විශාල බස් අනතුරක් වළක්වා ගැනීමට මගියෙක් සමත් වෙයි

විශාල බස් අනතුරක් වළක්වා ගැනීමට මගියෙක් සමත් වෙයි


විශාල බස් අනතුරක් වළක්වා ගැනීමට මගියෙක් සමත් වෙයි

(26.05.2023 – 18:04 +0530 – hirunews.lk/sinhala)

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සිදුවීමට ගිය විශාල අනතුරකින් වළක්වා ගැනීමට බස් රථයේ ගමන් කළ මගියෙකුට හැකි වී තිබෙනවා.

මෙම බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු ආසන්නයේ ඇති දොර ඇරී රියදුරු ඉන් ඉවතට විසිවීමෙන් බස් රථය පාලනයෙන් තොරව මාර්ගයෙන් ඉවතට පැන ගමන් කිරීමට පටන් ගෙන තිබෙනවා.

එහිදී ක්ෂණිකව රියදුරු අසුන අසල ආසනයේ අසුන් ගෙන සිටි මගී තරුණයෙකු විසින් රියදුරු අසුනට පැන තිරිංග පාගා විශාල ප්‍රපාතයක් ආසන්නයේ දී බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගත් තරුණයා දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට බස් රථයේ මගීන් 50 ක් පමණ සිට තිබෙනවා ෴


“ගංජා පැළ 25 ක් නෑ, 8 යි තිබුණේ” – ගොඩකවෙල PHI කියයි

(26.05.2023 – 17:14 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍ය වාර්තා පළ වූ ආකාරයට තමන් ජීවත් වන නිවසට අයත් වත්තේ ගංජා පැල 25 ක් වගා කර නොතිබූ අතර තිබුනේ ගංජා පැල 8 ක් පමණක් බව ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා. එමෙන්ම තමන් එම නිවසේ ජිවත් වන නමුත් නිවසේ හිමිකාරිත්වය ඇත්තේ තම මාමණ්ඩියට බව ද ඔහු සඳහන් කරනවා.

ගොඩකවෙල පොලීසියට ලද තොරතුරක් ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාසය කරන නිවස පරික්ෂා කිරීමේ දී නිවසේ ස්ථාන කිහිපයක අඩි 3 ක පමණ ගංජා ගස් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිවසේ නොසිටි නිසා ඔහුගේ බිරිඳගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව එම සැකකරු සහ එම ගංජා පැල ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු විසින් වරද පිලිගැනීම හේතුවෙන් ඔහුට රුපියල් හය දහසක (6000) දඩයක් නියම කර තිබෙනවා ෴


විශාලතම තීරු බදු රහිත වෙළඳ සංකීර්ණය කොළඹට – කංසා වවන්නත් අවසර

(26.05.2023 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ආසියානු කලාපයේ විශාලතම තීරු බදු රහිත වෙළඳ සංකීර්ණය කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ සිංගප්පූරුවේ සුප්‍රකට ‘වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී’ සමූහයේ ප්‍රධාන විධායක කෙයිරා ෂෑන් සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම අතරයි.

වර්ග මීටර් 7000 ක ඉදිකිරීමට නියමිත තීරු බදු රහිත මෙම සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ල වර්ග මීටර් 1250 ක වපසරියකින් යුක්තයි.

මෙම වසරේ (2023) අවසාන කාර්තුවට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති මෙහි ඉන්දීය සහ යුරෝපා වෙළඳපලට අයත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර, 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේ මෙරට වෙළඳ භාණ්ඩ අපනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 814.1 ක් දක්වා සියයට 16.15 ක අඩුවීමක් වාර්තා කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළා.

එය 2021 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 0.5 ක අඩුවීමක් බව සඳහන්.

මේ අතර, මෙම වසරේ (2023) පළමු කාර්තුව තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 604 ක වටිනාකමකින් යුත් විදේශ ආයෝජන මෙරටට ලැබී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ව්‍යාපෘති 30 ක් සඳහා මෙම විදේශ ආයෝජන ලැබී ඇති බවයි.

විශේෂඥ කමිටුවේ අනුමැතිය ලැබී ඇති බැවින් ආයෝජකයෙකු සහ ආයෝජන මණ්ඩලයේ (BOI) මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ගංජා වගාව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

වෙළඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 12 ක් වූ තේ අපනයන ඉපයීම් 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේදී සියයට 16.1 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 93.39 ක් දක්වා වැඩිවී තිබෙනවා.

තේ අපනයනයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 47.82 ක් දක්වා සියයට 29.1 කින් වැඩි වී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම, මෙම වසරේ (2023) අප්‍රේල් මාසයේදී විදුලි සහ ඉලෙක්ට්‍රෝනික උපාංග වලින් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 40.01 ක් දක්වා ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 16.14 ක්.

මුහුදු ආහාර අපනයන ආදායම ද පසුගිය වසරේ (2022) අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ (2023) අප්‍රේල් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 24.76 ක් දක්වා සියයට 17.1 කින් වැඩිවී තිබෙනවා.

කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන අංශයේ අඩුවක් වාර්තා වුව ද 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ (2023) අප්‍රේල් මාසයේදී කුරුඳු අපනයන ආදායම සියයට 8.41 කින් වැඩිවී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.

මෙම වසරේ (2023) මේ දක්වා නිෂ්පාදන අනුව, වැඩිම අපනයන කාර්ය සාධන වෙළඳ භාණ්ඩය ‘ඇඟලුම් සහ රෙදිපිලි’ වන අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 342.81 ක්.

කෙසේ වෙතත්, පසුගිය වසරේ (2022) අප්‍රේල් මාසය සමග සැසදීමේදී එය සියයට 23.1 අඩුවීමක් බව සඳහන්.

+


හොර පාරෙන් රත්‍රං සහ ජංගම දුරකථන ගෙන ආ අලී සබ්රි රහීම් මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන්න යෝජනාවක්

(26.05.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධි ලෙස රත්‍රන් මෙරටට රැගෙන ඒමේදී රේගු අත්අඩංගුවට පත්වී රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් අද (26) පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් ගෙන ආ එම යෝජනාව ස්ථිර කර ඇත්තේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

එසේම මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් වෙතට යොමුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වය පළවූ බවද සඳහන් ෴


කොස්ගොඩ සුජීගේ බෑණාට වෙඩි – අම්බලන්ගොඩ කැළඹෙයි

(26.05.2023 – 20:51 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති දනුක සොයිසා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දනුක සොයිසා මහතා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කොස්ගොඩ සුජී’ නමැත්තාගේ බෑණා බව අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

අද (26) උදෑසන 07:30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදීයී.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති දනුක සොයිසා මහතා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) ඔහු වෙත වෙඩි තැබීම සිදු කර තිබුණා.

වෙඩි වැදීමෙන් උරහිසකට තුවාල සිදු වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා යතුරුපැදියෙන්ම පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙතයි.

පොලිසිය අසලදී යතුරු පැදිය සමග බිම ඇද වැටී තිබූ නියෝජ්‍ය විදුහල්පතිවරයාට කඩිනමින් බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණා.

නියෝජ්‍ය විදුහල්පතිවරයා ශල්‍යකර්මයකටද භාජනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ දනුක සොයිසා මහතා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කොස්ගොඩ සුජී’ නමැත්තාගේ බෑණා බව අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදිය පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ බෙන්තොට කොම්වල රවුම් පාරේ හුදකලා ප්‍රදේශයක දමා ගොස් තිබියදීයී.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම් දීමකට අනුව යතුරුපැදිය සොයාගත් අතර එය කඳාන ප්‍රදේශයෙන් සොරකම් කළ යතුරුපැදියක් බවට පොලිසිය කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ අතර අම්බලන්ගොඩ වතුගෙදර ආඳාදොළ පන්සල මාර්ගයේදී ඊයේ (25) රාත්‍රියේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබුණා.

+


ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ පරිගණක කාමරය බිඳ භාණ්ඩ සොරාගත් සැකකරුවන් අත්අඩංගුවට

(26.05.2023 – 21:14 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ පරිගණක කාමරය බිඳ භාණ්ඩ සොරාගත් සැකකරුවන් දෙදෙනකු (2) ගම්පහ පොලිසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පාසලේ පරිගණක කාමරයේ තිබී ලැප්ටොප් පරිගණක දෙකක් (2) හා ඩෙස්ක්ටොප් වර්ගයේ පරිගණකයක් (1) සොරාගෙන ගොස් ඇති බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ පහකට (5,00,000) අධික වන බවත් පොලිසිය පවසනවා

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇති බවයි ෴


පොල්ගෙඩි විස්සක් (20) සොරකම් කළ අයෙකුට අධිකරණයෙන් ලැබුණු දඬුවම

(26.05.2023 – 21:32 +0530 – hirunews.lk/sinhala)

‘වත්තකට සොරෙන් ඇතුල්වී පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම’ සහ ‘අයුතු ලෙස වත්තට ඇතුල්වීම’ යන චෝදනා දෙකට (2) වැරදිකරු වූ අයෙකුට දිවුලපිටිය, කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වසරක (1) සිරදඬුවමක් නියමවී තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස බරපතල වැඩ ඇතුව එක් (1) වසරක සිරදඬුවම නියම කර තියෙන්නේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වන ටී. තේනබදු මහතා වන අතර රුපියල් 1200 ක් වටිනාකම ඇති එම පොල් ගෙඩි සොරකමට සහ වත්තට ඇතුල්වීම යන චෝදනා දෙකට (2) දඬුවම් නියමවී ඇත්තේ එක් චෝදනාවකට මාස තුන (3) බැගිනි.

චුදිතට පෙර වැරදි නොමැති බවට ඇඟිලි සටහන් වාර්තා අනුව සනාථ වී ඇති හෙයින් නියම කළ බරපතළ වැඩ ඇතිව එක් (1) වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කර තිබෙනවා.

එම වසර දහය (10) යහපත් කල් ක්‍රියාවෙන් ගෙවන ලෙසට චුදිතට අධිකරණයෙන් නියම කෙරුණා.

දිවුලපිටිය, කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එක්දරු පියකුට යි මෙසේ අත්හිටවූ සිර දඬුවම් නියම කෙරුණේ.

ඔහු 2021 ජනවාරි මස 31 හෝ ඊට ආසන්න දිනයකදී දිවුලපිටිය, කෙහෙල්ඇල්ලේ දී අදාළ සොරකම සිදු කර තිබූ බවට අධිකරණයේ දී සඳහන්ව තිබුණා ෴


වැසිකිළි පවිත්‍ර කරන්න රුපියල් ලක්ෂ 15 ක්

(26.05.2023 – 21:48 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සංචාරකයින් වෙනුවෙන් ආයතන 24 ක පිහිටුවා ඇති වැසිකිළි පවිත්‍ර කිරීමට රුපියල් ලක්ෂ 15 ක් මාසිකව වැය කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසනවා.

එහිදී ඔහු සඳහන් කළේ, වැසිකිළි දේශීය සංචාරකයින් විසින් නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් නිතර අපිරිසිදු තත්ත්වයට පත්වන බවත් ඒවා පිරිසිදු කිරීමට පමණක් අදාළ මුදල වැය වන බවත් ය.

කෙසේවෙතත් විදේශීය සංචාරකයින් හොඳ තත්ත්වයෙන් වැසිකිළි භාවිත කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *