රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක්

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක්


රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක්

(25.05.2023 – 16:05 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව මේ වනවිට සමාජයේ කතාබහට ලක්වන්නේ මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම්වයි.

උන්වහන්සේ එහිදී චෝදනා කළේ රජයෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට නිසි දායකත්වයක් ලබාදී නොමැති බවයි.

ඒ පිළිබඳව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ද සංවාදයට බදුන් වූ අතර එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ රාජ්‍ය පොසොන් උත්සවයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබාදෙන බවටයි.

මේ අතර, මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ඇතුළු ස්වාමින් වහන්සේ පිරිසක් විසින් රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක් ඊයේ (24) ආරම්භ කළා.

එමෙන්ම, පොසොන් උත්සවය නිමිත්තෙන් ජුනි 02 වනදා සිට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොළගේ පවසනවා.

මේ අතර, එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සියලු දන්සැල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීම සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා ෴


පහළොස් (15) හැවිරිදි දැරිය අපයෝජනය කළ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

(25.05.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala)

පහළොස් (15) හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කල තම මවගේ අනියම් පුරුෂයා බකමූණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරියගේ මව විදේශගතව සිටින අතර ඇය අත්තම්මා සමග මහවෙල පොලිස් වසමේ ජීවත්ව සිටින බව පොලීසිය පවසනවා.

අත්තම්මා සමග අමනාප වී නිවසෙන් යමින් සිටියදී මෙම දැරිය මහවෙල පොලිස් නිලධාරීන් භාරයට ගෙන අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපයෝජනයට ලක්වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

අනතුරුව දැරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය සිය මවගේ අනියම් පුරුෂයා අතින් අපයෝජනයට ලක් වූ බව පවසා ඇති බව සඳහන්.

අපයෝජනයට ලක් වන අවස්ථාවේදී දැරිය ජීවත්ව සිට ඇත්තේ බකමූණ පොලිස් වසමේ වූ අතර බකමූණ පොලීසිය විසින් විමර්ශන සිදුකර හතළිස් එක් (41) හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට එරෙහිව පියවර ගන්නැයි විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකගෙන් ඉල්ලීමක්

(25.05.2023 – 16:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශ නොකළ රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමේ වරදට ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් මිලියන 7.5 ක දඩයකට යටත් කළ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 30 කට ආසන්න පිරිසක් කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

නීතිවිරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී මන්ත්‍රීවරයාව කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගැණුනා.

එහිදී හෙළිවූයේ ඔහු රත්‍රන් කිලෝ 3½ ක් සහ ස්මාර්ට් දුරකථන 91 ක් මෙරටට ගෙනැවිත් ඇති බවයි.

කථානායකවරයාට ලිපිය ඉදිරිපත්කළ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවයි ෴

++++++++++

++++++++++

+


ගමන් බලපත්‍ර සාදා දීමට මුදල් ගත් තවත් තැරැව්කරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(25.05.2023 – 17:27 +0530 – hirunews.lk/sinhala)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් අරමුදල් ඉල්ලා සිටින තැරැව්කරුවන් පිළිබඳ HIRU CIA හෙළිදරව්වෙන් පසුව එම ජාවාරමට සම්බන්ධ තවත් තැරැව්කරුවන් (මැදියන්) තිදෙනෙකු (3) අද (25) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 19 ක්.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට ඒවා කඩිනමින් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් ලබාගන්නා පුද්ගලයින් කණ්ඩායමක් පිළිබදව ‘හිරු සී.අයි.ඒ.’ විශේෂ අනාවරණයක් සිදු කළා.

ඇතැම් අවස්ථාවල මෙම පුද්ගලයන්ට දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේද ආශිර්වාදය ලැබෙන බවටයි එහිදී චෝදනා එල්ලවුණේ.

මෙම අනාවරණයෙන් පසු වගකිවයුතු අංශ මේ පිළිබදව කඩිනම් අවධානය යොමුකර තිබුණා.

ඒ අනුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහය ලබාගෙන ඇති බවයි ආගමන විගමන පාලක හර්ෂ ඉලු‍ක්පිටිය කියා සිටියේ.

එමෙන්ම, ජුනි මස මුල සිට ජනතාව කිසිම විටෙක තම විදේශ ගමන් බලපත්‍රය සකස් කරගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීම අවශ්‍ය නොවනු ඇති.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ අයදුම්පත්‍රය ඔන්ලයින් ඔස්සේ යොමුකළ හැකි බවයි ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ.

ඊට අදාළ ගෙවීම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගිණුමකට බැරකළ හැකි අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සිය ඇඟිලි සළකුණු ලබාදිය හැකියි.

පසුව දින තුනක් (3) තුල විදේශ ගමන් බලපත්‍රය ලියාපදිංචි තැපෑලෙන් නිවසට ලබාදෙන බවයි ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ ෴


හෙට (26) සිට පාසල් නිවාඩුව ඇරඹෙයි

(25.05.2023 – 17:49 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර හෙටින් (26) අවසන් වෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ පළමු පාසල් වාරයේ 03 වැනි අදියර ජූනි මස 12 වැනිදායින් ආරම්භ වන බවයි.

එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2023.05.29 දින සිට 2023.06.08 වන දින දක්වා පැවැත්වෙන බවයි.


යටත්විජිත වහල් මානසිකත්වයෙන් තවමත් රට ගැලවී නැහැ – වෙස්මිනිස්ටර් ආකෘතියෙන් ගැලවුනු ව්‍යවස්ථාවක් තවමත් රටේ නිර්මාණය වෙලා නැහැ – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

(25.05.2023 – 08:10 +0530 – lankaleadnews.com)

1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යනු වසර 400 ක් පමණ යටත් විජිතයක්ව පැවති මෙරට ජනතාවගේ වහල් මානසිකත්වය නැති කිරීම සඳහා ගෙන ආ ව්‍යවස්ථාවක් නොවූ බවත්, එමගින් සිදුවූයේ අනගාරික ධර්මපාලතුමා වරක් පැවසූ ලෙසටම සුද්දන් රටින් ගියත් කළු සුද්දෝ විශාල ප්‍රමාණයක් මෙරට බිහි වී රට පාලනය කරන බව සනාථ වීමක් පමණක් බවත් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

‘වෙස්මිනිස්ටර් ව්‍යවස්ථාවෙන් වෙන්ව ජාතික ජනරජ දින සැමරුම සහ ඉන් ඔබ්බට සැබෑ නිදහසක් කරා’ යනුවෙන් පැවැත්වුනු ජනරජ දින සැමරුම් උත්සවයක දී ඒ මහතා මේ බව පැවසීය.

1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බලා සිට එය කඩදාසියක ලිවීමෙන් බවත්, එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම ගෙන රැජින සිටින තැනට අගමැති හෝ ජනාධිපති ලෙස යෙදීමෙන් 72 ව්‍යවස්ථාව නිර්මාණය කළ නිසා වෙස්මිනිස්ටර් ආකෘතියෙන් නිදහස් වූ මෙරට ජනයාට බද්ධ වූ ව්‍යවස්ථාවක් නිර්මාණය නොවූ බවත් ඒ මහතා පවසයි.

මෙරට ජනතාවගේ සාරධර්ම, හරපද්ධතීන් නියෝජනය තුළින් පැන නැගුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තවමත් මෙරටේ නිර්මාණය කරගැනීමට නොහැකි වීම නිසා තවමත් යටත්විජිත වහල්භාවයෙන් ගැලවීමට ජනතාවට හැකිවී නොමැති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

+


මෙරටින් හමුවූ බව කියූ ලොව විශාලතම මැණික් ගල බොරුවක් බව කෝප් කමිටුවේදී හෙළි වෙයි

(25.05.2023 – 19:48 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් හමු වූ බව කියන ලෝකයේ විශාලතම මැණික් ගල සම්බන්ධ තක්සේරු කිරීම්වලදී විශාල රැවටීමක් සිදුකර ඇති බවට කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වුණා.

කෝප් කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහිදී පැවසුවේ, එම සිද්ධිය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතුකර ඇති ආකාරය ඔවුන්ගේ වෘත්තීය ගරුත්වයට පවා නුසුදුසු බවයි.

එහිදී ඔහු විසින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන සේවා අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් දස ලක්ෂයකට තක්සේරු කරන ලද මැණික් පාෂාණය නොවිකුණු බවත්, එවැනි පොකුරු හැම තැනකම තිබෙන බව තමන්ට සැලවී තිබෙන බවයි.

එමෙන්ම ඔහු ප්‍රශ්න කළේ එවැනි ව්‍යාජ මවාපෑමක් සිදුකළ හේතුව කුමක්ද යන්නයි.

එහිදී පිළිතුරු දුන් අපනයන සේවා අධ්‍යක්ෂ අමල් තෙන්නකෝන් ප්‍රකාශ කළේ එම මැණික් පොකුර කපා ඔප දැමීමේ සුදුසු මට්ටමක නොමැති බවත් එලෙස මුදලක් දක්වා ඇත්තේ එහි රක්ෂණ වටිනාකම පමණක් වන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *