අපොස සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ

අපොස සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ


අපොස සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ

(26.05.2023 – 11:45 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ අපොස සාමාන්‍ය පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.


ඉදිරියේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

(26.05.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් පවසනවා.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා.

මෙලෙස රජය විසින් හඳුන්වාදීමට නියමිතව ඇත්තේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් බව සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව‍යි ෴


රෝසි සේනානයක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කෙරේ

(26.05.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර තිබෙනවා.

ඇය කොළඹ හිටපු නගරාධිපතිනියයි.

2001–2004 වර්ෂයේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දරූ ඇය 2009–2010 වසරේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක
තනතුර හොබවා තිබෙනවා.

එමෙන් ම ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස 2015 වසරේ කටයුතු කර තිබෙන ඇය අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙසද කටයුතු කර තිබෙනවා ෴


ගංජා තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

(26.05.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (25) කරන ලද වැටලීමකදී හිල් වීදිය ප්‍රදේශයේදී ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 150 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 36 ක දෙහිවල දොළොස්මහ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍ර්මට නියමිතයි.

වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


හෙරොයින් වැටලීම්වලින් සැකකරුවන් අත්අඩංඟුවට

(26.05.2023 – 12:07 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) ගම්පහ ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී පෙතියාගොඩ හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 06 යි මිලි ග්‍රෑම් 230 ක් සමඟ සැකකරුවකු අත්අඩංඟුවට ගෙන තිබෙනවා.

සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

අද (26) සැකකරු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිර්‍ර්මට නියමිතයි.

මේ අතර වත්තල ප්‍රදේශයේ මාබෝල හන්දියේදී ද ඊයේ (25) හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 850 ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු 31 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (26) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන වත්තල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

මොරටුව, ලුනාව ප්‍රදේශයේදී ඊයේ (25) හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රැම් 100 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් 41 හැවිරිදි සැකකාරිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍ර්මට නියමිතයි.

මොරටුව පොලිසිය විසින් වැඩිදුර විම්ර්ශන සිදු කරනු ලබනවා ෴


2021 ආනයනය කළ ‘නැනෝ පොහොර’ වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව කෘෂිකර්ම ඇමති පවසයි

(26.05.2023 – 12:26 +0530 – hirunews.lk/sinhala)

‘ප්‍රභූ නැනෝ පොහොර’ ලීටර් ලක්ෂ 30 ක් 2021 දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් වී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ බැවින් 2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දුෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශයට තමා උපදෙස් දුන් බවයි ඔහු පැවසුවේ.

චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවීම හා නැනෝ පොහොර ආනයනය කිරීම යන කරුණු දෙකම රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ පියවරයන් දෙකක් බැවින් මෙම කමිටුව පත් කිරීමට ප්‍රධාන හේතු වූ බව ද ඇමැතිවරයා පවසා සිටියා ෴


අලි සබ්‍රි ඉවත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයින් තීරණය කරයි

(26.05.2023 – 12:37 +0530 – hirunews.lk/sinhala)

අලි සබ්රි රහීම් මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ අද (26) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ෴


ගුවන්තොටුපොළේ දී ප්‍රභූ මලු පරීක්ෂාවට

(26.05.2023 – 12:39 +0530 – hirunews.lk/sinhala)

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්ත හරහා (වී.අයි.පී – වී.වී.අයි.පී) පැමිණෙන සියලුම ප්‍රභූන් සහ ඔවුන්ගේ ගමන්මලු දැඩි පක්‍ෂාවට ලක් කිරීම ගුවන්තොටුපොළ රේගුව විසින් පෙරේදා (23 වැනිදා) රාත්‍රී සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ප්‍රභූ පර්යන්ත හරහා ගුවන්තොටු පොළෙන් පිටව යන සහ පැමිණෙන සියලුම දේශපාලනඥයන් රාජතාන්ත්‍රික නිලධාරී ඇතුළු සියලුම ප්‍රභූන් මින් ඉදිරියට ගුවන්තොටුපොළ පර්යන්ත රේගු නිලධාරින්ගේ දැඩි පරීක්‍ෂාවට ලක් කෙරෙන බවයි වාර්තා වී ඇත්තේ.

මෙම පරීක්‍ෂා කිරීම් ආරම්භ කිරීමත් සමගම පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධි ලෙස රැගෙන ආ විදුලි උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් රුපියල් කෝටි 8 ක් වටිනා රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් රැගෙන එද්දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු රේගු බලධාරීන් විසින් මෙම ප්‍රභූ පර්යන්ත හරහා එන ප්‍රභූන් පරීක්‍ෂා කිරීමේ තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

ගුවන්තොටුපොළ රේගු බලධාරීන් පවසන්නේ මෙම ප්‍රභූ පර්යන්තය හරහා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රභූ පුද්ගලයන් තහනම් භාණ්ඩ අති විශාල ප්‍රමාණයක් මෙරටට රැගෙන එන්නට ඇති බවයි.

රත්‍රං, මැණික්, මුදල් මෙන්ම මත්ද්‍රව්‍ය පවා මෙම ප්‍රභූ පර්යන්ත හරහා රටට ගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළා.

ගුවන්තොටුපොළ රේගු බලධාරීන් පවසන්නේ මින් ඉදිරියට මෙම ප්‍රභූ පර්යන්ත හරහා පැමිණෙන සහ පිටව යන ප්‍රභූන් තරාතිරම නොබලා පරීක්ෂා කිරීමට තමන්ට රේගු මූලස්ථානයෙන් නියෝග ලැබුණු බවයි ෴


ඉන්ධන කෝටාව ඉහළට

(26.05.2023 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ඉහළ යන බව වාර්තා වනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ (25) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴


පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ හමුදා සෙබළුන් අත්අඩංගුවට

(26.05.2023 – 13:02 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු හමුදා කපිතාන්වරයෙකු සහ සෙබළුන් හත් දෙනෙකු (7) වීරවිල පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරවිල හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන පිරිසක්.

වීරවිල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක දී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් විසඳීමට යාමේදී මෙම පිරිස කලහකාරී ලෙස හැසිරී පොලිස් රාජකාරියට බාධා කර ඇති බව පොලීසිය පවසයි ෴


කළුතර සැකකරුවන් ජුනි 09 දක්වා යළි රිමාන්ඩ්

(26.05.2023 – 13:51 +0530 – hirunews.lk/sinhala)

කළුතර ලැගුම්හලක උඩු මහළකින් වැටී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු 4 දෙනා ජුනි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මියගිය පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු (2) සහ තරුණියක් (1) සමඟ ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇත්තේ පසුගිය 06 වන දා පස්වරු 06:30 ට පමණයි.

පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් (2) වෙන්කර ගෙන තිබෙනවා.

එළෙස කාමර දෙකක් (2) වෙන් කරගෙන ඒ වෙත ගමන් කළ ද, සිව්දෙනාම (4) එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයකු දැක ඇති බවයි වාර්තා වූයේ.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව ගොස් තිබුණා.

ඉන් මිනිත්තු 20 කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටතට යන අයුරු සේවකයන් දැක ඇති බව සඳහන්.

අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබුණු අතර ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි, කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක්.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට හෝටලයට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවයි ෴


සිසුවියන් 16 ක් අපයෝජනය කළ කළුතර වල්ගුරා ජුලි 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

(26.05.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

කළුතර පුදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පන්ති වල්ගුරා අද (26) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වින් තිබෙනවා.

එහිදී ජුලි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග දී ඇත්තේ.

මෙම සැකකරු අධිකරණයට ගෙන ආ මොහොතේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් ඔහුට නීතිමය ආධාර ලබා නොදෙන ලෙසටත් නීතිය දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් නිභඬ විරෝධතාවක ද නිරත වුණා ෴


යතුරුපැදියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

(26.05.2023 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ අටබාගේ හන්දියේදී ඊයේ (25) යතුරුපැදියක ගැටී පාරේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ගම්පොළ අටබාගේ හන්දියේ දුනුකේඋල්ල අතුරු මාර්ගයේදී දුනුකේඋල්ල දෙස සිට ධාවනය වූ යතුරුපැදියක් එම මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ සිරුරේ වැදීමෙන් බවයි පොලිසිය පවසන්නේ.

මියගිය කාන්තාව 74 හැවිරිදි පල්ලේගම, අටබාගේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුර සිදු කළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *