක්‍රියාත්මක ‘සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය’ 2024 ජනවාරි පළමුවැනිදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට හැකිවන ආකාරයේ එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

මහරගම අපේක්ෂා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය අක්‍රිය වීම සම්බන්ධයෙන් ඊයේ (05) හිරු ප්‍රවෘත්ති අංශය අනාවරණ කරනු ලැබුවා.

අදාළ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය භාවිතයට ගත නොහැකිවී ඇත්තේ ඊට භාවිත කරන සම්බන්ධක කැතීටර අවසන් වීම හේතුවෙන් බවටයි අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ.

+


ත්‍රීරෝද රථයෙන් එළදෙනක් රැගෙන ගිය ගවහොරු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(06.06.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව සමයපුරම් ප්‍රදේශයෙන් හොරකම් කරන ලද එළදෙනෙකු ත්‍රීරෝද රථයක පටවා ගෙන යමින් සිටි දෙදෙනෙකුව (2) ගම්වාසීන් විසින් අල්ලා නෙලුක්කුලම පොලීසිය වෙත ඊයේ(05) බාර දී තිබෙනවා.

එළදෙනගේ කකුල් හතර ලණුවකින් ගැටගසා රාත්‍රියේ දී මස් පිණිස අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී ගම්වාසීන් පිරිසක් එළදෙනගේ කකුල් දැක තිබෙන අතර පසුව ත්‍රීරෝද රථය ලුහුබැද ගිය ගම්වාසීන් එය නතර කොට සැකකරුවන් හා එළදෙන ඔවුන් බාරයට ගෙන පොලීසිය වෙත බාර දී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

වවුනියාවේ ගව ඝාතකාගාරය පිහිටා ඇත්තේ සාලම්බකුලම ප්‍රදේශයේ වන අතර මෙම එළදෙන රැගෙන ගොස් ඇත්තේද ගව ඝාතකාගාරයේ සිටින පිරිසකට අලෙවි කිරීම සඳහා බව පොලිස් විමර්ශනවලදී සැකකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

නෙලුක්කුලම පොලීසිය මෙම සැකකරුවන් දෙදෙනා (2) වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා ෴


සිසුන්ගේ ඊමේල් ගිණුම්වලට මවුපියන්ගේ දත්ත නොදෙන්නැයි පොලිසියෙන් උපදෙස්

(06.06.2023 – 14:18 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපැල් ගිණුම් සැකසීමේදී මවුපියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙස පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරින් විසින් ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා.

මවුපියන්ගේ දත්ත ඇතුළත් කිරීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමේ අවස්ථාව ලැබෙන බවයි ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ.

දරුවන්ගේ නිවැරැදි වයස ඇතුළු තොරතුරු ලබා දීම සිදු කරන්නේ නම් අන්තර්ජාල පද්ධතිය දරුවන්ට නුසුදුසු දර්ශන සහ වෙබ් අඩවි සොයා බැලීමේ හැකියාව සහ ඒවාට ප්‍රවේශ වීම පාලනය කෙරෙන බව ද පොලිස් අපරාධ අංශයේ නිලධාරින් එහිදී ප්‍රකාශ කර තිබෙනවා ෴


දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්

(06.06.2023 – 14:18 +0530 – hirunews.lk/sinhala)

දූෂණ විරෝධි පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන අනුව පනත් කෙටුම්පතට ඇතුළත් කළ යුතු බවට දැනුම් දී ඇති බවයි කථානායකවරයා කියා සිටියේ.

එමෙන්ම, නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.

එහි සභාපති ධුරය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණට හිමිව ඇති අතර ඊට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ද ඇතුළත්.

මේ අතර අනවසර ගිනිඅවි 1,163 ක් පසුගිය වසර 03 තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළා ෴


හික්කඩුව පොලිස් ස්ථානය තුළ සාමය කඩවන පරිදි හැසිරුණු කාන්තාවන් 05 ක් ඇතුළු 19 ක් අත්අඩංගුවට

(06.06.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව පොලිස් ස්ථානය තුළ සාමය කඩවන පරිදි හැසිරුණු කාන්තාවන් 05 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) මෙම පිරිස පොලිසියට කැඳවා තිබුණේ වැලිගම මුහුදු තීරයේ දී බෝට්ටුවකට පහර දී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලකට අනුවයි.

එහිදී දෙපාර්ශවය විසින් සාමය කඩවන ලෙස හැසිරී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු (1) පැමිණි ත්‍රීරෝද රථයක් ද මෙහිදී පොලිස් භාරයට ගැණුනේ එහි තිබී කඩුවක් හා උල් පිහියක් හමුවීම හේතුවෙන්.

සැකකරුවන් හා සැකකාරියන් 24 සහ 50 අතර වයස්වල පසුවන රත්ගම හා දොඩංදූව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (06) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


විදෙස් ගමන්බලපත්‍ර ගැනීමට පැමිණි පුද්ගලයින්ගෙන් මුදල් අය කළ 05 ක් කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය අවටින් අත්අඩංගුවට

(06.06.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය අවට රැදී සිටි තැරැව්කරුවන් 05 දෙනෙකු පොලිසියට විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ට ලබාදෙන ටෝකන්පත් ඔවුන් විසින් වැඩිමිලට අලෙවිකරන බවටයි තොරතුරු වාර්තා වී තිබුණේ.

එසේම මොවුන් තවත් විවිධ ක්‍රම මගින් ජනතාවගෙන් මුදල් ලබාගන්නා බවට පැමිණිලි ලැබී තිබූ අතර, ඒ අනුව මෙම වැටලීම සිදු කෙරුණා ෴


රණවිරුවන්ගේ සංශෝධිත සලාක දීමනා ළගදීම

(06.06.2023 – 14:42 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයේදී මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත සංශෝධිත සලාක දීමනා නුදුරේදීම ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ සංශෝධිත සලාක දීමනා හිමිගැන්වීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකරන බවයි.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව දැනට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටද මෙම දීමනා හිමිවනු ඇති ෴


ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වැසි යාමේ අවදානමක

(06.06.2023 – 14:45 +0530 – hirunews.lk/sinhala)

අවදානමකට ලක් වි ඇති බව එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගි ජනතාව පවසනවා.

ග්‍රාමසේවා වසම් හයක් (6) පමණ ආවරණය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු වෛද්‍යවරුන් තිදෙනෙකු (3) සේවය සදහා සිටි බවත්, මේ වන විට ඉන් වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) ස්ථාන මාරුවිම් ලබා ගොස් ඇති බවයි ලක්ෂපාන ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

අප වාර්තාකරු පවසන්නේ ලක්ෂපාන විදුලි බලාගාර සංකිර්ණය ආසන්නයේ පිහිටි ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගි අංශයෙන් සහ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනිමට මොරහේනගම, වක්ගම, පල්ලේවත්ත, හගරාපිටිය, කොත්තැල්ලෙන, කටු කිතුල, නෝටන්බ්‍රිජ් ඇතුළු ගම්මාන රැසක ජනතාව දිනපතා පැමිණෙන බවත්, දැනට එම රෝහලේ එක් වෛද්‍යවරයෙකු පමණක් දිවා රාත්‍රි දෙකේම සේවයේ යෙදි සිටින බවත්, පවත්නා තත්ත්වය මත දැනට සේවයේ යෙදි සිටින වෛද්‍යවරයාද ස්ථාන මාරුවිමක් ලබා වෙනත් රෝහලකට යාමට කටයුතු කරමින් සිටින බවයි.

ලක්ෂපාන රෝහල සියළුම පහසුකම් සහිත රෝහලක් වන අතර, රෝහලේ 30 දෙනෙකුට ආසන්න කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර, එම රෝහලට ගිලන් රථයක්ද තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එම රෝහලේ දැනට එක් (1) වෛද්‍යවරයෙකු පමණක් සේවය කරන නිසා ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල රෝහල වසා දමන බවට දැනට එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයා විසින් රෝහලේ දැන්විමක්ද පලකර තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධනගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ, ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ සේවය කල වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) ගෙන් එක් (1) වෛද්‍යවරයෙකු හදිසි අවශ්‍යතාවයක් සදහා එම රෝහලෙන් ස්ථාන මාරුවිම් ලබා යාමට එම රෝහලේ දැනට සේවයේ යෙදි සිටින වෛද්‍යවරයා නිර්දේශයක් ලබා දි තිබු නිසා එම වෛද්‍යවරයාට ස්ථාන මාරුවිමක් ලබා දුන් බවයි.

එමෙන්ම එම රෝහලට අලුතින් වෛද්‍යවරයෙකු පත් කරන තෙක් දැනට සේවය කරන වෛද්‍යවරයා නිවාඩු ලබා යන අවස්තාවක තාවකාලිකව එම රෝහලට වෙනත් වෛද්‍යවරයෙකු අනුයුක්ත කිරිමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා ෴


නිමි තේ කිලෝවක මිල පහත වැටිම නිසා වතු සමාගම් පාඩු ලබන තත්ත්වයක

(06.06.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයේ අගය පහත වැටිමත් සමග උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක මිල විශාල ලෙස පහත වැටිම නිසා තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත් වි ඇති බව වතු අධිකාරිවරුන් පවසනවා.

ඔවුන් පවසන්නේ පසුගිය මාස කිහිපය තුල තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක් රු. 1800-1900 අතර අලෙවි වූ බවත්, ඉකුත් සතියේ තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබු නිමි තේ කිලෝවක් රු. 800-900 වැනි උපරිම මිලකට අලෙවි වූ බවයි.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. දහසක් (1000) වශයෙන් ගෙවිය යුතු බවත්, වැඩි වු විදුලි බිල, තේ වේලිම සදහා භාවිතා කරන දැව මිල ඉහල යාම ඇතුළු ද්‍රව්‍ය රැසකම මිල ඉහල යාම නිසා නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිමට විශාල මුදලක් වැය වන බවයි ෴


නිකවැරටියේ රෝගී තත්ත්වයෙන් සිටි වන අලියෙකුට ප්‍රතිකාර

(06.06.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)

මේ අතර කලක් තිස්සේ රෝගී තත්ත්වයකින් පෙළුනු වන අලියෙකුට ප්‍රතිකාර කිරීමට නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මෙලෙස රෝගී තත්ත්වයේ පසුවන්නේ කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ සැරිසරන වයස අවුරුදු 45 ක පමණ වන අලියෙක්.

උස අඩි 9 ක් පමණ වන මෙම වන අලියා මළපහ කිරීමට නොහැකි වී සිටි බවයි වනජීවී නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙන්නේ.

ඒ අනුව අලියා නිර්වින්දනය කර අවශ්‍ය ප්‍රතිකාර සිදු කර නැවත අලියා සිහි ගැන්වීමට එම වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *