ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා චීන රජයෙන් වරෙන්තු ලැබූවෙකු බවට හෙළිවෙයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා චීන රජයෙන් වරෙන්තු ලැබූවෙකු බවට හෙළිවෙයි


ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා චීන රජයෙන් වරෙන්තු ලැබූවෙකු බවට හෙළිවෙයි

(29.05.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත පසුගියදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා චීන රජයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, තමන් චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ චීන ජාතිකයා අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සම අද (29) විභාගයට ගත් අවස්ථාවේදියි.

එමඟින් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ තමන් රැඳවුම් භාරයෙන් මුදාහැර ඩුබායි රාජ්‍යයට පිටුවහල් කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් සිය සේවාදායකයා ගොනුකළ පෙත්සම ඉල්ලා අස් කරගන්නා බවයි චීන ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නා ෴


ස්ථානාධිපතිගේ නම විකුණා මුදල් ගැරූ පොලිස් පොඩ්ඩා ගැන විමර්ශනයක්

(29.05.2023 – 08:38 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ පොලිස් ස්ථානාධිපතිගේ නම අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධව පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තලාහේන ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමක දී මෙලෙස මුදල් ලබාගත් බව අනාවරණය වී ඇති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

එහිදී මෙම කොස්තාපල්වරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉදිකරමින් පවතින නිවසකට භාණ්ඩ ලබා ගැනීමට යැයි පවසා මෙලෙස මුදල් ලබා ගෙන ඇති බවත් පොලිස් කොස්තාපල්වරයා ඒ සම්බන්ධව විවිධ පාර්ශව වලින් මුදල් ලබා ගත් බවට පැමිණිලි රැසක් ද තිබෙන බවයි හිරු ප්‍රවෘත්ති අංශය වෙත උසස් පොලිස් නිලධාරියෙකු පැවසූවේ ෴


ඩොලරය පහළ යාමට අනුව ආනයනික භාණ්ඩ මිල අඩුවන්නේදැයි රජයේ අවධානය

(29.05.2023 – 09:43 +0530 – hirunews.lk/sinhala)

රුපියල ශක්තිමත්වීමට සාපේක්ෂව ආනයනික භාණ්ඩ මිල සංශෝධනය වීම නිසි ආකාරයෙන් සිදුවන්නේදැයි සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (28) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඩොලර් ගැටළුව සහ විදෙස් මුදල් සංචිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් අවස්ථා කිහිපයකදී භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවීමට රජය පියවර ගත්තා.

කෘෂිකාර්මික ධීවර හා කාර්මික ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක නියැලෙන්නන්ගේ ඉල්ලීම්වලට අනුව මේ වනවිටත් ඇතැම් සීමාවන් ඉවත් කර තිබෙනවා.

ආර්ථිකය ධනාත්මක දිශාවකට ගමන් කරන බැවින් විදෙස් සංචිතවලට බලපෑමක් නොවන පරිදි මහ බැංකුවේ නිර්නායකවලට අනුව තවදුරටත් ආනයන සීමා ලිහිල් කිරිම කෙරෙහි අවධානය යොමු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ෴


කොළඹ වරායෙන් එනසාල් තොගයක් සොරාගත් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(29.05.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය – සී අයි සී ටී පරිශ්‍රයේ රඳවා තිබූ බහලුමක් බිඳ රුපියල් විසි පන්ලක්ෂයකට (25,00,000) අධික එනසාල් පෙට්ටි 9 ක් සොරකම් කළ තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී සොරකම් කරන ලද එනසාල් පටවා තිබූ කන්ටේනරයක්ද ඊයේ (28) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අවුරුදු 35, 37 සහ 39 වයස්වල පසුවන සැකකරුවන් ඉපලෝගම, බණ්ඩාරගම සහ නිකදළුපොත ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴


ලෝක සිතියම ලකුණුකර අවුරුදු පහේ (5) ‘හර්ෂිත්’ ලෝක වාර්තාවක් තබයි

(29.05.2023 – 11:23 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ රටවල් 195 ක් එහි අගනුවර ද සමඟ මිනිත්තු 4 යි තප්පර 16 ක් වැනි කෙටි කාලයකින් ලෝක සිතියමක ලකුණු කර නුවරඑළියේ අවුරුදු 5 ක් වයසැති කලානේෂන් හර්ෂිත් දරුවා රටවල් 24 ක ක්‍රියාමත්මක වන ‘චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්’ හි ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විද්‍යාලයේ සෞම්‍ය ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා (25) මෙම ලෝක වර්තාව පිහිටුවීමට මෙම දරුවා සමත් වුණා.

තවමත් පෙරපාසල් අධ්‍යාපනය ලබන මෙම දරුවා මේ රටවල් සහ අගනුවර ඉංග්‍රීසි භාෂාවෙන් නම් කළා.

වසර 03 ක කාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ‘චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්’ ලෝක වාර්තා පොතෙහි නුවරඑළිය දිස්ත්‍රික් සීමාව හා නගර සීමාව තුළ වාර්තාවක් පිහිටුවූ පළමු පුද්ගලයා ලෙස ද වයස අවුරුදු 5 ක් වූ ‘කලානේෂන් හර්ෂිත්’ බවත් ‘චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්’ ආයතනයේ නිලධාරින් අනාවරණය කරා.

මෙහි දී ලෝක වාර්තාවක් පිහිටවූ කලානේෂන් හර්ෂිත් දරුවාට ඔහු විසින් පිහිටවනු ලැබූ ලෝක වාර්තාව සඳහා වන සහතිකය, සම්මානය හා පදක්කම පිරිනැමීම ‘චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්’ ජාත්‍යන්තර ආයතනය නියෝජනය කරමින් ඉන්දියාවේ සිට පැමිණි ප්‍රධාන සම්බන්ධීකාරක පෙරුමාල් නීලමේගම් මහතාගේ හා ශ්‍රී ලංකා ප්‍රධානි යෝගදාසන් ජූඩ් නිමලන් මහතා අතින් පිරිනැමිණ ෴


පණුවන් ගැසූ සහල් බෙදූ ග්‍රාම සේවකගේ හාල් ගබඩාවට සීල් තබයි

(29.05.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභීන්ට බෙදා දීම සදහා වවුනියාවේ කූමාංකුලම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට නිකුත් කරන ලද සහල් කිලෝ 2600 ක් මිනිස් ආහාරයට නුසුදුසු නිසා බෙදා දීම නවතා දමා ග්‍රාම නිලධාරිවරයාගේ සහල් ගබඩාවට සීල් තබා තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙලෙස ග්‍රාම නිලධාරිවරයාගේ සහල් ගබඩාවට සීල් තබා ඇත්තේ පසුගිය 27 වැනි දායි.

එමෙන්ම ජනතාවට බෙදා දී ඇති සහල් තොග ද නැවත එකතු කර ගන්නා ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ග්‍රාම නිලධාරීවරයාට හා සමෘද්ධි නිලධාරීයාට උපදෙස් දී තිබෙනවා.

සහල් ලබා ගත් පිරිසක් ඒවා ආහාරයට ගත නොහැකි බවට පැමිණිලි කර තිබූ බැවිනුයි මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. සිවරංජන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් පරීක්ෂා කිරීම්ට පියවට ගෙන ඇත්තේ.

එම සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු පණුවන් ගැසූ සහල් බව ඔවුනට පෙනී ගොස් තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඔවුන්ගේ නිර්දේශයන් වවුනියාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බා‍ර දී ඇත්තේ අදාළ කොන්ත්‍රාත්කරුට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සදහායි.

වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා ෴


ව්‍යාපාරිකයා මංකොල්ලකෑ තිදෙනෙකු (3) අත්අඩංගුවට

(29.05.2023 – 11:39 +0530 – hirunews.lk/sinhala)

සූදු සෙල්ලම් කිරීමට පැමිණි ව්‍යාපාරිකයකු ගේ මුදල් කොල්ලකෑ තිදෙනෙකු (3) ඊයේ (28) හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් තිදෙනා (3) ව්‍යාපාරිකයාට මුදලට සුදු ක්‍රීඩා කිරීමට පැමිණෙන ලෙස පිටිපන ප්‍රදේශයට ගෙන්වාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී එම ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයාගේ ගෙලට මන්නයක් තබා මරණ තර්ජන සිදු කර ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ නවයකට (9,00,000) ආසන්න මුදලක් කොල්ලකා පලාගොස් ඇති අතර පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා ෴


පාලන මිලට වැඩියෙන් සහල් සහ බිත්තර අලෙවි කළ වෙළෙඳුන් සොයා විශේෂ වැටලීම්

(29.05.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පාලන මිලට වැඩියෙන් සහල් සහ බිත්තර අලෙවිකළ වෙළෙඳුන් සොයා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක පාරිභෝගික අධිකාරිය විසින් අද (29) විශේෂ වැටලීම් සිදු කරනු ලැබුවා.

එහිදී වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳුන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරුණා.

මේ දිනවල වෙළෙඳපොළේ කීරි සම්බා සහල්වල හිඟයක් සහ පාලන මිලට වැඩියෙන් එම සහල් විකුණන බවට පාරිභෝගික අධිකාරියට විශාල වශයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය තලවතුගොඩ, හෝකන්දර, උඩහමුල්ල සහ මහරගම යන ප්‍රදේශවල අද (29) වැටලීම් සිදු කරනු ලැබුවා.

එහිදී වැඩි මිලට විකුණන ලැබූ සහල් අලෙවිය නතර කර පාලන මිලට විකිණීමට උපදෙස් ලබා දුන්නා.

එලෙසම වැඩි මිලට බිත්තර අලෙවිය සිදුකළ බිත්තර වෙළෙඳසලකටද නඩු පැවරීමට කටයුතු කෙරුණා ෴


X-Press පර්ල් සුන්බුන් වලින් රසායනික කාන්දුවක් නොමැති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි

(29.05.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

MV X-Press පර්ල් සුන්බුන් වලින් රසායනික කාන්දුවක් නොමැති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (28) සහ අද (29) එම ස්ථානය පරීක්ෂා කර තිබෙන බව සඳහන්.

එහි දී රසායනික ද්‍රව්‍යයක් හෝ තෙල් කාන්දුවක් අනාවරණය නොවූ බවට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ ෴


රුපියල තවත් ශක්තිමත් වෙයි

(29.05.2023 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (29) තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව, ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ 303.26 ක් ලෙසයි මහ බැංකු වාර්තාවල දැක්වුණේ.

එහි ගැණුම් මිල රුපියල් 289.89 ක් ලෙස සටහන් වී තිබෙනවා.

පසුගිය සිකුරාදා ඩොලරයක විකුණුම් මිල 308.54 ක් ලෙස සහ ඩොලරයක ගැණුම් මිල රුපියල් 295.62 ක් ලෙස සටහන් වී තිබුණා ෴


දුරකථන මිල පහත වැටෙන ලකුණු

(29.05.2023 – 15:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩ 843 ක ආනයන සීමාව ඉවත් කර තිබෙනවා.

භාන්ඩ ආනයනය කිරීමේ දී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පත්තුව ‘කෑෂ් මාර්ජින්’ සීමාව මෙලෙස ඉවත්කර තිබෙනවා.

ජංගම දුරකථන, විදුලිපංකා, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිළ මෙලෙස පහත යෑමට ඉඩ තිබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *