ජෙරම්ගේ ඉරිදා රැස්වීම නතර කරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය CID ට

ජෙරම්ගේ ඉරිදා රැස්වීම නතර කරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය CID ට


ජෙරම්ගේ ඉරිදා රැස්වීම නතර කරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය CID ට

(18.05.2023 – 09:52 +0530 – hirunews.lk/sinhala)

ආගමික සංහිදියාවට බාධා එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ජෙරොම් ප්‍රනාන්දු විසින් එළැඹෙන ඉරිදා දින සංවිධාන කර ඇති රැස්වීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීම සිදුකළ යුතු බව ‘පිවිතුරු හෙළ උරුමය’ පවසනවා.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කිරීමට අද (18) දින කටයුතු කරන බවයි එම පක්ෂය සඳහන් කළේ.

ඒ අනුව පෙරවරුවේ ‘පිවිතුරු හෙළ උරුමයේ’ නියෝජිතයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ එම ඉල්ලීම සිදුකිරීමට නියමිතයි.

එළැඹෙන ඉරිදා (21) දින ජෙරොම් ප්‍රනාන්දු විසින් මෙහෙයවන රැස්වීමක් පැවැත්වීමට නියමිත බවට පැවසෙන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වනවා.

එවන් පසුබිමකයි දැනට සිංගප්පූරුවට ගොස් සිටින ජෙරොම් ප්‍රනාන්දු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් තමන් ඉරිදා (21) මෙරටට යළි පැමිණෙන බවට ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුවයි ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කළේ.

එහිදී අධිකරණය ඔහුට රටින් පිටවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත් ඒ වන විට ඔහු රටින් පිටවී සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවටයි අනාවරණය වූයේ ෴

+++++++++

ජෙරොම්ගේ වත්කම් හා දේපල ගැන විමර්ශනයක්

(18.05.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින ජෙරම් ප්‍රනාන්දුගේ දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසනවා.

ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධි කරණය යටතේද පරීක්ෂණ ක්‍රියාත්ම විය යුතු බව ‘පිවිතුරු හෙළ උරුමයේ’ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් සඳහන් කළා.

ජෙරම් ප්‍රනාන්දු විසින් ලබන ඉරිදා (21) දින පැවැත්වීමට කටයුතු කරන රැස්වීමක් වැලැක්වීම සදහා අධිකරණ නියෝගයක් ලබාගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීම සදහා එහි පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ අදහස් පළ කළේ.

පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම්වරයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය :

“කටුනායක ප්‍රදේශයේ පිහිටා තියෙන ‘මිරකල් ඩෝම්’ කියන සුවිසල් ආයතනය හදන්න රුපියල් බිලියන තුනක් (3) විතර ඔවුන් වියදම් කර ඇති බවට අපට විශ්වාසවන්ත තොරතුරු ලැබී තිබෙනවා. ඒ මුදල් කොහෙන්ද හොයාගත්තේ? ඔහුට හරියට ඉංග්‍රීසි බැරිවුනත් ඔහු යාඥාව ඉංග්‍රීසි භාෂාවෙන් කරණවා. එතකොට අපිට හිතාගන්න පුළුවන් මොහුට මුදල් එන්නේ කොහෙන්ද කියලා. මේ ආකාරයට ඔහු ඉංගීසි බසින් යාඥා කරන්නටම හේතුව මුදල්. ඒ නිසා අපි නැවතත් පොලීසියෙන් ඉල්ලා සිටිනවා මුදල් විශුද්ධිකරණය පිළිබදව සොයා බලන්න කියලා. බොහෝ දෙනෙකුගේ ඇත්ත කතාන්දර එළියට ඒවී මේ පරීක්ෂණ නිසි පරිදි සිදු වුනොත්. ඒ වගේම මේ දේවල් භාවිත කරමින් ජාතිවාදය වපුරමින් ආගම්වාදය වපුරමින් සමහරුන් නැවතත් නැගිටින්න හදනවා කියලා මත පලවෙනවනා. ඒ නැගිටින්න හදන අය ඉඳගෙනම ඉන්න. මොකද මේක එක ජාතියකට එක ආගමකට තියෙන ප්‍රශ්ණයක් නෙවෙයි. මේ ප්‍රශ්ණයේ දී අපහාසයට ලක්වෙන්නේ බෞද්ධ, ඉස්ලාම්, හින්දු කියන මේ සියළුම ජනතාව. ඒ නිසා එක ජාතියක් එක ආගමක් පමණක් මුල් කරගනිමින් ජාතීන් අතර කෝලාහල ඇති කිරීමට කවුරුන් හෝ වෙර දරනවා නම් එය ද ප්‍රතික්ෂේප කරන ලෙස අප ජනතාවට කියා සිටිනවා.”

පිවිතුරු හෙළ උරුමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීම පහතින් :

2023.05.15

අධ්‍යක්ෂ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
යෝක්වීදිය
කොළඹ – 1

ගරු අධ්‍යක්ෂකතුමනි,

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් පැවැත්වීමට නියමිත රැස්වීම සදහා වාරණ නියෝගයක් ලබාගැනීම

තමන් දිවැසිවරයෙකුයැයි ප්‍රකාශකරගන්නා ජෙරම් ප්‍රනාන්දු නැමැති පුද්ගලයෙකු විසින් බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමටත් අනෙකුත් ආගම්වලටත් අපාහාස වන අයුරුන් සිදු කරණ ලද ප්‍රකාශය පිළිබදව අප විසින් සාක්ෂි සහිතව 2023.05.15 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ගොනු කරණ ලදී.

මේ වන විට මෙම දේවගැති වරයා දිවයිනේන බැහැරව සිටින බව අණාවරණය වේ. ඔහු සිය ඉන්ස්ට්‍රග්‍රෑම් (Instagram) පිටුවේ සටහනක් තබමින් සිය අනුගාමිකයන් ගෙන් ඉල්ලා සිටිනුයේ 2023.05.21 වන දින පවුල් පිටින් ඔහුගේ මුලස්ථානය වෙත පැමිණ දේව මෙහෙයක් ලෙසින් ඔහු විසින් හදුන්වන රැස්වීමකට එක්වන ලෙසයි. (එම සටහන ඇමිණුම් අංක 1 ලෙසින් සටහන් කර මේ සමග ඉදිරිපත් කර ඇත.)

මොහු ආගම් වලට අපහාස කරනු ලබන වීඩියෝව නැරඹීමේ දී දක්නට ලැබෙනුයේ මෙම දේවගැති වරයා ආගමික වෛරය පතුරවද්දී ඔහුගේ අනුගාමිකයන් අත්පොලසන් දෙමින් ඔල්වරසන් දෙමින් ඊට ආධාර සහ අනුබල ලබාදෙන ආකාරයි. (එම සටහන වීඩියෝව අඩංගු සීඩී පටය ඇමිණුම් අංක 2 ලෙසින් සටහන් කර මේ සමග ඉදිරිපත් කර ඇත.)

ඒ අනුව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝනය කරමින් ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාශ කරනු ලබන ජෙරම් ප්‍රනාන්දු නැමැති මෙම දේවගැතිවරයා සහ ඔහුගේ මෙම වෛරී හැසිරීම අනුමත කරමින් ඔහුට ආධාර අනුබල ලබා දෙන ඔහුගේ අනුගාමිකයන් එක්ව නැවත වතාවක් මෙවැනි රැස්වීමක් පැවැත්වීම නිසා සාමය ආගමික සංහිදියාව අගයන මෙවැනි ක්‍රියා හෙළා දකින මෙරට ජනතාව අනතර දැඩි නොසන්සුන් කාරී තත්වයක් ඇති විය හැක.

එමගින් ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වයන් වලක්වා ගැනීම සදහා 2023.05.21 වන දින පැවැත්වීමට නියමිත මෙම ආගමික අන්තවාදීන්ගේ රැස්වීමට එරෙහිව ගරු අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගන්නා මෙන් අප ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට
දේශප්‍රේමීත්වයෙන්

ඉරංග විද්වත් මෙන්ඩිස්

ප්‍රචාරක ලේකම්
පිවිතුරු හෙළ උරුමය

සිංගප්පූරුවට ගොස් සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන ඉරිදා (21) යළි දිවයිනට පැමිණීමට නියමිත අතර, ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටයි බොහෝ පාරශ්ව ඉල්ලා සිටින්නේ.

ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග එය රට තුළ දැඩි කතාබහට ලක්වුණා.

ඒ අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා කිරීමත් සමගයි.

කෙසේවෙතත්, ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත් ඔහුගේ ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසුවා.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ඒ අනුවයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ ආගමික ශාස්තෘවරයා සහ ගුරුවරයා ලෙස සැලකෙන සිම්බාබ්වේ ජාතික ඌබට් ඒන්ජල් නමැති මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ සිටින දේවගැතිවරයෙකු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇත්තේ මේ අතරතුරයි.

ඒ අනුව, දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය වත්කම් උපයාගත් ආකාරය මෙන්ම ඔහු සතු දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ද දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිකර තිබෙනවා ෴

+++++++++

ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(18.05.2023 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ආගමික සංහිදියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

අද (18) එම පෙත්සම ගොනුකරනු ලැබුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින්.

පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

එමගින් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ අදාළ දේවගැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි ෴

++++++++++

දේවගැති ජෙරම්ගේ සංහිදියාවට වැට බදින ප්‍රකාශය විපක්ෂ නායක හෙලාදකී

(18.05.2023 – 17:29 +0530 – hirunews.lk/sinhala)

ආගමික සංහිඳියාවට බලපෑම් කරන ආකාරයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිදුකර ඇති වගකීම් විරහිත ප්‍රකාශය පිළිබද පිලිකුල සහ අප්‍රසාදය පලකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රකාශ මගින් ආගමික ගැටුම්, වෛරි සහ කෝපයේ දුර්ගුණද ඇතිවිමේ බරපතළ අවදානමක් පවතින බවයි.

සියලු ආගම්වලට ගරුකිරීම මෙන්ම එම ආගම් ඇදහීමට නිදහස් අවකාශයක් ලබාදීමට පවත්නා සහනශීලි ප්‍රතිපදාව හේතුවී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

එය ප්‍රයෝජනයට ගනිමින් විවිධ පුද්ගලයින්ට සහ විවිධ කල්ලිවලට බුදුදහම ඉලක්ක කර දුර්මත සහ අවිචාරවත් ප්‍රකාශ නිකුත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ ෴

++++++++++++++

https://www.youtube.com/watch?v=gVvll2Kc_0c

+


ෂාෆ්ටර්ගේ දේහය ගොඩගැනීමට අධිකරණයෙන් ඉල්ලීමක්

(18.05.2023 – 23:20 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව බවට පංච (5) පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (18) ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඒ සදහා අවසර ලබා දෙන ලෙසත් පංච (5) පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් එලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, පංච (5) පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් කිරීම සඳහා යලි නඩුව කැඳවිමට අධිකරණය විසින් දින නියම කර තිබෙනවා ෴


ලෝකයේ සුපිරිම වාහනවලින් මෙහෙම පෙරහැරක් කළේ ඩුබායිවල පළවෙනි වතාවට – මාව ගන්න ආවෙ රජ්ජුරුවන්ගෙ වාහනේ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *