කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට රෝග හා දුර්භීක්ෂ බියක්

කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට රෝග හා දුර්භීක්ෂ බියක්


කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට රෝග හා දුර්භීක්ෂ බියක්

(25.05.2023 – 09:48 +0530 – hirunews.lk/sinhala)

කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට (100) ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව එම විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ලක්ෂණවලින් පෙළෙන බව වාර්තා වී ඇත්තේ.

උණ රෝගය වැළඳුණු හතළිහකට (40) ආසන්න පිරිසක් නිවෙස්වලට පිටත්කර ඇති බවත්, අනෙක් පිරිස නේවාසිකාගාරවල රැඳී සිටින බවත් සඳහන්.

රෝගීන්ට ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් සහ ආහාර පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති බවද විද්‍යාපීඨ ආරංචි මාර්ග සඳහන් කළා.

පෙරේදා (23) උදේ ආහාරයට පරිප්පු සමඟ බත්, දිවා ආහාරයට පරිප්පු, බෝංචි සමඟ බත්, රාත්‍රි ආහාරයට කිරිකොස්, හාල්මැස්සන් කරවල සමග බත් ද ලබාදී ඇති බවත් පෝෂ්‍යදායී ආහාර නොමැති බැවින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශක්තිය හීනවෙමින් පවතින බවද වාර්තා වෙනවා.

ලබාදී ඇති ප්‍රතිපාදන අනුව එදින රාත්‍රි ආහාරයට වෙන්කර තිබුණේ බත සමඟ හාල්මැස්සන් කරවල පමණක් බවත්, ගුරු ශිෂ්‍යයන් පිරිසක් විද්‍යා පීඨයේ කොස්ගස්වලට නැඟ කොස් ගෙඩි 15 ක් පමණ කඩා කිරි කොස් වංජනයක් පිළියෙල කරගත් බවයි වාර්තා වී ඇත්තේ.

රෝගීන් වෙනුවෙන් එක් වෛද්‍ය ප්‍රතිකාර කාමරයක් ස්ථාපිත කර ඇති අතර එහි වෛද්‍ය සහාසිකාවන් දෙදෙනාගේ (2) සේවය ප්‍රමාණවත් නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රෝගීන් රෝහල් කරා රැගෙන යෑමට විද්‍යාන පීඨයෙන් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවත්, ආර්ථික අපහසුතා ඇති අයවලුන් මුදල් නොමැතිව දැඩි අපහසුතාවකට ලක්ව ඇති බවත් අභන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එහි පිඨාධිපති ඒ.ජේ.එස්. බස්නාගොඩ දැකිවූයේ මෙවන් අදහසක් :

“සිසුන් 25 ක් පමණ ඊයේ (24) නිවෙස්වලට පිටත්කර යැව්වා. අද (25) දිනයේ තවත් 30 ක් පමණ රෝහලට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විද්‍යා පීඨය සතු එකම වෑන් රථය කාර්මික දෝෂයකට ලක් වෙලා. ළමයින්ට ප්‍රවාහන පහසුකම් දෙන්න විදිහක් නෑ. එක් අයකු වෙනුවෙන් ආහාරයට රජය වෙන්කරන්නේ දිනකට රුපියල් 53 යි. ඒ මුදලට අනුව තමයි ආහාර ලබාදෙන්න වෙලා තියෙන්නේ. මේ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙන්නේ” ෴


දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගනී

(25.05.2023 – 10:01 +0530 – hirunews.lk/sinhala)

සමාජයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද (25) ගොඩගැණුනා.

ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි දේහය අද (25) යළි ගොඩගැනීමට පියවර ගෙන තිබුණේ.

ෂාෆ්ටර්ගේ දේහය ගොඩගැණුනේ මාස 5 කට වැඩි කාලයකට පසුව වීම ද විශේෂත්වයක්.

අද (25) උදෑසන 08:30 ට පමණ දේහය ගොඩගැනීමේ කටයුතු ආරම්භ කළ අතර අධිකරණය විසින් ලබාදුන් නියෝගය අනුව ඒ සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ද පැමිණ සිටියා.

එමෙන්ම, දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා ද එම ස්ථානයට පැමිණ සිටි බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අධිකරණය විසින් ඊයේ (24) ලබා දුන් නියෝගයකට අනුවයි.

මේ අතර අද (25) දින දේහය ගොඩගැනීමේ අවස්ථාව ආවරණය කිරීමේදී පොලීසියෙන් ඊට බාධා එල්ල වූ බවටයි වාර්තා වන්නේ.

ගොඩගත් දේහය දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකෙරෙන බවයි මීට පෙර අධිකරණයේදී අනාවරණ වූයේ.

දෑත් බැඳ ප්ලාස්ටික් පටියකින් ගෙළ සිරකර සිය මෝටර් රථය තුල දමා සිටි ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර පසුගිය වසරේ දෙසැම්බර් 15 වනදා සොයා ගෙන තිබුණේ බොරැල්ල කනත්තේ තිබියදීයි.

51 හැවිරිදි වියේ පසුවූ දිනේෂ් ෂාෆ්ටර් කොළඹ 10 මල්පාර ප්‍රදේශයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ‘ජනශක්ති රක්ෂණ සමාගමේ’ අධ්‍යක්ෂක ද වනවා.

එහිදී දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙළ සිර කිරීමකින් සිදුව ඇති බවයි.

ඒ අනුව, මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ ආරම්භ කළා.

එහිදී දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරට විෂක් ශරීර ගත වී තිබූ බවට ද කරුණු අනාවරණ වී තිබුණා.

+


ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට සාකච්ඡාවක්

(25.05.2023 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ සාකච්ඡාවක් පවත්වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශ කල විමසීමක දී අමාත්‍යවරයා පවසා සිටියේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් මෙම සාකච්ඡාවට කැදවා ඇති බවයි ෴


පොලිස් නිලධාරියෙකුට පහර දුන් පිරිසක් අත්අඩංගුවට

(25.05.2023 – 10:22 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් (1) සහ පිරිමි දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ ප්‍රදේශයේදී ඊයේ (24) මෙම පහරදීම සිදුව ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය – පට්ටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් (1) සහ 22 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයින් දෙදෙනෙක් (2).

අදාළ පොලිස් කොස්තාපල්වරයා රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී හිස්වැසුම් නොමැති පුද්ගලයෙකු යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී එය නතර කර පරීක්ෂා කර තිබෙනවා.

පසුව යතුරුපැදියෙන් පැමිණි එම පුද්ගලයින් දෙදෙනා (2) සහ එම ස්ථානයට පැමිණි කාන්තාවක් (1) කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴


තරුණයින් දෙදෙනෙක් (2) දුම්රි‍යේ ගැටී මරුට

(25.05.2023 – 10:48 +0530 – hirunews.lk/sinhala)

දුරකතනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු (2) වේයන්ගොඩ – වදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (25) පෙරවරු 05:45 ට පමණ දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා.

මෙම තරුණයින් දෙදෙනාගේ (2) නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යාම සදහා අද (25) උදෑසන ම සූදානම් වී වදුරුව දුම්රිය ස්ථානය දෙසට ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජංගම දුරකථනයකින් කතා කරමින් ඔවුන් දෙදෙනා (2) ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් පැමිණි බදුල්ල සිටි කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු සහ 19 හැවිරිදි තරුණයෙක්.

අනතුරෙන් පසුව මිය ගිය තරුණයින් දෙදෙනාගේ (2) දේහයන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ගෙනැවිත් තිබෙන බව ද වාර්තා වී තිබෙනවා ෴


ජනක ඉවත් කිරීමට ආණ්ඩුවට සහය දුන් වඩිවෙල්ට එරෙහිව පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග

(25.05.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

පක්ෂයේ විනය මණ්ඩලය ඉදිරි දින කිහිපය තුල ඊට අදාළ පියවර ගනු ඇති බවයි මහලේකම්වරයා ‘හිරු ප්‍රවෘත්ති’ වෙත කියා සිටියේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ (24) පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ යෝජනාවට සහය පළ කරමින් ඡන්දය භාවිත කළා.

එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළ යුතු බවට පැහැදිලි ස්ථාවරයක් පක්ෂය විසින් ප්‍රකාශයට පත් කර තිබියදී මෙලෙස මන්ත්‍රීවරයා හැසිරීම විනය විරෝධී කටයුත්තක් බවයි පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ.

කෙසේ වෙතත්, මඩොල්සිම ප්‍රදේශයේ තමන් සංවිධානය කළ ජනරැලියට සජිත් ප්‍රේමදාස සහභාගි නොවීම හේතුවෙන් ඇති වූ සිත් රිදීම තවදුරටත් පවතින බව වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා පවසනවා.

ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාවගෙන් සමාව ගන්නා ලෙස අවස්ථා කිහිපයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියත් මේ දක්වා එය ඉටු කර නොමැති බව ද ඔහු කියා සිටියා. මේ හේතුවෙන් මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවූ බවයි මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සඳහන් කළේ ෴


යතුරුපැදි අනතුරින් 15 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට

(25.05.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)

සිය එකම සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරට ලක් ලක්වූ 15 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි හඳපාන්ගොඩ ජාතික පාසලේ දහවන (10) වසරේ ශිෂ්‍යයෙක් බවයි වාර්තා වන්නේ.

විවාහ උත්සවයේ මඟුල් පින්තූරය රැගෙන මනාලයාගේ පියා සමග නැවත පැමිණෙමින් සිටිය දී කුරණ බෑවුම් ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කානුවට වැටී තිබෙනවා.

අනතුර සිදුවු ස්ථානයේ සිට මීටර් 15 ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති යතුරුපැදිය කොස් ගසක ගැටී නැවතුණු බවයි සඳහන් වන්නේ.

සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා සහ අනෙක් පුද්ගලයා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් තිබූ අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


මහජන උපයෝගිතා කොමිසමට නව සභාපතිවරයෙක්?

(25.05.2023 – 11:56 +0530 – hirunews.lk/sinhala)

පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු තෝරා ගැනීම ව්‍යවස්ථා සභාව මඟින් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාළ යෝජනාව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

නව සභාපතිවරයෙකු පත් කිරීම ව්‍යවස්ථා සභාව මගින් සිදු කරන අතර එම සභාව රැස්ව දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදු කර නොමැති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මේ වන විටත් ස්වාධීන කොමිෂන් සභා බොහෝමයකට නව සාමාජිකයින් පත් කර ඇති අතර මැතිවරණ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සඳහා සාමාජිකයින් පත් කිරීම තාවකාලිකව නතර කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴


සිරකරුවෙක් කරාපිටිය රෝහලෙන් පැන ගිහින්

(25.05.2023 – 12:09 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවකු අද (25) උදෑසන රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔහු කරාපිටිය රෝහලේ 09 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස පැන ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෴


නිවසක රන් භාණ්ඩ සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(25.05.2023 – 12:12 +0530 – hirunews.lk/sinhala)

අධි ආරක්ෂාවට නිවසක ශීතකරණයක් තුළ සඟවා තිබූ රන් භාණ්ඩ සොරා ගත් මෙහෙකරුවකු කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහෙකරු විසින් රුපියල් ලක්ෂ හයකට (6,00,000) අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරා ගෙන ඇති බවයි කලවාන පොලීසිය සඳහන් කරන්නේ.

සොරාගත් රන් භාණ්ඩ විවිධ ස්ථානවල උගස් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *