ජනපතිගේ විශේෂ ප්‍රකාශය

ජනපතිගේ විශේෂ ප්‍රකාශය


ජනපතිගේ විශේෂ ප්‍රකාශය

(01.06.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද සියලු රට වැසියන් භුක්ති විඳින බවත් 70% ක් දක්වා ඉහළ නැග තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහලට ගෙන ඒමට හැකිව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බව ද කියා සිටියා.

පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගත් අතර මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව ද කියා සිටියා.

ඉදිරි වසර පහ (5) ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ප්‍රධාන කුළුණු 4 ක් ඔස්සේ රට ගොඩනගන බව කී ජනාධිපතිවරයා ඊළඟ වසර 25 ඇතුළත ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන ගමන ආරම්භ කරන බවද පැවසුවා.

‘ජාතික පරිවර්තන මාර්ග සිතියම’ රටට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසුවා.

නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය හැඩ ගස්වා නොගත හොත් රට ආපස්සට ගමන් කරන බවත් එහි අවසානය රට ආර්ථික යටත් විජිතයක් වීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් ගමනක් යාමට කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවත් අවධාරණය කළා.

එමෙන්ම නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා තීරණ කෙතරම් දූෂ්කර සහ වේදනාකාරී වුව ද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා සිටියා.

ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය :

++++++

+


ජංගම දුරකථන ගන්න ඉන්න අයට සුභ ආරංචියක් – ජංගම දුරකථන මිළෙහි හදිස්සියේම ඇතිවන වෙනස මෙන්න

(01.06.2023 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් කීරිම නිසාවෙන් ඉදිරියේදී ජංගම දුරකථන වල මිල අඩුවෙනු ඇති බව වාර්තා වනවා.

මහ බැංකුව විසින් භාණ්ඩ වර්ග 843 ක් ආනයනය කිරීමේ දී පනවා තිබූ ‘මුදල් ආන්තික අවශ්‍යතාව’ හෙවත් ‘එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව’ අද (01) ඉවත් කරන බව නිවේදනය කළා.

විශේෂයෙන්ම පැවති උද්දමනයත් ජංගම දුරකථන ආනයනය සීමා කිරීමත් මත ජංගම දුරකථන මිළ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා ෴


බිහිසුණු අනතුරකින් බේරුණු උඩරට මැණිකේ

(01.06.2023 – 21:12 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය විශාල අනතුරකින් වළක්වාගැනීමට එම දුම්රියේ සහායකයාගේ විමසිලිමත් භාවය හේතුවෙන් හැකිවී තිබෙනවා.

හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර ‘කපොල්ල’ නම් ස්ථානයට වැටී තිබුණු පස් කන්දක දුම්රිය ගැටීමෙන් වළක්වා ගැනීමට ඒ අනුව හැකියාව ලැබී තිබුණා

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා පෙරවරු 05:45 ට ධාවනය වන උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අදත් (01) බදුල්ල දුම්රිය ස්ථානයෙන් සුපුරුදු පරිදි ගමන් ආරම්භ කර තිබුණා.

ඒ වන විටත් හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර ‘කපොල්ල’ නමින් හැදින්වෙන ස්ථානයට විශාල පස් කන්දක් වැටී දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා

නමුත් ඒ පිළිබඳව දුම්රිය රියදුරු සහ රිය සහයකවරයා නිසි පරිදි දැනුවත්ව සිටියේ නැහැ.

පැවති දැඩි මීදුම් තත්ත්වය හමුවේ වුවත් උඩරට මැණිකේ දුම්රියේ රිය සහයකවරයා එම පස් කන්ද දැක ප්‍රධාන රියදුරුවරයා දැනුවත් කර එම අවස්ථාවේදීම දුම්රිය නවත්වා ගැනීමට සමත්වී තිබෙනවා.

වෙනත් නඩත්තු කටයුත්තක් සඳහා එම දුම්රියේ ගමන් කළ දුම්රිය සේවක පිරිසකගේ මැදිහත් වීමෙන් යළි දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කළ අතර පැය දෙකක (2) පමණ ප්‍රමාදයකින් අනතුරුව දුම්රිය යළි කොළඹ බලා ධාවනය කළා.

+


රන් මිල තවදුරටත් පහළට

(01.06.2023 – 22:09 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (31) දිනයට සාපේක්ෂව අද (01) දිනයේත් රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (01) දින රන් මිල මෙන්න :

රන් අවුන්ස (Gold Ounce) Rs. 575,795

කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 20,320

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams (1 Pawn) Rs.162,500

කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.18,630

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams (1 Pawn) Rs.149,050

කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.17,780

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams (1 Pawn) Rs.142,250


කොහුවල මංසන්ධිය හරහා යන රථවාහනවලට හදිසි දැනුම්දීමක්

(01.06.2023 – 22:41 +0530 – hirunews.lk/sinhala)

කොහුවල මංසන්ධිය හරහා ගමන් ගන්නා රථවාහන සඳහා පොලීසිය හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් කාලය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ත භාවිත කරන ලෙසට දැනුම්දෙමින්.


පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව

(02.06.2023 – 07:01 +0530 – hirunews.lk/sinhala)

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙම සමාව හිමිවන අතර පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව වසරක් (1) හෝ ඉන් කොටසක් ගතවන සිරකරුවන්ට දින 14 ක සමාවක් හිමි වන බවයි වාර්තා වන්නේ.

දඩ මුදල් නොගෙවීම මත සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ද මේ යටතේ සිදු වන අතර දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40 ක් හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඉන් වසර 20 ක් ගෙවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරිමට ද නියමිතයි.

අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිර දඬුවම නියමකර ඇති සිරකරුවන්ගේ සිර දඬුවම වසර 15 කට අඩුකර මහාධිකරණයෙන් දඬුවම් නියම කළ දින සිට ක්‍රියාත්මක කිරීම ද මේ යටතේ සිදු වනවා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන්වී පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් (½) හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති රැඳවියන්ගේ පුනරුත්ථාපන කාලයේ ඉදිරි කාලය අහෝසි කිරීම සිදුකරන අතර සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් පිරිසකට එලෙස ජනාධිපති සමාව හිමිවන බවයි වාර්තා වන්නේ ෴


කූඨ ලේඛන සකස් කරන ආයතනයක් වටලා තිදෙනෙක් (3) අත්අඩංගුවට

(02.06.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ කූඨ ලේඛන සකස් කිරීමේ ආයතනයක් වටලා ඊයේ (01) පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකා රාජගිරිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවට ආසන්නව පිහිටි ස්ටූඩියෝ ආයතනයක් පරීක්ෂා කිරීමේදී එය කූඨ ලේඛන සකස් කිරීමේ ස්ථානයක් බව පෙනී ගොස් තිබෙනවා.

මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු (2) සහ සැකකාරියක් (1) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල නීතිඥවරුන්ගේ හා සාමවිනිසුරුවරුන්ගේ නිල මුද්‍රා ඇතුළු විවිධ නිල මුද්‍රා 260 ක්, ව්‍යාජ ලේඛන සකස් කරවා ගැනීමට දත්ත ගෙන්වා ගන්නා ලද දත්ත ඇතුළත් ජංගම දුරකථනයක්, ව්‍යාජ ලෙස සකස් කරමින් තිබූ රක්ෂණ කාඩ් පතක්, ව්‍යාජ හැඳුනුම්පත් 03 ක්, සේවා හැඳුනුම්පතක්, කූඨ ලේඛන සකස් කිරීමට යොදා ගත් දත්ත ඇතුළත් පරිගණක යන්ත්‍ර 02 ක්, මුද්‍රණ යන්ත්‍ර 02 ක් හා මෙමරි කාඩ් පත් 05 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්ඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 70 වයස්වල පසුවන පල්ලේවත්ත සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය 42 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකරුවන් සහ සැකකාරිය අද (02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *