ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට


ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

(24.05.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගෙන තම විදුලි සහ දුරකථන බිල්පත් ගෙවු බැංකු ආරක්ෂක නිලධාරියකු වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවන්න ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක ආරක්ෂ නිලධාරියෙකු බව සඳහන්.

අදාළ පෞද්ගලික බැංකුවේ සහකාර කළමණාකරු විසින් රුපියල් ලක්ෂ අනුවක (90,00,000) මුදලක් පසුගිය 21 වන දින ATM යන්ත්‍රයට දමා ඇත්තේ අදාළ බැංකු ආරක්ෂක නිලධාරියා සමගින් බවයි සඳහන් වන්නේ.

පසුදින බැංකු සහකාර කළමණාකරු විසින් එම ATM යන්ත්‍රයේ ඇති ඉතිරි මුදල් පරික්ෂා කිරීමේදී රුපියල් පන්දහසේ (5000) නෝට්ටු තිස් දෙකක් (32) වන රුපියල් එක් ලක්ෂ හැටදහසක (1,60,000) මුදලක් අඩු බවට බැංකුව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව AIM යන්ත්‍රයට මුදල් බැර කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පරික්ෂා කිරීමේදී දැක ගැනීමට ලැබී ඇත්තේ යන්ත්‍රවලට මුදල් දමන අවස්ථාවේ දී පුටුවක් මත තබා තිබූ මුදල්වලින් කොටසක් එහි සිටි ආරක්ෂක නිලධාරියා විසින් සොරාගෙන ඔහුගේ කලිසම් සාක්කුවට දමා ගන්නා ආකාරයයි.

සැකකරු සොරකම් කළ මුදලින් කොටසක් ඔහු තම නිවසේ විදුලි සහ දුරකථන බිල්පත් ගෙවීම සඳහා වැය කර ඇති අතර ඉතිරි මුදල් ඔහුගේ බැංකු ගිණුම් දෙකකට (2) බැරකර තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ ෴


ශ්‍රී ලංකාව ලොව වඩාත් ම දුක්ඛිත රටවල් 11 අතරට

(24.05.2023 – 22:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 11 අතරට එක්වී තිබෙනවා.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ‘ස්ටීව් හැන්ක්’ විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව මෙම රටවල් අතරට එක් වී තිබෙනවා.

ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එම දර්ශකයේ පළමු තැනට සිටිනුයේ සිම්බාබ්වේ රටයි ෴


තවත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යයි

(24.05.2023 – 22:46 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අත්අඩංගුවේ සිටි වයස අවුරුදු 51 ක කාන්තාවක් හදිසියේ මියගිය පුවතක් පානදුරෙන් වාර්තා වනවා.

අද (24) සවස 06:30 ට පමණ පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසියෙන් එම නිවස පරීක්ෂා කර තිබුනා.

පසුව පොලීසිය විසින් අදාළ නිවසේ සිටි වයස අවුරුදු 51 ක කාන්තාවක් රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ නිවස ආසන්නේ පදිංචිව සිටින එම කාන්තාවගේ සොහොයුරා පැවසුවේ, ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඇයව රැගෙන නොයන ලෙස තමා ඉල්ලීමක් කළ බවයි.

කෙසේවෙතත් පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක් නොමැතිව ත්‍රීරෝද රථයක දමාගෙන රැගෙන ගොස් තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වුයේ අදාළ කාන්තාවට ත්‍රීරෝද රථය තුළදී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බවයි.

එහෙත් ඇයගේ අසනීප තත්ත්වය නොසලකා පොලිස් නිලධාරීන් ඇයව පොලීසිය ආසන්නයටම රැගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.

ඉන් අනතුරුව එම කාන්තාවගේ ඥාති පුත්‍රයින් දෙදෙනෙකු (2) පොලීසියේ ත්‍රීරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලීසිය අසලදී පොලිස් නිලධාරීන් ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයව රෝහලට රැගෙන යන ලෙසයි.

ඒ අනුව ඥාති පුත්‍රයින් දෙදෙනා (2) ඇයව තවත් ත්‍රීරෝද රථයක නංවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ඇයව රෝහල්ගත කරනවිටත් මියගොස් සිටි බව රෝහලෙන් දැනුම්දුන් බව ඔවුන් පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ නයනා රෝෂනී නමැති වයස අවුරුදු 51 වන විවාහක කාන්තාවක් ෴


කොරියානු ශ්‍රමිකයින් 48 දෙනාට නැවත රැකියා අවස්ථා

(25.05.2023 – 06:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් යානයක් පමා වීම හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තු වූ ශ්‍රමිකයින් 48 දෙනෙකුගේ රැකියා සිහිනය බොඳ වී ඇතැයි පළ වී තිබෙන වාර්තාව සත්‍යයෙන් තොර බව වාර්තා වී තිබෙනවා.

මෙම ශ්‍රමිකයින් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය මැයි 23 වෙනි දින රාත්‍රී 08:00 ට කොළඹ සිට කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කළේ ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය නියමිත වෙලාවට ගුවන්ගත කළ නොහැකි වූ නමුත් යානය මැයි 24 වෙනි දින උදෑසන 06:00 ට ගුවන් ගත කළ බවයි.

කොරියාව බලා පිටත් වීමට සූදානමින් සිටි ශ්‍රමිකයින් පිරිසගේ කටයුතු කොරියාවේදී කළමණාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රමිකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.ජී.ජී. එස් යාපා සඳහන් කළේ මෙම ශ්‍රමිකයින් ලබන ජුනි මස 04 වෙනි දින නැවත පිටත් කරන මෙන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි ෴


වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(25.05.2023 – 07:41 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය පොලිස් වසමේ හදපානාගල ප්‍රදේශයේදී ඊයේ (24) හවස වනඅලියෙකු පහර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලස මියගොස් ඇත්තේ අවුරුදු 55 ක් වන නෙලුව ගල, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ඔහු හදපානාගල වැව් රක්ෂිතයේ මාලු ඇල්ලීම සදහා යමින් සිටියදී වල් අලියෙකු පහරදීමෙන් මිය ගොස් ඇති බවට පොලිසිය විසින් සිදුකල වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


දියේ ගිලී පුද්ගලයෙක් මියයයි

(25.05.2023 – 07:46 +0530 – hirunews.lk/sinhala)

හලාවත මුහුදු තීරයේ බල්ලන් නැවීමට ගිය පුද්ගලයෙකු ඊයේ (24) දියේගිලී තිබෙනවා.

එහි දී ප්‍රදේශවාසීන් විසින් ඔහු බේරාගෙන රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මරණකරු වයස අවුරුදු 53 ක් වන මයික්කුලම, හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් ෴


විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් අත්අඩංගුවට

(25.05.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින දෙකක (2) කාලය තුළ විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් 15 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රියැදුරන් විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කරන බවට ලද තොරතුරු මත බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පොලිස් ස්ථාන 106 ක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ මෙහෙයුමක් සිදු කළ අවස්ථාවේදීයි.

ඒ සඳහා බස් රථ 775 ක් පරීක්‍ෂා කොට එම බස් රථවල රියැදුරන්ගේ ඛේටය (කෙළ) පරීක්‍ෂා කිරීමෙන් මෙම රියැදුරන් 15 හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් කොටු වූ රියැදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්‍ෂා කර ඔවුන්ට එරෙහිව නඩු පවරන බව පොලිසිය සඳහන් කළා.

රියැදුරන් හඳුනා ගැනීම සඳහා මෙතෙක් ‘ඇල්කොලයසිර්’ නළ භාවිත කළ ද විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් එළවන රියැදුරන් සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් නොමැති බවයි වාර්තා වී ඇත්තේ.

මාර්ග ආරක්‍ෂාව භාර ජාතික සභාව විසින් මේ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමෙන් පසු අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඒ සඳහා විශේෂ නළ කට්ටල පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට නියමිතයි ෴


රුපියල ශක්තිමත් වෙයි

(25.05.2023 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (24) දිනයේදී ද සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා.

මේ අනුව මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව පෙරේදා (23) රු. 312.33 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (24) දිනයේදී රු. 311.23 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය ද පෙරේදා (23) වාර්තා වූ රු. 299.19 සිට ඊයේ (24) දිනයේදී රු. 297.98 ක් දක්වා පහත වැටී තිබුණා ෴


පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළකුට පහර දුන් සැකකරු ‘අයිස්’ සමඟ අල්ලයි

(25.05.2023 – 09:21 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළකුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර පලා ගිය සැකකරු රුපියල් කෝටියකට (1,00,00,000) අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි (1) ග්‍රෑම් 19 ක් සමඟ රත්නපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීදුව ප්‍රදේශයේදී පසුගිය දා කේරල ගංජා වැටලීමකට ගිය ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් හට ද මෙම සැකකරු පහර දී පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

එම පහර දීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග සැකකරු සහ තවත් එක් පුද්ගලයෙක්. ඉදිරි විමර්ශන සඳහා මෙම සැකකරුවන් රත්නපුර පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා ෴


හෝමාහම රෝහලේ වෛද්‍ය වායු සැපයුම අවහිර කළ සෞඛ්‍යය කාර්ය සහායකයකු අත්අඩංගුවට

(25.05.2023 – 09:36 +0530 – hirunews.lk/sinhala)

රෝහලේ ඔක්සිජන් හා වෛද්‍ය වායු සැපයුමඅවහිර කළ සෞඛ්‍යය කාර්ය සහායකයකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම රෝහල් බලධාරීන් විසින් සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන්නේ.

සෞඛ්‍ය කාර්යය සහයකයා මෙලෙස සැපයුම අවහිර කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


රජයේ ගොවිපොළවල කුකුළු පැටවුන් ඌරන්ට කන්න දීලා

(25.05.2023 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල පිරිමි කුකුළු පැටවුන් අවිධිමත් ලෙස බැහැර කිරීම අත්හිටුවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා.

කෘෂිකර්ම ඇමැතිවරයා පවසන්නේ මේ ගොවිපළවල සිටින පිරිමි කුකුළු පැටවුන් මසකට 5000 ක් පමණ ඌරන්ට කෑමට ලබා දෙන බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි.

රටේ රැකියා විරහිත තරුණයන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට මස් සඳහා කුකුළු පාලනයට මෙම සතුන් ලබා දීමට හැකියාව පවතින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ නිසා රජයේ සත්ත්ව ගොවිපොළෙන් මාසිකව බැහැර කරන පිරිමි කුකුළු පැටවුන් රැකියා විරහිත තරුණයන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෘෂිකර්ම ඇමැතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *