පෙම්වතාට පහර දුන් පෙම්වතියගේ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට

පෙම්වතාට පහර දුන් පෙම්වතියගේ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට


පෙම්වතාට පහර දුන් පෙම්වතියගේ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට

(30.05.2023 – 06:50 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ කතා කරමින් සිටි පෙම් යුවළක පෙම්වතා නිවෙසට රැගෙන ගොස් පෙම්වතියගේ පියා ඇතුළු පිරිසක් විසින් පහර දී තිබෙනවා.

මෙම පෙම් යුවළේ පෙම්වතාගේ වයස අපුරුදු 17 ක් වන අතර පෙම්වතියගේ වයස අවුරුදු 18 ක්.

පෙරේදා (28) කටුගස්තොට නගරයට ආසන්න වීදියක මෙම යොවුන් පෙම් යුවළ කතා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ ඇති තරුණියගේ පියා සහ ඔහුගේ මිතුරකු මෙම 17 හැවිරිදි පෙම්වතාට පහර දී පසුව ඔහුව කටුගස්තොට ප්‍රදේශයේ නිවෙසට රැගෙන ගොස් නිවසේදී ද පියා, මව සහ පියාගේ මිතුරා එක්ව පහර දී සිසුවාගේ නිවෙසට රැගෙන ගොස් භාර දී තිබෙනවා.

සිය පුතාට පහර දී ඇති බව දැන ගැනීමෙන් පසුව ඔහුගේ මවුපියන් ඔහු පේරාදෙණිය රෝහලට ඇතුළු කිරිමෙන් පසුව කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය පෙම්විතියගේ පියා, මව සහ පියාගේ මිතුරා ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිදෙනා (3) ඊයේ (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා සමඟ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක තිලකරත්න, කාඋපොප තක්ෂිලා යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්ෂණ සිදු කළ බව පොලිසිය සඳහන් කරනවා ෴


යාපනය බන්ධනාගාරයේ වහලයට නැගී උපවාස කළ සිරකරුවා විජලනයට පත්වෙයි

(30.05.2023 – 07:02 +0530 – hirunews.lk/sinhala)

යාපනය බන්ධනාගාරයේ වහලයක් මතට නැගී උපවාසයක නිරත වූ පුද්ගලයෙකු අධික අව් රශ්මිය හේතුවෙන් විජලනයට පත් වීමත් සමගම ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් වහලයෙන් බස්සවා 28 දා බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මාතර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා යාපනය බන්ධනාගාරයට සිරකරුවකු ලෙස එක් කිරීමත් සමගම ඔහුට එහි සිටීමට නොහැකි බව ප්‍රකාශ කොට වෙනත් බන්ධනාගාරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාරයේ වහලය මතට නැගී උපවාසයක නිරත වුණු බවයි අප වාර්තාකරු පවසන්නේ.

මේ දිනවල අධික රශ්මිය නිසා බන්ධනාගාරයේ වහලය රත්වීම හේතුවෙන් දහවල් කාලයේදී සිරකරුවා විජලනයට පත් වී විඩාවට පත්වීම නිසා බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව වහලයෙන් බිමට බස්සවා රෝහල් ගත කොට තිබෙනවා ෴


කළුතර ශිෂ්‍යයා­වක් අතුරුදන්

(30.05.2023 – 07:21 +0530 – hirunews.lk/sinhala)

මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංග්‍රීසි සහ­තික පත්‍ර පාඨ­මා­ලා­වක් හදා­රන 21 හැවි­රිදි ශිෂ්‍යයා­වක් අතු­රු­ද­න්වී­මක් සම්බන්ධ­යෙන් මොර­ටුව පොලි­සිය විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිසු­විය කළු­තර, ගම­ගොඩ, කොහු­ලානේ පදිං­චි­කා­රි­යක් බවයි පොලිසිය පවසන්නේ.

ඇගේ මව පෙරේදා (28) සවස මොර­ටුව පොලි­සි­යට පැමිණ ඇය අතු­රු­දන් බවට පැමි­ණිල්ල කර තිබෙනවා.

ඇය පොලි­සි­යට පවසා ඇත්තේ සිය දිය­ණිය පෙරේදා (28) උදෑ­සන ඉංග්‍රීසි පාඨ­මා­ල­වට සම්බන්ධ වීමට යන බව පවසා නිව­සින් පිටත්ව ගිය බවත් සවස නැවත නිව­සට නොපැ­මිණි බවයි.

ඇගේ ජංගම දුර­ක­ත­න­යද අක්‍රි­යව පව­තින බව ද මව පොලි­සි­යට පවසා තිබෙනවා.

එහිදී පොලිසිය විසින් අතු­රු­දන් වූ තරු­ණි­යගේ මව විසින් කළ පැමි­ණි­ල්ලට අනුව කළ සොයා බැලී­මේදී තරු­ණිය පෙරේදා (28) එම පාඨ­මා­ලා­වට සහ­භා­ගි වී නැති බව අනා­ව­ර­ණය වී තිබෙනවා.

එබැ­වින් ජංගම දුර­ක­තන ජාල විශ්ලේ­ෂ­ණ­යක් කර­මින් ඇය සම්බ­න්ධ­කම් පැවැත්වූ පුද්ග­ල­යන් හඳු­නා­ගෙන ඉදිරි විමර්ශන පව­ත්වන බව මොර­ටුව පොලි­සිය සඳ­හන් කරයි ෴


ගිනි අවියක් සහ හෙරොයින් සමඟ ඇල්ලූ සැකකරු ‍රිමාන්ඩ්

(30.05.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ පුද්ගලයකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ඊයේ (29) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජුනි 06 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අහුංගල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


වයඹ පළාතේ ගවයින් මස් පිණිස යොදා ගැනීමත් තහනම්

(30.05.2023 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ගවයින් අතර පැතිරයන සමේ ගැටිති රෝගය හේතුවෙන් වයඹ පළාතේ ගවයින් මස් පිණිස යොදා ගැනීම තහනම් කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.සී.එස්. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, තවදුරටත් පළාත තුළ සහ පළාතෙන් පිටත ගවයින් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි.

සමේ ගැටිති රෝගය වැලදුනු ගවයින් හදුනාගෙන ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴


ඇමති නිවසේ සිටි පොලිස් ආරක්ෂක නිලධාරියාට පහරදිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා (2) යලි රිමාන්ඩ්

(30.05.2023 – 08:34 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවසේ පොලිස් ආරක්ෂකයෙකුට සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට පහරදිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙදෙනා (2) හෙට (31) දක්වා යළි රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා.

ඒ, ඔවුන් ඊයේ (29) මිනුවන්ගොඩ දිසා විනිසුරු හේශාන්ත ද මෙල් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මොවුන් දෙදෙනා (2) ඊයේ (29) හදුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් එය හෙට (31) දක්වා කල් දැමුණේ සාක්ෂිකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන්.

මිනුවන්ගොඩ – පන්සිල්ගොඩ ප්‍රදේශයේ පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගට අයත් ඉඩමක ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මුල් කරගනිමින් පසුගිය 25 වනදා මෙම ගැටුම හටගෙන තිබූණා.

ඊයේ (29) දිසා විනිසුරුවරයා දැනුම් දුන්නේ හෙට (31) නඩුව කැඳවන අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී නොසිටියහොත් හදුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන බවයි ෴


නීතිවිරෝධී අන්දමින් කැනඩාවට පනින්න ගිය ශ්‍රී ලාංකිකයන් දස (10) දෙනෙකු නව දිල්ලියේ දී අත්අඩංගුවට

(30.05.2023 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ආගමන විගමන නිලධාරීන් රවටා කැනඩාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දස (10) දෙනෙකු නව දිල්ලි ගුවන් තොටුපළේ දී ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ශ්‍රී ලාංකිකයා චෙන්නායි නුවර පදිංචිකරුවෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් අනෙක් 9 දෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔවුන් පොලිසියට රැගෙන ගොස් මේ වන විට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරනවා ෴


මුදලට ඔට්ටු සෙල්ලම් කළ කාන්තාවක් ඇතුළු පිරිසක් දැලේ

(30.05.2023 – 08:48 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයන් පිරිසක් අරණායක කීරපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරණායක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කරන ලද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවන් 11 ක් සමඟ සැකකාරියක් (1) ද සිටින බවයි පොලිසිය පවසන්නේ.

සැකකාරිය වයස අවුරුදු 27 ක අරණායක ප්‍රදේශයේ පදිංචිකාරියක්. අනෙක් සැකකරුවන් වයස අවුරුදු 19 ත් 57 අතර පසුවෙන්නන් බව වාර්තා වෙනවා.

සැකකරුවන් සියලු දෙනා අද (30) මාවතගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


මහනුවර රෝහලේ ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රය අක්‍රීය වීමෙන් රෝගී ජීවිත අනතුරේ

(30.05.2023 – 08:53 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටරකරණ ඒකකයේ යන්ත්‍ර දෙකෙන් (2) එකක් (1) අක්‍රියවී තිබෙනවා. අනෙක් යන්ත්‍රය ද බිඳවැටීමේ අවධානමක් මතුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

ඉන් පළමු යන්ත්‍රය ඉකුත් 6 වනදා සිට බිඳවැටුණු අතර නව යන්ත්‍රයක් ලබාදෙන ලෙස මහනුවර ජාතික රොහලේ බළධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති නමුත් ඊට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ ෴


මස්, මාළු, එළවළු, පොල් මිල සීග්‍රයෙන් ඉහලට

(30.05.2023 – 09:03 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ මේ වනවිට කුකුළු‍ මස්, මාළු, බිත්තර, එළවළු සහ පොල් මිල සීග්‍රයෙන් ඉහල යමින් පවතින බව පාරිභෝගිකයන් පවසනවා.

ඒ අනුව රුපියල් 1,000 ත් 1,200 ත් අතර මිලකට අලෙවි වූ කුකුළු‍ මස් කිලෝවක මිල රුපියල් 1,500 ත් 1,600 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වෙළඳපොළේ මාළු මිලද සීග්‍රයෙන් ඉහල යමින් පවතිනවා. පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කෙලවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1,900 දක්වාත්, බලයා කිලෝවක් රුපියල් 1,400 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.

මීට අමතරව තලපත් කිලෝවක් රුපියල් 2,700 කටත්, සාලයා කිලෝවක් රුපියල් 400 කටත් අලෙවි වනවා.

මෙම මිල ගණන්වලට සාපේක්ෂව සිල්ලර වෙළඳපොළේ මාළු මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම බිත්තර සඳහා රජය පාලන මිලක් පනවනු ලැබුවත් සිල්ලර වෙළඳපොළේ බිත්තරයක් තවදුරටත් රුපියල් 53 ත් 55 ත් අතර මිලකට අළෙවි වනවා.

මේ අතර සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ කුකළු මස්, මාළු සහ බිත්තර වලට අමතරව පොල් ගෙඩියක මිල ද රුපියල් 140 දක්වා ඉහළ ගොස් ඇති බවයි ෴


ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීමේ ප්‍රමාදයක්

(30.05.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාම නිළධාරින්ගේ හිඟය හේතුවෙන් මේ වසරේ (2023) ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීම ප්‍රමාද වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මේ වනවිට 2023 ඡන්ද නාමලේඛන සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඊට අදාල ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වීමට නියමිතව ඇත්තේ ජූනි 16 වනදායි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඡන්ද නාමලේඛන නිවෙස් වෙත ලැබීම ප්‍රමාද වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඡන්ද නාමලේඛනය නිවෙස් වෙත ලබාදීමට නොහැකි වී ඇත්තේ මැතිවරණ කොමිසමේ ප්‍රමාදයක් නිසා බවයි ෴


මෙරට ප්‍රධාන වෙළඳ භාණ්ඩ සන්නාම අවභාවිතා කිරීමේ ජාවාරමක්

(30.05.2023 – 09:23 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පෙළේ ආයතනවල සන්නාම අවභාවිතා කරමින් විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

මෙම ජාවාරම්කරුවන් රූපලාවන්‍ය ආලේපන වර්ග, චොකලට්, බිස්කට් ඇතුළු නිෂ්පාදන මෙරටට ව්‍යාජ ලෙස ගෙන්වන බවයි ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් පාරිභෝගික අධිකාරියට පැමිණිළි කර ඇත්තේ.

මේ හේතුවෙන් තම සමාගම් මෙන්ම පාර්භෝගික ජනතාව ද අනතුරට ලක්වන බවද ඔවුන් පෙන්වා දෙනවා ෴


කුලී නිවෙසක පුද්ගලයෙක් සැක කටයුතු ලෙස මිය ගිහින්

(30.05.2023 – 09:25 +0530 – hirunews.lk/sinhala)

පානදුර දකුණ පහන්ගම ප්‍රදේශයේ නිවෙසක ඉහළ මහලේ කුලී පදනම මත රැඳී සිටි පුද්ගලයකු ඊයේ (29) මියගොස් තිබෙනවා.

පානදුර දකුණ පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමේදී මෙම මරණය සැක සහිත බව පෙනී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක උතුරු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම මරණය දින කිහිපයකට පෙර සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරන අතර මියගිය අයගේ මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *