මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ‘බුල්ලා’ ගේ ගෝලයෝ 2 ක් රිමාන්ඩ්

මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ‘බුල්ලා’ ගේ ගෝලයෝ 2 ක් රිමාන්ඩ්


මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ‘බුල්ලා’ ගේ ගෝලයෝ 2 ක් රිමාන්ඩ්

(31.05.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බුල්ලා’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 26 දින මහනුවර අනිවත්ත ප්‍රදේශයේදීයි.

‘බුල්ලා’ නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අයකු බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවකු මහනුවර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවකු බවත් අනෙක් සැකකරු සංචාරක ක්ෂේත්‍රයේ සුඛෝපභෝගී වාහන සපයන පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරුවන්ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 20 කට අධික මුදලක් සංසරණය වී ඇති බවයි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබූ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කළ රිසිට් පතක් පිළිබඳ තොරතුරු සොයා ගිය කටුගස්තොට පොලිසියට හෙළි වූයේ අදාළ ගිණුම හිමි පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අයකු බවයි.

වැඩිදුර විමර්ශන සිදු කළ කටුගස්තොට පොලිසිය එම බැංකු ගිණුම හිමි පුද්ගලයා සමඟ තවත් පුද්ගලයකු සිටින බවත් ඔවුන් සතුව බැංකු ගිණුම් 10 ක් හිබෙන බවත් ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයා විසින් මෙරටට මත්ද්‍රව්‍ය එවන බවත් මොවුන් දෙදෙනා (2) ඒවා බෙදා හරින බවත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 38 ක් හා 40 ක් වන මහනුවර අනිවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන්.

සැකකරුවන් සතුව නීති විරෝධි ලෙස උපයා ගත් වත්කම් රැසක් තිබෙන බව අනාවරණය වී ඇති අතර රැඳවුම් නියෝග මත කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව අද (31) ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දින 14 කට රක්ෂිත බන්ධනාගත කර තිබෙනවා ෴


තමිල්නාඩු මුහුදු තීරයේ දී රුපියල් කෝටි 14 ක රත්‍රං සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(31.05.2023 – 14:34 +0530 – hirunews.lk/sinhala)

තමිල්නාඩු මණ්ඩපම් මුහුදු තීරයේ දී රුපියල් කෝටි 14 ක් පමණ වටිනා රත්‍රං තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (2) එරට වෙරලාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි යාත්‍රාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් 8 ක් පමණක් වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම රත්‍රං තොගය ශ්‍රී ලංකාවේ සිට රැගෙන එන්නට ඇති බවට සැක කෙරෙනවා.

සැකකරුවන් දෙදෙනා (2) සහ රත්‍රං තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා මණ්ඩපම් පොලීසියට භාරදී ඇති බව සඳහන් ෴


AI තාක්ෂණයේ දියුණුව ගැන තාක්ෂණ විශේෂඥයින්ගෙන් අනතුරු ඇගවීමක්

(31.05.2023 – 14:44 +0530 – hirunews.lk/sinhala)

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ උපරිම දියුණුවත් සමඟ මානව වර්ගයාගේ පරිහානිය සිදුවිය හැකි බවට තොරතුරු තාක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

මෙම අනාවරණය සිදු කර තිබුණේ ‘ඕපන් AI’ සහ ‘ගූගල්’ සමාගම්වල විශේෂඥයින් පිරිසක් විසින් වන අතර කෘත්‍රිම බුද්ධි ආරක්ෂණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය තුළ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබූ බව සඳහන්.

එම ආයතන පෙන්වා දෙන්නේ කෘත්‍රිම බුද්ධිය යොදාගෙන රසායන අවි නිපදවීම සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කර මිනිසුන් වැරදි තීරණ ගැනීමට පෙළඹවීම ඇතුළු විවිධ සාපරාධි ක්‍රියාවන් සිදු කල හැකි බවයි.

එමගින් උද්ගත විය හැකි අවදානම අවම කිරීම, ගෝලීය ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කිරීමේ වැදගත්කමත් මෙහිදී ඔවුන් අවධාරණය කර තිබෙනවා ෴


මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ගෙල වැලලාගෙන මියගොස් සිටියදී හමුවෙයි

(31.05.2023 – 15:49 +0530 – hirunews.lk/sinhala)

මීගමුව ප්‍රදේශීය ලේකම් ‘අයේෂ් පෙරේරා’ ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිරුර ඔහුගේ නිල නිවස තුළ තිබියදි සොයාගත්තේ අද (31) පෙරවරුවේයි.

මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතා සිය දිවි හානිකරගෙන ඇති බව මුලින්ම දැක ඇත්තේ ඔහුගේ රියදුරායි.

සිරිත් පරිදි ප්‍රාදේශිය ලේකම්වරයාව කාර්යාලයට රැගෙන යෑම සඳහා පැමිණි රියදුරු, ගෙළ වැළලාගෙන සිටි ලේකම්වරයා දැක තිබු අතර, ඒ පිළිබදව අදාළ පර්ශ්වයන් දැනුවත් කර තිබුණා.

ඒ අනුව පොලීසිය අද (31) පෙරවරුවේ ප්‍රාදේශීය ලේකම්වරයා ගේ නිල නිවස වෙත පැමිණියා.

ඒහිදි දැකගත හැකි වුණේ ප්‍රාදේශිය ලේකම්වරයා සිය නිල නිවසේ බාල්කයට දැමු ළණුවක් ආධාරයෙන් ගෙළ වැළලාගෙන සිටි අයුරුයි.

පසුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලට රැගෙන ගියා.

ඒහිදි කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇත්තේ මරණයට හේතුව ගෙළ වැළලාගැනීමක් බවයි.

ගෙළ වැළලාගැනීමට පෙර තම රියදුරුට ලියන ලද ලිපියකින් ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත්තේ කම්පනය දරාගත නොහැකිව මෙම තීරණය ගත් බවයි.

තමන් සතු මුදල් සහ බැංකු කාඩ් පත් තම මස්සිනාට ලබාදෙන ලෙසද ඔහු එම ලිපියෙන් දන්වා තිබෙනවා.

අයේෂ් පෙරේරාගේ බිරිද දරු ප්‍රසූතියකට සූදානම්ව සිටි නමුත් මීට සති කිහිපකට පෙර එම බිළිඳා නොසිතු ලෙස මියගොස් තිබුණා.

බිළිඳාගේ මියයෑමත් සමඟ අයේෂ් පෙරේරා මහතාගේ බිරිඳ ද දැඩි කම්පනයට පත්ව ඇති අතර, ඇය මේ වන විට රාගම පුනරුත්ථාපන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පොලීසිය පැවසුවේ මෙම සිද්ධීන් හේතුවෙන් අයේෂ් පෙරේරා මහතාද දැඩි කම්පනයකට පත්ව සිටි බව දැනට කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වි ඇති බවයි ෴


දියණිය පොලී මුදලාලිට විකුණූ පියා අත්අඩංගුවට

(31.05.2023 – 16:03 +0530 – hirunews.lk/sinhala)

බූරුවා ගැසීමට ඇබ්බැහි වූ පියෙක් සූදූ ක්‍රීඩා කිරීම සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් තම වැඩිමහල් දියණිය, මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ මුදල් පොලියට ලබාදෙන පුද්ගලයා රහසිගතව සිසුවියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඇයගේ පුංචි අම්මාට හසුවීම හේතුවෙන්.

පොලිසිය සිදුකළ විමර්ශනවල දී හෙළිවී ඇත්තේ වසර දෙකකට (2) පෙර සිය මාමා ද ඇයව දූෂණය කර ඇති බවයි.

සැකකාර පියා ඊයේ (30) අත්අඩංගුවට ගැනීමෙන් පසු දැරිය දුෂණය කළ බව කියන ඇයගේ මාමා සහ පොලීකරුවා ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

අගලවත්ත පනාදඬුකන්ද ප්‍රදේශයේ නිවසක දීර්ඝ කාලයක සිට රහසිගතව සූදු පොළක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම සුදු පොළට මුදල් පොලියට ලබාදීම සඳහා පොලීකරුවා වරින් වර පැමිණ තිබෙනවා.

අදාළ පුද්ගලයා කලවාන ප්‍රදේශයේ පදිංචි 38 හැරිදි විවාහක පුද්ගලයෙක්.

සැකකාර පියා ද බූරුවා ගැසීමට මෙම පුද්ගලයාගෙන් වරින් වර මුදල් ලබාගෙන ඇති අතර එලෙස මුදල් ලබාගැනීම සඳහා මෙම පුද්ගලයා සමඟ ඇසුරක් පවත්වන ලෙසට වැඩිමහල් දියණියට උපදෙස් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සැකකාර පොලිකරුවා විසින් නිවසට පැමිණ සහ දුරකථන මාර්ගයෙන් අදාළ සිසුවිය සම්බන්ධ කරගෙන 2022 වසරේ සිට මේ වන තෙක් වසරක් පුරා විවිධ ස්ථානවලට ගෙන ගොස් මෙම දැරිය දූෂණය කර ඇති බවයි.

සිසුවිය සම්බන්ධ කර ගැනීම සඳහා සැකකාර පොලිකරුවා විසින් හොර රහසේ සිසුවියට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවත් එය සිසුවියගේ පුංචි අම්මාට සහ බාප්පාට හසු වී දුරකථනය පොලොවේ ගසා ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකදී මෙම රහස් සියල්ල හෙළිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කළ විමර්ශනවලට අනුව මීට වසර දෙකකට (2) පමණ පෙර 2021 වසරේදි සිසුවියගේ මාමා කෙනෙකු වන විවාහක පුද්ගලයෙකු බිමතින් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක පැමිණ සිසුවියට බරපතල ලිංගික අපයෝජනයක් කර ඇති බවට ද හෙළි වී තිබෙනවා.

සිසුවිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර පියා අද (31) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ෴


ජනාධිපතිගෙන් හෙට (01) විශේෂ ප්‍රකාශයක්

(31.05.2023 – 16:18 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (01) රාත්‍රී 8 ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළේ ඉදිරි පියවරන් සම්බන්ධයෙන් එහිදී ඔහු විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

තවද මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව පැහැදිලි අවබෝධයක් මහජනතාව වෙත ලබාගත හැකි බවත් අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴


උද්ධමන අනුපාතය මැයි මාසයේදී පහළට

(31.05.2023 – 16:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 මැයි මාසයේදී 25.2% දක්වා අඩු වී ඇති අතර එය අප්‍රේල් මාසයේ 35.3% ට සාපේක්ෂව අඩු වී තිබෙනවා.

ආහාර උද්ධමනය ද මැයි මාසයේදී පහත වැටුණු අතර අප්‍රේල් මාසයේදී 30.6% සිට 21.5% දක්වා පහත වැටී තිබුණි.

මේ අතර ආහාර නොවන උද්ධමනය අප්‍රේල් මාසයේදී 37.6% සිට මැයි මාසයේදී 27% දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ෴


60 සම්පූර්ණ වූ විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම වැළැක්වීමට අදාළ නියෝගයක් හෙට (01)

(31.05.2023 – 16:26 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කර ඇති තාවකාලික අතුරු නියෝගය, පෙත්සම් විභාගය අවසන් වන තුරු දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය හෙට(01) ලබාදීමට අභියාචනාධිකරණය තීරණය කළා.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් විනිසුරු මඩුල්ල අද රැස්වූ අවස්ථාවේදීයි.

විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා ෴


පිල්ලෑව දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට

(31.05.2023 – 17:10 +0530 – hirunews.lk/sinhala)

පිල්ලෑව දේවාලයේ ප්‍රධාන කපුවා හොරොයින් සමඟ බොරලැස්ගමුව පොලිසිය විසින් අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘වේරහැර වත්තේ සඳාගේ මත්ද්‍රව්‍ය තිප්පොලේ’ සිටිය දී ඔහුව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වී ඇත්තේ ෴


පොලිස් ස්ථානයේ ජීප් රථය සූරා අලහාභානි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක

(31.05.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

පොලිස් ස්ථානයේ ජීප් රථය සූරා අලහාභානි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තනතුර අතහැර ගොස් සිටින අයෙකු බවට හෙළිවී ඇති බව පොලිසිය පවසනවා ෴


පොසොන් වැඩසටහනට ප්‍රතිපාදන නොමැති බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ජනාධිපති මාධ්‍ය ඒකකය

(31.05.2023 – 17:27 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර පොසොන් වැඩසටහනට ප්‍රතිපාදන නොමැති බවට විවිධ පාර්ශව කරන චෝදනා රජය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර සිටිනවා.

අමාත්‍යාංශ දෙකක් (2), එක් (1) දෙපාර්තමේන්තුවක් සඳහා රුපියල් මිලියන 28.8 ක් දැනටමත් ලබා දී ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වූයේ.

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ 2019 වසරෙන් පසු පොසොන් මිහින්තලා පෙරහැර සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයෙන් වැඩිම ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ මේ වසරේදී බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *