අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක්

අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක්


අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක්

(27.05.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින බවට සදහන් ලිපියක් – එම ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා (25) සොයා ගෙන තිබෙනවා.

මෙම ලිපිය නිවසේ තැබූ නාඳුනන කාන්තාවන් දෙදෙනකු (2) සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කිලිනොච්චි පොලිසිය සඳහන් කළා.

“ආගම අපේ හුස්ම. හෙට අපි තැන් කිහිපයක බෝම්බ තියන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා දරුවන් පාසල් යවන්න එපා. යැව්වොත් මරනවා. මේ ලියුම ගැන ඔයාලා වෙන කෙනෙක්ට කිව්වොත් ඒත් මරණවා. අනිවාරේන්ම අපි එය කරනවා.” යනුවෙන් ලිපියේ සඳහන්ව තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ එම ලිපියේ අංක දෙකක් (2) ද සඳහන් කර තිබි ඇති අතර එක් අංකයක් ඉදිරියෙන් ‘අපේ නායකයා’ යනුවෙන් දක්වා තිබූ බවයි.

කිලිනොච්චිය තැපැල් කාර්යාල පාරේ පදිංචි කාන්තාවක් පසුගිය 24 සිය දරුවාට ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයකු හමුවීමට යමින් සිට ඇති අතර එම අවස්ථාවේ පැමිණි නාඳුනන කාන්තාවන් දෙදෙනකු (2) මෙම කාන්තාවගේ දරුවා ස්පර්ශ කිරීමට උත්සාහ කර ඇති බවත් එම අවස්ථාවේ දරුවාගේ මව ඊට විරෝධය පළ කර ඇති බවත් වාර්තා වී තිබෙනවා.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට දරුවා සමඟ යමින් සිටි කාන්තාව එම නාඳුනන කාන්තාවන් දෙදෙනා (2) ගෙන් ඔවුන් කවුදැයි කියා විමසා ඇති අතර කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකට යන බව එම කාන්තාවක් දෙදෙනා (2) පවසා ඇති බව සඳහන්.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට දරුවා සමඟ ගිය මව නිවසට පැමිණ සිටිය දී කලින් හමු වූ නාදුනන කාන්තාවන් දෙදෙනා (2) ද නිවසට පැමිණ නවාතැන් පහසුකම් ඉල්ලූ බව එම කාන්තාව පොලිසියට සඳහන් කර තිබෙනවා.

ඔවුන්ට නවාතැන් පහසුකම් දීමට හැකියාවක් නොමැති බව අදාළ කාන්තාව පවසා ඇති අතර පසුව ඔවුන් ඉල්ලා ඇත්තේ නිවසේ ආලින්දයේ නවාතැන් ගැනීමට පහසුකම් ලබාදෙන ලෙසයි.

පසුව පා පැදියකින් පැමිණි සිසුවකු ඒ කාන්තාවන් දෙදෙනා (2) සමඟ සිංහලෙන් කතා බස්කර කෑම පාර්සල් දෙකක් (2) ද දී පසුදින උදේ බස් රථයෙන් නගරයට එන ලෙස කාන්තාවන් දෙදෙනාට (2) පැවසූ බවත් නිවසේ අයිතිකාර කාන්තාව පොලිසියට සඳහන් කර තිබෙනවා.

පාපැදියකින් පැමිණි සිසුවා කවුරුන්දැයි විමසූ අවස්ථාවේ කාන්තාවන් දෙදෙනා (2) ගෙන් ප්‍රකාශ කර ඇත්තේ ඒ තමා හදුනන දරුවෙකු බවයි.

එදින රෑ දොළහට (12) පමණ බල්ලන් බුරන ශබ්දය ඇසී දොර ඇර බලන විට නවාතැන් ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනා (2) පිටව හොස් තිබූ බවත් ඔවුන් සිටි ස්ථානයේ රුපියල් පන්දහසේ (5000) නෝට්ටුවක් සහ ජංගම දුරකථන සිම්පත් දෙකක් (2) සහ හිස් ලියුම් කවර හතරක් (4) ද තිබූ බවත් අදාළ කාන්තාව පොලිසියට සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි කිලිනොච්චි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴


රුපියල සියයට 19.8 කින් අතිප්‍රමාණය වෙයි

(27.05.2023 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (26) දක්වා වසරේ ගත වූ කාලය තුල ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 26.4 කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 17 කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

එමෙන්ම යුරෝවලට සාපේක්ෂව සියයට 18.9 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 19.7 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ ෴


වන අලි පහරින් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(27.05.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala)

වන අලි පහර දීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ නවගත්තේගම හා අරලගංවිල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් (2).

අරලගංවිල ප්‍රදේශයේ පුද්ගලයා මී වද කැඩීම සඳහා තලගස්වැව වැව් ඉස්මත්තට ගිය අවස්ථාවේදී වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

අනෙක් පුද්ගලයා කුඹුරට වතුර හැරවීමට ගිය අවස්ථාවේදී වල් අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇති බව වාර්තා වන්නේ ෴


මිත්තණිය ඝාතනය කළ මුණුපුරෙකු අත්අඩංගුවට

(27.05.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala)

සිය මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර ඇයගේ සිරුර කැළයක් වෙත ඇදගෙන ගොස් දැමු බව කියන මුණුපුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන තරුණයෙක් බවයි බදුරලිය පොලිසිය සඳහන් කළේ.

මෙසේ මිය ගොස් ඇත්තේ බදුරලිය, හැඩිගල්ල ජනපදය, බොල්ලුන්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ලීලාවතී වික්‍රමසිංහ නැමැති කාන්තවක්.

මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව සැකකරු පදිංචි නිවසේ පදිංචිව සිට ඇති අතර, ඇය විසින් තම මවට කරදර කරන බව පවසා සැකකාර මුණුපුරා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මිය ගිය කාන්තාව පසුගිය දින කිහිපයේ රෝහල් ගතව සිට 25 වැනිදා නිවසට පැමිණ තිබූ අතර ඇයගේ ප්‍රතිකාර කටයුතු සඳහා මවට මුදල් වියදම් වන බවට සැකකරු උරණව මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

උත්සවයකට සහභාගී වී මත්පැන් පානය කර නිවසට පැමිණ තිබූ සැකකරු නිවස තුළ සිටි මිත්තණියට පිහියකින් පහර දී අනතුරුව අසල කැළයක් වෙත ඇදගෙන ගොස් දමා තිබෙනවා.

සැකකරු ඝාතනයට යොදගත් තියුණු ආයුධය ද පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ ෴


කටුනායක ප්‍රභූ මගී පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර

(27.05.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබෙන බව සඳහන්.

ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව‍යි රේගු නිලධාරීන් සඳහන් කරන්නේ.

ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසයි.

ඊට අදාළ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා ෴


පුතා විසින් තම මව ඝාතනය වෙයි (ආනන්තරිය පාපකර්මයක්)

(27.05.2023 – 11:14 +0530 – hirunews.lk/sinhala)

මවට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුතෙක් ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් දෙහැවිරිදි (32) කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ඝාතනයට ලක්වූ මව 68 හැවිරිදි විශ්‍රාමික බැංකු නිලධාරිනියක්.

පෞද්ගලික ආරවුලක් මත සැකකාර පුත්‍රයා විසින් තම මවට පොල්ලකින් පහර දී ඇති බවයි පොලීසිය පවසන්නේ ෴


දෙහැවිරිදි (2) දැරියක් සීයා විසින් අපයෝජනය කරයි

(27.05.2023 – 12:13 +0530 – hirunews.lk/sinhala)

සීයා විසින් දෙහැවිරිදි (2) දැරියක් අපයෝජනය කර තිබෙනවා.

දින කිහිපයකට පෙර මෙම දැරිය මුත්‍රා ආසාදනයකට ලක්ව කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූ අතර එහිදී වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ඇත්තේ දැරියට සමාජ රෝගයක් වැළඳී ඇති බවයි.

ඒ අනුව වෛද්‍යවරුන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශනවල දී සැකකරු පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ ෴


විද්‍යා විෂයට ලකුණු අඩු වූ නිසා සිසුවෙක් සියදිවි හානිකර ගනී

(27.05.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විද්‍යා විෂයන් වලට පාසලේ දී ලකුණු අඩු වීම හේතුවෙන් කලකිරුණු සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොතුවිල් සංගමන් කන්ද ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ හදාරන සිසුවකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව සඳහන්.

විද්‍යා ප්‍රශ්ණ පත්‍රයට ලකුණු 38 ක් ලබා ගැනීම නිසා සිසුවා මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


මන්දමානසික තරුණියක් අපයෝජනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) සොයා විමර්ශන

(27.05.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මන්දමානසික තරුණියක් අපයෝජනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) සොයා රත්නපුර පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන ‘කසිප්පු කුමාර’ සහ ‘සාලයා’ නැමැති අන්වර්ථ නාම වලින් හැඳින්වෙන පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙම අපයෝජනය සිදු කර ඇති බවයි පොලීසිය පවසයි.

පොලිසිය පවසන්නේ සැකකරුවන් එම තරුණිය පදිංචි නිවසට ආසන්නයේ සිට මෙම මත්පැන් ජාවාරමේ යෙදෙන බව‍යි.

සිදුවීමෙන් අනතුරුව මෙම සැකකාර පුද්ගලයින් දෙදෙනා (2) ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී ඇති බවයි පොලිසිය අප වෙත සඳහන් කළේ ෴


තම විවාහ උත්සවයට සූදානම් වූ තරුණියට ඇසිඩ් ප්‍රහාරයක්

(27.05.2023 – 13:02 +0530 – hirunews.lk/sinhala)

තමන්ගේ මංගල දිනයදා ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තරුණියක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා.

ඒ වැලිගම මදුරාගොඩ ප්‍රදේශයෙන්.

අද (27) අලුයම 03 ට පමණ ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තුවාල ලබූ තරුණිය මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇගේ පැරණි පෙම්වතා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර පසුව දෙමාපියන්ගේ විරුද්ධත්වය මත එම සම්බන්ධතාවය නවතා දමා තිබෙනවා.

එයට පළිගැනීමක් ලෙස අදාළ තරුණයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ ෴


සුපිරි වෙළඳසැල් පහළොවකට (15) අධික ප්‍රමාණයක් බිඳ භාණ්ඩ සොරාගත් අයෙක් අත්අඩංගුවට

(27.05.2023 – 13:34 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සුපිරි වෙළඳසැල් පහළොවකට අධික ප්‍රමාණයක් බිඳ භාණ්ඩ සොරාගත් සැකකරුවෙකු හොරණ පොලිසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (26) රාත්‍රියේ හොරණ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක් බිඳ භාණ්ඩ සොරා ගනිමින් සිටියදී යි.

කිසියම් අයෙකු හෝ පිරිසක් සැකකරු අල්ලා ගැනීමට පැමිණියහොත් ඔවුනට පහර දීමට විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බයක් ද සැකකරු සන්තකයේ තබාගෙන සිටි බව පොලිසිය පවසයි ෴


මත්පැන් ජාවාරම්කරුවෙකුගේ පිහි පහරින් පොලිස් සැරයන් රෝහලේ

(27.05.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවෙකුගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වී බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (26) දිනයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු (2), ලැබුණු තොරතුරක් මත දිවිතුරු වත්ත ප්‍රදේශයේ සිටින වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී මත්පැන් ජාවාරම්කරු පාරේ මත්පැන් රැගෙන යමින් සිටිනු දැක එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙලෙස පහරදීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් නිලධාරීන්ට පහරදුන් ‘බටපොලයා’ නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *