එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත් පැය දෙකකින් (2)

එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත් පැය දෙකකින් (2)


එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත් පැය දෙකකින් (2)

(02.06.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව එක් (1) දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී (2) ලබා ගතහැකි ක්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලු‍ක්පිටිය පවසනවා.

ඒ සුහුරුපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ අද (02) පැවති මාධ්‍ය හමුවකදීයි.

නීති විරෝධීව මුදල් ලබා ගනිමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කළ ජාවාරමක් පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ පසුගිය දා අනාවරණය කළා.

ඒ අනුව ඊට සම්බන්ධ තැරැව්කරුවන් ඇතුළු 19 ක් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීණියක්ද වනවා.

අදාළ ජාවාරම ක්‍රියාත්මක සමයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන අංශයේ අධික තදබදයක් පැවති අතර විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමට දිනකට වඩා පෝලිම් වල රැඳී සිටි සිද්ධීන්ද වාර්තා වුණා.

මේ අතර, ඉදිරි සති දෙක (2) තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කරන විදේශ ගමන් බලපත්‍ර හදිසි ක්‍රමවේදය යටතේ දින 3 කදී කුරියර් සේවාවක් හරහා ලබාදීමටත්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ සති දෙකක් (2) තුල තැපෑල හරහා ලබාදීමටත් පියවර ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල්වරයා කියා සිටියා.

එමෙන්ම, විදේශ ගතව සිටින පුද්ගලයන්ට කල් ඉකුත් වන සිය විදේශ ගමන් බලපත්‍ර පහසුවෙන් ලබා ගැනීම සදහා ද ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ක්‍රමවත්ව සිදුවන බවයි ජනතාව ප්‍රකාශ කළේ.

මේ අතර, දැනට අත්අඩංගුවට ගෙන සිටින විදේශ ගමන් බලපත්‍ර දෙකක් (2) සහිතව මෙරටට පැමිණි චීන ජාතිකයා මෙරටින් පිටුවහල් කිරීමට ඉදිරි දින කිහිපය තුල පියවර ගන්නා බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා අද (02) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා ෴


‘හිරු ශ්‍රද්ධාභිවන්දනා’ වැඩසටහන හෙට (03) ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී

(02.06.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මෙවර පොසොන් පුන් පොහොය වෙනුවෙන් ‘හිරු ටී.වී.’ ප්‍රමුඛ ‘හිරු මාධ්‍ය ජාලය’ සංවිධාන කරනු ලබන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික සෝමවතිය සෑ රදුන් අබියස දී හෙට (03) දිනය පුරා පැවැත්වෙනවා.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීම ඇතුළු පින්කම් මාලාවක් සම්මා සම්බුදු රාජාණන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෝමවතිය පුද බිම කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමට නියමිතයි.

සිරිලකට සම්බුදුදහම උරුම වූ පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය මෙවර පැවැත්වෙන්නේ බුද්ධ රශ්මියෙන් ප්‍රභාවත් වන බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෝමවතිය පුද බිම කේන්ද්‍ර කරගනිමින්.

සෝමවතිය රජමහ විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් දැහැමි සිත් පෙරදැරිව හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන හෙට (03) උදෑසන 05:30 ට ආරම්භ වන අතර එය සජීවි ලෙස ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වීමට නියමිතයි.

‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ ‘හිරු ශාසනාවතරණය’ මහා පින්කම මෙවර ඓතිහාසික සෝමවතිය පුද බිම අබියසදී පැවැත්වෙන්නේ දසවන (10) වරටයි.

හිරු ශාසනාවතරණය මහා පිංකමේ දී මෙවර කුල දරුවන් 10 දෙනෙක් සඟ සසුනට පූජා කෙරෙනවා.

හිරු ශාසනාවතරණයෙන් මෙතෙක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සසුනට පූජා කර ඇති කුල දරුවන් සංඛාව 150 කට ආසන්නයි.

උන්වහන්සේ සියලු දෙනාගේ අධ්‍යාපනික කටයුතු ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගේ අනුග්‍රහයෙන් සුපෝෂණය කිරීම ද ‘හිරු ශ්‍රද්ධාභිවන්දනා’ පුණ්‍යකර්මයට සමගාමීව සිදු කෙරෙන මා හැඟි කටයුත්තක්.

එමෙන්ම භික්ෂූන්වහන්සේ 150 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් හෙට (03) දිනයේදී සිදු කිරීමට නියමිතයි.

මෙලෙස හෙට (03) දින සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කෙරෙන කුල දරුවන් සෙත් පිරිත් සජ්ඡායනා මැද අතපැන් වත්කර භාරදීම අද (02) පස්වරුවේදී සිදු කෙරුණා.

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති සෝමවතිය සෑරදුන් වහන්සේ උදෙසා පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා සිදු කෙරෙණ ‘මහාභිදාන පුණ්‍ය කර්මයක්’ද හෙට (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

සෝමවතිය සෑරඳුන් වහන්සේ උදෙසා මහා කප්රුක් පූජාවක්ද සිදුකෙර‍න අතර රටට සහ ජාතියට සෙත්පතා මහා අධිෂ්ඨාන පූජාවක් ද සිදු කිරීමට නියමිතයි.

ඓතිහාසික සෝමවතිය පුද බිම අභියසදී පැවැත්වෙන ‘හිරු ශ්‍රද්ධාභිවන්දනා’ පින්කම් මාලාව සඳහා බැතිසිතින් එක්වන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක්ද සලසා දී තිබෙනවා.

+


ලෝක පූජිත පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් නොතැකූ ගුවන්තොටුපල නිලධාරියාට විනය පරීක්ෂණ

(02.06.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් පැය 12 ක් ගුවන් තොටුපලේ රඳවාගෙන සිටි කටුනායක ගුවන්තොටුපළේ එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි මෙහෙයුම් නිලධාරියා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම්වරයා විසින් නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට කළ දැනුම්දීමකට අනුවයි.

ලෝක පූජිත බ්‍රිතාන්‍ය ජාතික හිමිනමක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක ගුවන් තොටුපල වෙත පසුගිය 31 වැනිදා අලුයම තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපල වෙත වැඩම කර තිබුණා.

එලෙස වැඩම කළ උන්වහන්සේ ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තයේ කුටියක් වෙත රැගෙන ගොස් තිබුණේ ප්‍රභූ පහසුකම් ජනාධිපතිවරයා විසින් පිරිනමා තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, එලෙස රඳවා සිටි උන්වහන්සේ නිසි වේලාවට අදාළ ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබුණේ නැහැ.

පැය 12 කට පමණ පසුවයි උන්වහන්සේ මලයාසියාව බලා පිටත්ව යන ගුවන් යානයක් වෙත රැගෙන ගොස් තිබුණේ.

සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම අවස්ථාවේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බව වාර්තා වුණා.

වාර්තාවන තොරතුරුවලට අනුව එදින ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා පූජ්‍ය බ්‍රහ්මවංසෝ හිමියන් හමුවී සමාව ඉල්ලා තිබුණා ෴


සෑම ගම්මානයකම ඉදිරියේ දී සංහිදියාව පිළිබඳ සංවිධානයක් – විජේදාස රාජපක්ෂ

(02.06.2023 – 14:18 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සෑම ගම්මානයකම ඉදිරියේදී සංහිදියාව පිළිබඳ සංවිධානයක් ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

එමගින් ඉදිරියේ දී ජාතින් අතර සාමය හා සංහිදියාව ඇති කිරීමට කටුතු කරන අතර එම සංවිධානයෙන් ගමේ පොදු තීරණ ගැනීමට හැකියාව පවතින බවයි කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ.

මේ අතර, ගුවන්විදුලි හා රුපවාහිනී විකාශන අයිතිය පිලිබඳව ඉදිරිපත් කර ඇති කෙටුම්පත් යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනමාධ්‍ය ආයතන ලබන 07 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවා තිබෙනවා.

+


මීනගයා දුම්රියේ දරුවා තවත් වසර තුනක් (3) අධීක්ෂණයට

(02.06.2023 – 14:22 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව බලා ධාවනය වීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගිය බිළිඳා තවත් වසර තුනක් (3) පරිවාස අධීක්ෂණයට යටත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අද (02) එම නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැදවූ අවස්ථාවේදියි.

දරුවාගේ පෝෂණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිසි පරිදි සිදුවන්නේ ද යන්න නිරීක්ෂණය කළ යුතු බවද එහිදී මහේස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇප මත මුදාහැර සිටින බිළිදාගේ දෙමව්පියන් අද (02) අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, මෙහිදී දරුවාගේ මව සහ පියා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය දැනුම්දුන්නේ මේ වනවිට එම යුවළ විවාහ වී ඇති බවයි.

එමෙන්ම පියා රැකියාවක නිරතවෙමින් දරුවාගේ ආහාරපාන ඇතුලු අවශ්‍යතා සියල්ල ඉටු කරන බවත් අධිකරණයට දැනුම් දී තිබෙනවා ෴


ඉන්ධන පෝලිම් තවදුරටත්

(02.06.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala)

පෙරේදා (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සශෝධනය කිරීමෙන් පසු හට ගත් ඉන්ධන පෝලිම් තවදුරටත් දක්නට ලැබෙනවා.

ඉන්ධන මිල අඩු වීමේ වාසිය ලබා ගැනීම සදහා මෙලෙස පෝලිම්වල රැදී සිටීමට සිදුවීම කණගාටුවට කරුණක් බවයි ජනතාව පවසන්නේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින්ද, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින්ද, ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින්ද මෙවර පහත දැමුණා.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරය මිල රුපියල් 20 කින් ඉහළ දැමුණු අතර, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ ගියේ රුපියල් 10 කින්.

තවද අවම තොග පවත්වාගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනයකින් පසු අත්හිටුවීමට පියවර ගන්නා බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (01) කියා සිටියේ.

ඉන්ධන මිල පහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් පිරවුම්හල් හිමියන් ප්‍රමාණවත් ඇණවුම් ලබා නොදීම ඉන්ධන හිඟයක් නිර්මාණය වීමට හේතු වූ බව අමාත්‍යවරයා සඳහන් කළා ෴


සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීමට ඇමතිගෙන් උපදෙස්

(02.06.2023 – 15:42 +0530 – hirunews.lk/sinhala)

සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ඛනිජ තෙල් සංස්ථාවට සහ තොග ගබඩා පර්යන්තයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් මගින් ඇනවුම් නොකිරීම, මිල සංශෝධනයෙන් පසු ඉල්ලුම වැඩිවීම සහ කෝටාව වැඩිවීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ඇති වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

+


‘කොස්ගොඩ සුජි’ගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

(02.06.2023 – 15:49 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘කොස්ගොඩ සුජි’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ඇන්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් ද තිබූ බව පොලීසිය පවසනවා.

අහුන්ගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ද ඉදිරි විමර්ශන සඳහා අහුන්ගල්ල පොලීසියට භාර දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *