අපොස සාමාන්‍ය පෙළ උපකාරක පන්ති පැවැත්වීම ගැන නිවේදනයක්

අපොස සාමාන්‍ය පෙළ උපකාරක පන්ති පැවැත්වීම ගැන නිවේදනයක්


අපොස සාමාන්‍ය පෙළ උපකාරක පන්ති පැවැත්වීම ගැන නිවේදනයක්

(22.05.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568 කදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වන්නේ ෴


ජුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය සිසුවියක් ජීවිතක්ෂයට

(22.05.2023 – 06:36 +0530 – hirunews.lk/sinhala)

මුන්දලම – ජුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් (1) අයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක් වූ උඩප්පුව ප්‍රදේශයේ පදිංචි මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට සිටී පාසල් ශිෂ්‍යාවක්.

ඇය මිතුරියන් සිව් (4) දෙනෙකු හා එක් මිතුරියකගේ මිත්තණියක සමඟ ජුලිච්චාකුලම වැවේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


නුවරඑළියේ පුද්ගලයෙකු අතුරුදහන්

(22.05.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – හාවාඑළිය ගාඩ්වත්ත රක්ෂිතයට දර සෙවීම සඳහා ඇතුල් වූ පුද්ගලයෙකු නැවත නිවසට නොපැමිණ අතුරුදහන්වී ඇති බවට නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 49 ක් වූ භාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන්, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සොයා රක්ෂිතය තුළ මෙහෙයුම් දියත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එහිදී රක්ෂිතය මැද තිබී අතුරුදහන් වූ අයගේ යැයි සැක කරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වී තිබෙනවා.

අතුරුදහන් වූ පුද්ගලයා මේ වන තෙක් සොයාගෙන නොමැති අතර නිළ සුනඛයින්ගේ සහාය ඇතිව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන බවයි නුවරඑළිය පොලිසිය සඳහන් කළේ ෴


ඔරුව පෙරළී ධීවරයෙකු අතුරුදහන්

(22.05.2023 – 07:13 +0530 – hirunews.lk/sinhala)

දික්වැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු ඔරුව පෙරළී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (21) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මොහු සමඟ සිටි තවත් ධීවරයෙකු ඔරුව පෙරළුණ අවස්ථාවේ පිහිනා ගොඩට පැමිණ ඇති බව දික්වැල්ල පොලීසිය සඳහන් කරනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ඔරුව පෙරළී ඇති බව වාර්තා වී ඇත්තේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 64 හැවිරිදි කොරටුව – බතීගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

(22.05.2023 – 07:20 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ දිනය අදයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හඳුන්වයි.

මෙම සිදුවීම මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් එය සලකනු ලබනවා.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙසත් එහි බුදුදහමට ප්‍රමුඛස්තානයත්, පැහැදිලිවම පිළිගත් ජනරජ ව්‍යවස්ථාව සම්මත වූ දිනයද වන්නේ මෙයයි.

කෙසේ වෙතත් 1972 මැයි මස 22 දා ප්‍රථම ශ්‍රී ලංකා ජනරජ දිනය අති උත්කර්ෂවත් ආකාරයෙන් සමරා තිබුණා.

රට පුරා සමරු උත්සව, බෝධි පූජා සහ ආශිර්වාද පූජා ද පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිදහස් පුරවැසියන් වීමේ සතුට සමරමින් ජනතාව කැවුම්, කිරිබත් කා, රතිඤ්ඤා පත්තු කොට, සැණකෙළි පැවැත් වූ බවද සඳහන්.

ජනරජයක් බවට පත්වීමෙන් පසු මෙරට පළමු ජනාධිපතිවරයා බවට පත්වුයේ විලියම් ගොපල්ලව මහතායි.

එවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකවරයා ලෙස කටයුතු කළ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ජනරජ ව්‍යවස්ථාව සැකසීමේ පුරෝගාමීයා ලෙස සැලකෙනවා.

ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කර අදට වසර 51 ක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (22) සංවිධානය කර තිබුණා.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයී ෴


ගුවන් යානා මෙහෙයුම්වල වර්ධනයක්

(22.05.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර (2022) සමග සැසඳීමේ දී මේ වසරේ (2023) පළමු (1) කාර්තුවේ මෙරට ගුවන් යානා මෙහෙයුම්වල සියයට 7 කින් සහ මගී මෙහෙයුම් සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

කොරෝනා වසංගත තත්වයට පෙර මෙරට ගුවන් සේවා මෙහෙයුම් තිබූ තත්ත්වයට ප්‍රකෘතිමත් වීමක් ලෙස එය හැඳින්විය හැකි බවයි එම සමාගම සඳහන් කළේ.

පසුගිය වසරේ (2022) පළමු (1) කාර්තුවේ දහතුන් ලක්ෂ හැත්තෑ හතරදහස් එකසිය තිහක්ව (13,74,130) පැවති ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව මෙම වසරේ (2023) පළමු (1) කාර්තුවේ දී දහසය ලක්ෂ පනස් එක්දහස් තිස් නමයක් (16,51,039) දක්වා වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ (2022) 9,357 ක් වූ ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව මේ වසරේ (2023) මුල් (1) කාර්තුවේදී 10,018 ක් දක්වා ඉහළ ගියා.

වර්තමානය වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෛනිකව ගුවන් මගීන් 18,000 කට අධික සංඛ්‍යාවකට සහ ගුවන් යානා 120 කට පමණ සේවා සපයනවා.

2019 වසරේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගුවන් මගීන් මිලියන 9.95 කට පමණ පහසුකම් සළසා ඇති අතර සිදු කර ඇති ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව 62,195 ක් ෴


එතෙර ගිය තරුණියන්ට මෙරටට පැමිණීමට ‘ඇඟ විකුණන්න’ වෙලා

(22.05.2023 – 08:54 +0530 – hirunews.lk/sinhala)

පිටරට ගිය තරුණියන්ට නැවත මෙරටට පැමිණීමට ‘ඇඟ විකුණන්න’ සිදු වී ඇතු බව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුවට හොරකම් කිරීමට හා නාස්ති කිරීමට ඕනෑ තරම් මුදල් ඇති බවයි.

ප්‍රශ්න විසදනවා වෙනුවට ‘සේෆ් හවුස්’ එකේ ඔවුන් මාස ගණනාවක් රදවා තබා ගන්නා බවත් එක පැත්තකින් එය රටට බරක් බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒජන්සි හිමියන් විසින් සේවිකාවන් සඳහා විශාල මුදලක් අය කර ගන්නා බවත් නමුත් ඉන් සේවිකාවන්ට ගෙවන්නේ ඉතාම සුළු මුදලක් බවත් සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කර සිටි‍යා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබීම නිසා හා දරා ගත නොහැකි ලෙස සේවිකාවන් ගෙන් වැඩ ගැනීම නිසා ඔවුන් අදාළ ගිවිසුම් කඩ කර එම නිවාසවලින් පැන එන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

සභාපතිතුමා පවසන්නේ සේවිකාවන්ගේ පාස්පෝට් නැවත ලබා ගැනීමට නම් ඒජන්සිවලට ගෙවූ මුදල නැවත ලබා දිය යුතු බවයි.

සේවිකාවන් වෙනුවෙන් විශාල මුදලක් අය කර ගනු ලබන ඒජන්සිකරුවන් නිසා රට යන කාන්තාවන් අසරණ වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴


ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් හෙට (23) වර්ජනයක

(22.05.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් හෙට (23) ලෙඩ නිවාඩු දමා එක්දින (1) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තිරණය කර තිබෙනවා.

උසස්වීම්, වැටුප් විෂමතා පවතින ගැටලු ඇතුලු ඉල්ලීම් 09 ක් මුල් කරගනිමින් අදාල වර්ජනය සිදුකරන බවයි ‘ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ එකාබද්ධ වෘත්තිය සමිති සංගමයේ’ ලේකම් සවනතිලක ගජධීර කියා සිටියේ ෴


අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙහෙය වූ ජංගම ගණිකා ජාවාරමක් වටලයි

(22.05.2023 – 10:25 +0530 – hirunews.lk/sinhala)

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු විසින් මෙහෙය වූ ජංගම ගණිකා ජාවාරමක් වැටලීමට පානදුර වලාත මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය සමත් වී තිබෙනවා.

මෙම වැටලීමෙන් පුද්ගලයින් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගත් බව‍යි ඔවුන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර, මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයා සහ සුරූපි කාන්තාවන් සිව්දෙනෙකු (4) ඇතුළු තවත් දෙදෙනකු (2) සිටින බව එම බලකාය ප්‍රකාශ කර සිටියා.

අදාළ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පුද්ගලයෙක්.

සුරූපී කාන්තාවන් මුදලට අලවි කිරීමේ රහසිගත ජාවාරමක් සිදුකරන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව මෙම ජාවාරම හසුකර ගැනීමට හැකි වූ බවයි එම බලකා නිලධාරීන් සඳහන් කළේ.

මෙහි දී අනාවරණය වී ඇත්තේ රු. 55,000 ක මුදලකට කාන්තාවන් අළෙවි කරන බවයි.

පොලිසිය විසින් දූතයන් ලවා කාන්තාවක් වෙන් කර ගෙන ඇති අතර අදාළ කාන්තාව හමු වීමට අගුරුවාතොට රෙමුණ වැව ආසන්නයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව මෝටර් රථ දෙකකින් (2) අදාළ කාන්තාවත් සමඟ ‘අරගල ක්‍රියාකාරිකයා’ ඇතුළු පිරිස පැමිණ තිබූ අතර ඒ අවස්ථාවේ දී ඔවුන් අත්අඩංගුවට ගත් බව‍යි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් සිව්දෙනා (4) වයස අවුරුදු 22 හා 39 අතර වයස්වල පසුවන කුරුණෑගල, අම්පාර, බණ්ඩාරවෙල සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකාරියන්.

අත්අඩංගුවට ගත් පිරිස අද (22) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


සුරූපී රංගන ශිල්පිනියකගෙන් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වංචාකළ තරුණයා

(22.05.2023 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී එම රංගන ශිල්පිනිය ගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65 ක මුදලක් ලබාගෙන වංචා කළ අයෙකු ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා (19) නියෝග කළා.

මෙම සැකකරු කොළඹ සහ ගම්පහ අධිකරණවල සේවය කරන කණිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනෙකු (2) ද විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් අනූනව ලක්ෂයක් (99,00,000) වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිටත් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවෙකු බව අධිකරණයේදී පළමුව සඳහන් වුණා.

සැකකරුව මහර බන්ධනාගාරය මඟින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ‘බී.එල්. ලසන්ත ලියනගේ’ නැමැති 27 හැවිරිදි සැකකරුවෙක් බවයි පැවසෙන්නේ.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවනු ලැබූ නඩුවේ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ පදිංචි රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන 23 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වන්නේ.

සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන බව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් එක්ව සිටින ඡායාරූප ඇතුළත් ෆේස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසුවා.

සැකකරු එම ෆේස්බුක් ගිණුමෙන් හඳුනාගෙන ඇති පැමිණිලිකාරිය සමඟ හිතවත්කමක් පළමුව ගොඩනඟා ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

පසුව පැමිණිලිකාරියගේ නිවසට සැකකරු කිහිප වතාවක් ම පැමිණ ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව පැමිණිලිකාරියගේ දෙමාපියන් ද විවාහ මංගල්‍යයට ආශිර්වාද පතා ඇති බව අධිකරණයේදී සඳහන් වුණා.

ඉන් අනතුරුව සැකකරු විවිධ අවශ්‍යතා පෙන්වමින් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65 ක මුදලක් පැමිණිලිකාරිය ලවා බැර කරගෙන ඇති බවත්, එය බැංකු වාර්තාවලින් සනාත වී ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළා.

ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී කොළඹ අධිකරණයක සේවය කරන ආධුනික නීතිඥවරියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 50 ක මුදලක් ද, ගම්පහ අධිකරණයේ ආධුනික නීතිඥවරියක් රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී රුපියල් ලක්ෂ 49 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් ද මෙම සැකකරුව එම අධිකරණයන් මඟින් රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී හෙළිවී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *