කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රෙෂර් බලන්නේ සිකියුරිටි කතක්

කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රෙෂර් බලන්නේ සිකියුරිටි කතක්


කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රෙෂර් බලන්නේ සිකියුරිටි කතක්

(30.05.2023 – 18:19 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සායනික රෝගීන්ගේ රුධිර පීඩනය පරීක්‍ෂාවට රෝහලේ ආරක්‍ෂක සේවයේ යෙදී සිටින කාන්තාවක් යොදවා සිටින බවට පුවතක් වාර්තා වී තිබෙනවා.

රජයේ රෝහල්වලට නියමිත දිනවල වෛද්‍ය සායන සඳහා සහභාගි වන බාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) පරීක්‍ෂා කිරීම වගකිව යුතු රෝග විනිශ්චයක්.

නමුත් පසුගිය 25 දින සායනික රෝග විනිශ්චය සඳහා පැමිණි කාන්තාවකගේ රුධිර පීඩන පරීක්‍ෂාව ලක් කර ඇත්තේ රෝහලේ ආරක්‍ෂක සේවයේ යෙදී සිටින කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

රෝගියාගේ රුධිර පීඩනය මත නියමිත වෛද්‍යවරයා රෝග විනිශ්චය කර රෝගියාට ඖෂධ නිකුත් කරන නමුත් මෙම රෝහල තුළ සිදුව ඇත්තේ ආරක්‍ෂක සේවයේ යෙදී සිටින කාන්තාවක් එකී රාජකාරිය සිදු කිරීමයි ෴


ශිෂ්‍යත්වය අසමත් වූ සිසුන් 146 ක් නැවත සමීක්ෂණයේදී සමත්

(30.05.2023 – 19:18 +0530 – hirunews.lk/sinhala)

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අබිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20,334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4,823 දෙනකු වශයෙන් සිසුන් 25,157 දෙනකු ඉල්ලුම් කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් නැවත සමීක්ෂණයේදී පරීක්ෂකවරුන් දෙදනකුගේ (2) පරීක්ෂාවට ලක්කළ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ ෴


‘මුතුරාජා’ හස්තියා වසර 20 කට පසු නැවතත් තායිලන්තයට

(30.05.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

විසි (20) වසරකට පෙර තායිලන්ත රජයෙන් මෙරටට පරිත්‍යාග කළ ‘සක්සුරින්’ හෙවත් ‘මුතුරාජා’ හස්තියා රැකබලා ගැනීමට ලංකා රජය අපොහොසත් වීම සහ එම හස්තියාගේ ඉදිරි පාදයක් නැමීමට නොහැකි වීම මෙන්ම පසුපස පාදයක පවතින තුවාල නිසා ‘මුතුරාජා’ යළි සිය රට ගෙන්වා ගැනීමට තායිලන්ත රජය තීරණය කර තිබෙනවා.

මෙම හස්තියාව නිසියාකාරයකින් රැකබලා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව රැසක් වගකීම් පැහැර හැර ඇති බවට සත්ත්ව සංවිධාන ද චෝදනා කරනු ලබනවා.

පෙනුමෙන් ඉතාම තේජාන්විත භාවයක් ඉසිලූ මුතුරාජා හස්තියා වසර ගණනාවක් මෙරට පෙරහර අවස්ථාවන්ට එක්කර තිබූ අතර මහනුවර ඓතිහාසික නාථ දේවාලයේ පෙරහරටද වසර කිහිපයකට පෙර දායකත්වය සපයා තිබෙනවා.

කෙසේ වෙතත් රැකබලා ගැනීමේදී දක්වා ඇති නොසැලකිලිමත්කම මෙන්ම අවස්ථා ගණනාවකදී රෝගාබාධවලට මුහුණ දීමට එම හස්තියාට සිදු වූ අතර මෙම හස්තියා මුහුණදී ඇති තත්වය සම්බන්ධයෙන් පසුගිය සඳුදා පළමුවරට හිරු ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ අනාවරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම හස්තියා නැවත තායිලන්තයට යැවීම යහපත් තත්ත්වයක් නොවන බවයි ‘ජස්ටිස් ෆෝ ඇනිමල් ඇන්ඩ් නේචර්’ සංවිධානයේ ලේකම් රේණුකා ඩී ප්‍රකාශ කර සිටින්නේ.

හස්තියා වෙනුවෙන්ම සකස් කළ ආරක්ෂිත කූඩුවක් මගින් මුතුරාජා හස්තියා එළැඹෙන ජුලි 01 වනදා විශේෂ ගුවන් යානයකින් යළි රැගෙන යාමට තායිලන්ත රජය මේ වන විටත් තීරණය කර අවසන්.

පශු වෛද්‍යවරු තුන්දෙනෙකු (3), ඇත්ගොව්වෙකු (1) සහ සහායකයින් දෙදෙනෙකු (2) ද තායිලන්තයේ සිට මේ සඳහාම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිවූ මුතු රාජා හස්තියා මුහුණදුන් ඉරණම රටේ අනාගතයටද බලපෑම් කරන බවයි මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙන්නේ ෴


විදේශ මුදල් හුවමාරු කිරීමේ ජාවාරමක් ගැන CIA අනාවරණයක්

(30.05.2023 – 20:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ විදේශ මුදල් මිල දී ගැනීම, අලෙවි කිරීම සහ හුවමාරු කිරීම සඳහා අවසරය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත බලපත්‍රලාභී බැංකු සහ බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණයි.

එවැනි නීතිමය රාමුවක් තිබියදී රටට එන විදෙස් මුදල් රටේ ප්‍රධානම ගුවන්තොටුපොළේදී හොර පාරෙන් තමන් අතට ගන්නා ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව අනාවරණ කරගැනීමට ‘හිරු CIA’ කණ්ඩායම සමත් වී තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විදේශ මුදල් හුවමාරු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ‘හිරු CIA’ කණ්ඩායමට ලද තොරතුරක් මත අප ලහිලහියේ ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම, සංචාර සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙම ජාවාරම්කරුවන්ගෙන් එල්ලවන්නේ දැඩි බලපෑමක්.

ඒ, ඔවුන් සතු විදේශ මුදල් ජාවාරම්කරුවන් වෙත ලබාගැනීම සඳහායි.

රාජ්‍ය සහ පෞද්ගලික බලපත්‍රලාභී බැංකු සහ මූල්‍ය ආයතන ගුවන්තොටුපොළේ ස්ථාපනය කර තිබෙන්නේ, මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුගේ මුදල් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව සපුරාලීම සඳහායි.

එහෙත්, කටුනායක ගුවන්තොටුපොළේ නිරන්තරයෙන් සැරිසරන මෙම ජාවාරම්කරුවන්, බැංකු සහ මුල්‍ය ආයතන පද්ධතියට මෙන්ම රටේ ආර්ථිකයට ද අභියෝග කරමින් ජාතික ආර්ථිකයට එක්විය යුතු විදේශ මුදල් ඔවුන් සතු කර ගන්නේ, කිසිදු හිරිකිතයකින් තොරවයි.

මෙය අද ඊයේ ආරම්භ වූවක් නොවන බවට එහි සේවය කරන ඇතැම් නිලධාරීන් සහ ජාවාරම්කරුවන් ඉතා කුළුපග මිතුරන් සේ ඇසුරු කරන ආකාරයෙන් පසක් කර තිබෙනවා.

රට ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක, ජාතික ආර්ථිකයට ශක්තියක් දීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා වෙනුවට, කටුනායක ගුවන්තොටුපොළේ ඇතැම් නිලධාරීන්ද මෙම ජාවාරම්කරුවන්ට උඩගෙඩි දීම විමතියට කරුණක්.

ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිල දී ගැනීම, අලෙවි කිරීම සහ හුවමාරු කිරීම සඳහා අවසරය තිබෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත බලපත්‍රලාභී බැංකු සහ බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණයි.

යම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙනත් යම් ව්‍යාපාරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් ගනුදෙනුවල නිරත වන්නේ නම්, එය 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නීතිවිරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නම් කර තිබෙනවා ෴


යාපනයේ චුණ්ඩික්කුලි ප්‍රදේශයේ ගණිකා නිවාසයක් වටලයි

(30.05.2023 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් කණ්ඩායමක් සමග යාපනයේ චුණ්ඩික්කුලි ප්‍රදේශයේ කාලයක සිට පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු (2) හා ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයාව යාපනය පොලීසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුළියට ගත් නිවසක නවාතැන් ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස හදුන්වමින් මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ යාපනයේ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මීට මාසයකට පමණ ඉහතදී කොළඹ සිට කාන්තාවන් දස (10) දෙනෙකු පමණ මෙම ගණිකා නිවාසයට පැමිණ යාපනයට පැමිණෙන පුද්ගලයින්ට ගණිකා සේවය ලබා දුන් බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

අත්අඩංගුවට පත්ව ඇති කාන්තාවන් දෙදෙනා (2) කොළඹ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කාන්තාවන් දෙදෙනා (2) හා ගණිකා නිවාසයේ හිමිකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබෙනවා ෴


ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානයේ දුරකතන මාර්ගවල බිඳවැටීමක්

(30.05.2023 – 20:26 +0530 – hirunews.lk/sinhala)

තාක්ෂණික දෝෂයක් නිසා, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානයේ දුරකතන මාර්ගවල බිඳවැටීමක් සිදුව තිබෙනවා.

එය යථා තත්ත්වයට පත්කර ගන්නා තුරු හදිසි අවස්ථාවක දී පහත දුරකථන අංක ඇමතිය හැකි බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

011 268 6087 , 011 268 6863 ෴


රට වනසන අලුත්ම කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්

(30.05.2023 – 20:03 +0530 – sinhala.adaderana.lk)

මුදලට යටවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හරහා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රට තුළ නැවතත් ගැටුම් ඇතිකිරීමට උත්සාහ ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා :

“ආගමික අන්තවාදය පැතිරවීම පිළිබඳව පහුගිය කාලයේ ක්‍රිකට් මණ්ඩලය සම්බන්ධව කරපු වාර්තාවලිනුත් අපිට කරුණු තහවුරු වෙලා තියෙනවා. තවත් සමහර අය තමන්ගේ ඒ ආගමික මතවාද වෙනුවෙන් අනිකුත් ආගම්වලට අගෞරව කරමින් ඒවා විනාශ කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් විදේශීය බලපෑම් විදේශීය වියදම් කිරීම් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න මුදලට යටවෙච්ච ශ්‍රී ලාංකිකයෝ කණ්ඩායමක් සිටින බවත් අපි දන්නවා.”

මාධ්‍යවේදියා – දැන් මේ සිද්ධි ජාලයම එක දිගට එන්නේ. යම් කිසි දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් බලයට ගේන්න ප්‍රයත්නයක් දරනවා කියලා සමාජයේ මතයක් තියෙනවා?

“ඒක ගැන මට නිශ්චිතව උත්තරයක් දෙන්න බෑ. නමුත් දැනගන්න තියෙන විදියට මේ සංවිධානාත්මකව කලක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් ආපු දෙයක් බවට තොරතුරු තියෙනවා. එතකොට ඒ ඒ කණ්ඩායම්වලට දැනට යම් යම් තොරතුරු තියෙනවා විදේශ සංවිධානවලින් විශාල වශයෙන් මුදල් ලැබිලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. අපේ සමහර භික්ෂුන් වහන්සේලාටත් මුදල් ගෙවලා බුදු දහම අපකීර්තියට පත්කරන්න කටයුතු කරන්න වියදම් කරලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා.”

“මේ රට විනාශ කිරීමට පහසුම ක්‍රමය තමයි බෞද්ධ ආගමට අපහාස කරලා භික්ෂූන් වහන්සේලාගේ ගෞරවය නැතිකරලා මේ රට අස්ථාවර කිරීම, ඒ සංස්කෘතික විනාශය සිදුකිරීම. ඒ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් තමයි ඔය ඊයේ පෙරේදා විවිධ අදහස් පළ කරමින් රටතුළ නැවතත් ගැටුම් ඇති කරන්න උත්සාහ කරන්නේ.”

+


‘අද දෙරණ උකුස්සා’ට හසුවූ මහා පරිමාණ පස් ජාවාරම

(30.05.2023 – 19:24 +0530 – sinhala.adaderana.lk)

මහව, මඩගල්ල ප්‍රදේශයේ රජයේ ඉඩමක සිදුකරගෙන ගිය මහා පරිමාණ පස් ජාවාරමක් නීතියේ රැහැනට හසුකරදීමට ‘අද දෙරණ උකුස්සා’ට හැකිවුණි.

‘අද දෙරණ උකුස්සා’ගේ අද (30) අනාවරණය ඒ පිළිබඳවය.

මහව, මඩගල්ල ප්‍රදේශයේ වැවක් ඉදිකරන මුවාවෙන් පිරිසක් විසින් මහා පරිමාණයෙන් සිදුකරන පස් ජාවාරමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු වාර්තාවිය.

ඒ අනුව, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් සමග එක්ව එම ජවාරම පිළිබඳව උකුස්සා සොයා බැලීමක් සිදුකළේය.

අප එහි යනවිටත් ස්කැවේටර් යන්ත්‍රයක් යොදාගනිමින් එහි පස්කැණීම් සිදුකරමින් සිටි අයුරු දැකගන්නට හැකිවිය.

ඒ අතරතුර පස් රැගත් ලොරියක් එම ස්ථානයෙන් පිටත් වූ අතර එහිදී ක්‍රියාත්මක වූ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් එම ලොරිය සිය භාරයට ගැනීමට කටයුතු කළේය.

එහිදී අනාවරණය වූයේ මෙලෙස පස් ප්‍රවාහනයට කිසිදු බලපත්‍රයක් හෝ නීත්‍යානුකූල අවසරයක් නොමැති බවය.

අනතුරුව ‘අද දෙරණ උකුස්සා’ පස්කැපීම් සිදුකරන ස්ථානයට ගිය අතර, එහිදී දැකගත හැකිවුණේ විශාල භුමි ප්‍රමාණයක පස් කැපීම සිදුකර ඇති ආකාරයි.

වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වුණේ, මෙම ඉඩම රජය සතු ඉඩමක් බවය.

එමෙන්ම මෙහි පස් කැපීම සඳහා කිසිදු බලපත්‍රයක් නොමැති බවත් වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී තහවුරු වුණි.

අනතුරුව ඒ පිළිබඳව පස් කැපීම සිදුකරන ස්ථානයට කිලෝමීටර 7 ක් පමණ දුරකින් පිහිටි මහව පොලීසියට දැනුම් දුන් අතර, එලෙස දැනුම්දී පැය 2 ක පමණ කාලයකට පසු එහි පැමිණි පොලීසිය පස්කැපීම සඳහා යොදාගත් ස්කැවේටර් යන්ත්‍රය සහ ලොරි රථය සිය භාරයට ගත්තේ ඒවායේ රියදුරන්ද සමගිනි.

+


විගණන නිලධාරියෙකු ව්‍යාජ නෝට්ටු තොගයක් සමඟ කොටුවෙයි

(30.05.2023 – 18:21 +0530 – sinhala.adaderana.lk)

රුපියල් දහසේ (1000) ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැල්ලව ප්‍රදේශයේ වෙළෙඳසැලකින් ව්‍යාජ දහසේ නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිළදීගැනීමට යාමේදී ව්‍යාපාරිකයාට ඇතිවූ සැකයක් මත කරන ලද පැමිණිල්ලකින් පසුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් පසුව සැකකරු වෙසෙන කුඹුක්වැව සිංහරාජ ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී තවත් ව්‍යාජ නෝට්ටු 16 ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *