විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂ මන්ත්‍රීවරියට සිදුවූදේ

විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂ මන්ත්‍රීවරියට සිදුවූදේ


විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂ මන්ත්‍රීවරියට සිදුවූදේ

(20.05.2023 – 23:21 +0530 – hirunews.lk/sinhala)

ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවෙන් ඉවත් කර තිබෙනවා.

ජපාන මාධ්‍ය වාර්තා කළේ, ජපාන ඉහළ මන්ත්‍රී මණ්ඩල පූර්ණ සැසිවාරයක් අමතමින් මිසුහෝ උමේයිමුරා නම් මන්ත්‍රීවරිය 2021 දී නගෝයා ආගමන කාර්යාංශ ගොඩනැගිල්ලකදී සඳමාලි මියගිය ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

2017 දී ශිෂ්‍ය වීසා යටතේ ජපානයට යන විශ්මා සඳමාලි වීසා නීති උල්ලංඝනය කිරීම යටතේ 2020 දී අත්අඩංගුවට ගෙන තිබුනා.

ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ මාස ගණනාවක් රඳවා සිටින ඇය 2020 මාර්තු 06 වනදා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුනා.

එම සිද්ධියත් සමග සංක්‍රමණික නීති සංශෝධනය විය යුතු බවට මතයක් ද ජපානය තුළ සමාජගත වුනා.

පසුගිය 16 වනදා ජපානයේ විපක්ෂ මන්ත්‍රීවරියක් වන මිසුහෝ උමේයිමුරා සංක්‍රමණ පාලන සහ සරණාගතයින් පිළිගැනීමේ සංශෝධන පනත් කෙටුම්පතක් පිළිබඳ කමිටු සාකච්ඡාවකදී පවසන්නේ, විශ්මා සඳමාලි මියගොස් ඇත්තේ, කිසියම් කෙනෙකුගේ කීමක් මත ආහාර වර්ජනය කිරීමෙන් බවයි.

නිපෝන් ඉෂින් පක්ෂයේ මිසුහෝ උමේයිමුරා,

“ඇය ආහාර වර්ජනයක් නිසා මිය යන්න පුළුවන්, ආහාර වර්ජනයක් සහ ඇයගෙන් පෙන්නුම් කළ තත්ත්වය වෙනසක් වගේම සම්බන්ධතාවයක් පවතිනවා. ඒ දේ හරියටම දැනගන්න පුළුවන් ඊට මුහුණදුන් පුද්ගලයාගෙන්ම තමා.. නමුත් දැන් ඇය මියගොස් තිබෙනවා.”

මන්ත්‍රීවරියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ ඇය නියෝජනය කරන නිපෝන් ඉෂින් පක්ෂයේ මහලේකම් ෆුමිටකේ ෆුජිටා මහතා පැවසුවේ, මෙම ප්‍රකාශය මත පදනම්ව ඇය ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඉදිරියේදී විනය පියවර ගන්නා බවයි.

එමෙන්ම ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්මාගේ පවුලේ ඥාතින් සහ සියලුදෙනාගෙන් සමාව ඉල්ලන බව ද නිපෝන් ඉෂින් පක්ෂයේ මහ ලේකම්වරයා පවසනවා ෴


ජෙරම් ප්‍රනාන්දු හෙට (21) දිවයිනට

(20.05.2023 – 21:41 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) පෙර යොදාගත් කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගතවූ තමන් යළි දිවයිනට පැමිණෙන බව, ජෙරම් ප්‍රනාන්දු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුනා.

ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමත් සමග ඔහු පිළිබඳ සමාජයේ දැඩි අවධානයක් යොමු වුනා.

ඔහු දිවයිනට පැමිණීමේදී අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.

ජෙරම් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින්.

ඔහු එහිදී කළ ප්‍රකාශවලින් බුදුන් වහන්සේට මෙන්ම තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට දැඩි දෝෂාරෝපණ එල්ල වුනා.

ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම්ද ගොනුකෙරුණා ෴


අන්තරයට නව කැඳවුම්කරුවෙක්

(20.05.2023 – 23:03 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ ‘මධුෂාන් චන්ද්‍රජිත්’ යන අයව තේරී පත්ව ඇති බව එම බලමණ්ඩලය අද (20) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ විසින් එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ රජරට විශ්ව විද්‍යාලයේ අද (20) පැවති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇති බවයි.


සිසුවියන් දෙදෙනෙකු (2) සහ සිසුවෙකු (1) මත්පැන් පානය කරමින් සිටියදී අත්අඩංගුවට

(20.05.2023 – 23:24 +0530 – hirunews.lk/sinhala)

මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාසල් සිසුවියන් දෙදෙනෙකු (2), පාසල් සිසුවෙකු (1)ඇතුළු 06 දෙනකු අද (20) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර තරුණියක (1) සහ තරුණයන් දෙදෙනකු (2) ද සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පානදුරේ සංචාරක හෝටලයක් අසළ පිරිසක් මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙන බවට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව පොලිසිය එහි යන විට ඔවුන් මෝටර් රථයකින් පිටව යාමට උත්සාහ ගෙන තිබෙනවා.

එහිදී රථය පැදවීමට සූදානම් වූ තරුණයා බීමත්ව සිටි බැවින් ඔවුන් සියලු දෙනාම පොලිසියට රැගෙන ආ බවත්,

බාලවයස්කාර පාසල් සිසුවියන් දෙදෙනා (2) සහ පාසල් සිසුවා (1) තම අනන්‍යතාව තහවුරු කිරීමට අකමැති වූ බැවින් ඔවුන් පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ ෴


සිංගප්පූරුවේදී මියගිය ගෘහ සේවිකාවගේ දේහය දිවයිනට

(20.05.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

සිංගප්පූරුවේදී මිය ගිය ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඇගේ දේහය සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති හිල්මි අසීස් මහතාගේ උපදෙස් පරිදි අදාළ විමර්ශනය සිදුකරන බවයි එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා සඳහන් කරන්නේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබුණේ දංකොටුව – මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිට විදෙස් ගත වූ 41 හැවිරිදි විවාහක කාන්තාවක්.

ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මිට පෙර ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඇය මහල් නිවසෙන් ඇඳ වැටෙන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර ඇති බවද වාර්තා වනවා.

+

මියගිය නදීකාගේ මව ඉල්ලා සිටින්නේ ඇගේ මරණය පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

එමෙන් ම මියගිය නදීකා මීට ඇයට සිදුවන හිරිහැර පිළිබඳ තමන් සමඟ පවසා තිබෙන බවයි මව ප්‍රකාශ කළේ.

ඇයට කිසිදු දිනෙක ඉරිදා නිවාඩුවක් හිමි නොවූ බවත්, අමානුෂික ආකාරයට ඇ‍යට එම නිවසේ මිනිසුන් සැළකූ බවත්, තමන් කාමරයකට සිර කර තැබූ බවත් ඇය සිය මව සමඟ පවසා තිබෙනවා.

එමෙන් ම මෙතරම් දරුණු පිරිසක් තමන් කිසි දිනෙක දැක නොමැති බවද මියගිය තරුණිය සිය මව සමඟ පවසා ඇති බවද වාර්තා වනවා.

නදීකාගේ මව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බවත් ඇය සේවය කළ නිවසේ ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කොට ඇයගේ මරණය සම්බන්ධව සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි ෴

++++++

සිංගප්පූරුවේ මහල් නිවාසයක අටවන (8) මහලින් වැටී මියගිය ලාංකික කාන්තාවගේ දේහය අද (20) පස්වරුවේ පවුලේ ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

ඒ, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී එහි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම මරණය උසකින් වැටීමෙන් සිරුරට සහ හිසට සිදුවූ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබෙනවා. ඊයේ (19) රාත්‍රියේ අදාළ කාන්තාවගේ දේහය දිවයිනට රැගෙන එනු ලැබුවා.

පසුගිය වසරේ නොවැම්බර් 18 වනදා කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇය විදේශගතව ඇති නමුත් ඉන්පසු ඇයගේ සේවා ස්ථානයේ ගැටළු පවතින බවට කාර්යාංශයට හෝ එරට ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පැමිණිල්ලක් ලැබී තිබුණේ නැහැ ෴


අපි මේ පොතෙන් ඔබේ කුතුහලය නැති කළා (20.05.2023)

+

“ඒ යෝධයට යකා නගිනවා මේක කිව්වම” – විමල් ෆොන්සේකාව යකා නග්ගන හේතුව (21.05.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *