තම දියණි‍යන් අපයෝජනය කළ පියවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

තම දියණි‍යන් අපයෝජනය කළ පියවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට


තම දියණි‍යන් අපයෝජනය කළ පියවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(18.05.2023 – 16:40 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දැරියන් හතර (4) දෙනෙකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරුන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චුන්නාකම් සහ වවුනියා පොලිස් බල ප්‍රදේශවල දී වයස අවුරුදු 4, 6, 9, 11 වයසේ දැරියන් සිව් (4) දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකාර පියවරුන් දෙදෙනාට ම (2) දැරියන් දෙදෙනා (2) බැඟින් සිට ඇති අතර එම දියණියන් සිව් දෙනා (4) ම මෙලෙස අපයෝජනයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සැකකාර පියවරුන් දෙදෙනා (2) අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එම සකකාර පියවරුන් දෙදෙනා (2) පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


දහතුන් (13) හැවිරිදි දරුවෙකු පුළුස්සා තුවාල සිදුකල චීවරධාරියෙකු අත්අඩංගුවට

(18.05.2023 – 17:15 +0530 – hirunews.lk/sinhala)

දහතුන් (13) හැවිරිදි පිරිමි දරුවකුගේ ශරීරය තුල සිටින බව කියන යක්ෂයෙකු එලවීමට යැයි පවසා එම දරුවා පුළුස්සා බරපතළ තුවාල සිදුකළ චීවරධාරියකු වීරවිල පොලීසිය විසින් ඊයේ(17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීවරධාරියකු ලෙස පෙනී සිටීමෙන් දේවාලයක් පවත්වාගෙන යන 68 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

දරුවාගේ ශරීරය තුළ යක්ෂයකු සිටී නම් ගින්දර රස්නය ඇඟට නොදැනෙන බව පවසමින් එම දරුවාගේ අත්ල මත කපුරු තබාගිනි දල්වා ඇති බව පොලිසිය පවසනවා.

එම දරුවාගේ මව විදෙස්ගතව සිටින අතර මිත්තනිය සමඟ ජීවත් වන මෙම දරුවාගේ පියාද මොවුන් හැර දමා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූ දරුවා හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන්පසු කරාපිටිය රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා එම දරුවා යොමු කර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ ෴


ජූනි 15 දා සිට විද්‍යාපීඨ ගුරුවරුන් ජාතික හා පළාත් පාසල්වලට

(18.05.2023 – 17:32 +0530 – hirunews.lk/sinhala)

විද්‍යාපීඨ ගුරුවරුන් 7800 කට ජූනි 15 දින නව පත්වීම් ලබා දෙමින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බව අධාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් යුතු ව අද දින (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළින් සමත් එහෙත් අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සිසු-සිසුවියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ලබන වසරේ දී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙක ම එක ම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යයන කටයුතු ක්‍රමානුකූල ව සාමාන්‍ය තත්වයට ගෙන එමින් විභාග කාලසටහන යාවත්කාලීන කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන් ම විද්‍යාව, තාක්ෂණය හා භාෂාව වැනි ගුරු හිඟය වැඩි වශයෙන් පවතින විෂය ක්ෂේත්‍රවලට අනුමැතිය ලබාගැනීමෙන් පසු විශ්ව විද්‍යාලවලින් පිට වන වයස 35 ට අඩු උපාධිධාරීන් අතරින් ජාතික හා පළාත් මට්ටමින් ගුරුවරුන් බඳවාගැනීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ඉන්දීය රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ව 2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අතර ඉන්දියානුවන් අවිහිංසාවාදයේ පියා ලෙස හඳුන්වන මහත්මා ගාන්ධිතුමාගේ ගුණානුස්මරණය පිණිස මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ලෙසින් මෙම ශිෂ්‍යත්වය නම් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


අක්‍රීය ගූගල් ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

(18.05.2023 – 17:39 +0530 – hirunews.lk/sinhala)

වසර දෙකකට (2) වැඩි කාලයක් අක්‍රිය තත්ත්වයේ පවතින ගූගල් ගිණුම් ඉවත් කිරීම සඳහා එහි හිමිකාරිත්වය දරණ ඇල්ෆබට් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට වසර දෙකක (2) කාලයක් අක්‍රිය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත්කෙරෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනවසර පිවිසීම් ඇතුළු නීතිවිරෝධි ක්‍රියා වැළැක්වීම මෙහි අරමුණයි.

ඒ අනුව මෙම තීරණයත් සමඟ අක්‍රිය ගිනුම් හරහා ජී මේල්, යූ ටියුබ් සහ ගූගල් ඩ්‍රයිව් මෙන්ම ගූගල් ෆොටොස් වෙතද එක්කර ඇති ඡායාරූප සහ වීඩියෝ මැකී යනු ඇති ෴


ළමයින් පැහැර ගැනීමේ සිදුවීම අසත්‍යයක් බව අක්මීමන පොලිසිය පවසයි

(18.05.2023 – 17:58 +0530 – hirunews.lk/sinhala)

ළමයින් පැහැරගැනීමට උත්සහ කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් අක්මීමන පොලිස් ස්ථානයෙන් සිදුකළ බව කියන දැනුවත් කිරීමක් පිළිබඳ එම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

සමාජ මාධ්‍යයේ පළවන අදාළ පැහැරගැනීම් පිළිබඳ වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අක්මීමන සහ යක්කලමුල්ල පොලිස් බල ප්‍රදේශයන්හි එවැනි දරුවන් පැහැරගැනීමක් හෝ ඒ සඳහා උත්සහ කිරීමක් පිළිබඳ හෝ වාර්තා වී නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයා අවධාරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ෴


වගා ආරක්ෂාවට ගිනි අවි

(18.05.2023 – 18:23 +0530 – hirunews.lk/sinhala)

වගාවන්හි ආරක්ෂාව සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු අවම වගා භූමි ප්‍රමාණය අක්කර පහ (5) දක්වා සංශෝධනය කිරීමටද රජය තීරණය කර ඇති බවයි ඔහු පවසා සිටියේ.

විවිධ සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානිය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වගා ආරක්ෂාව සඳහා ගිනි අවි භාවිතය සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


ජාත්‍යන්තර විගණනයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවා ආරක්ෂාව උසස් බව තහවරු වේ

(18.05.2023 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පැවැත්වූ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගණනයෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා යෑමට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බව තහවුරු වී තිබෙනවා.

එම නිසා ම ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන් ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ද වඩාත් ආරක්ෂිත බවත් තහවුරු වී ඇති බව සඳහන්.

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාත්‍යන්තර විගණනයේ ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා පැවති විශේෂ හමුව පවත්වා තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී. එස්. විතානගේ, උප සභාපති දමිත නාරංගොඩ, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත ඇතුළු ගුවන් කර්මාන්තයේ නියුතු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ බවයි වාර්තා වන්නේ ෴


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ජනපතිගෙන් විසඳුම්

(18.05.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)

IMF සංශෝධනවලදී තම බදු ගැටලුවට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

එහි දී විශ්වවිද්‍යාල ආචාරවරුන් ඉදිරිපත් කළ මූල්‍ය සහන සහ සෙසෙ වරප්‍රසාද සඳහා සාධාරණ විසදුමක් ලබා දීමට ජනාධිපති එකඟ වූ බව සඳහන්.

වර්තමාන අර්ථික පසුබෑම හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාමේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ පා ඇති ගැටළු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමක් සිදුකර ඇති බවද සඳහන්.

විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු හඳුනාගෙන ඒවා පිරවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

වාර්ෂිකව විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව පවතින අධ්‍යන පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙන්වා දී ඇත්තේ.

මේ වන විට පවතින මූල්‍ය ප්‍රතිපාදන සීමාවන් කළමනාකරණය කර ගනිමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පිඨ සහ විද්‍යා පීඨවල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙනවා.

දැනට නවතා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව යළි ලබාදීමට ඇති හැකියාව පිළිබඳ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා බලධාරින්ට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.

රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී නවීන ලෝකයට ගැළපෙන සේ නිසි උපදේශනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව සඳහන්.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු රේඛීය රාජ්‍ය ආයතන ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


යුද සමයේ පලාගොස් නැවත මෙරටට පැමිණි අයවලුන්ට ජංගම සේවයක්

(18.05.2023 – 20:56 +0530 – hirunews.lk/sinhala)

යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැගෙනහිර පලාතට යලි පැමිණ සිටින සහ එම පලාතේ පදිංචි ජනතාවට පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මැයි මස 26 සහ 27 යන දෙදින (2) තුල ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම ජංගම සේවය අධිකරණ අමාත්‍ය ආචාර්‍ය විජේදාස රාජපක්ෂගේ උපදෙස් පරිදි පැවැත්වීමට නියමිතයි ෴


මෙරට කාන්තාවක් සිංගප්පූරු මහල් නිවාසයකින් ඇදවැටී ජීවිතක්ෂයට

(18.05.2023 – 20:56 +0530 – hirunews.lk/sinhala)

සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකීය කාන්තාවක් මහල් නිවසකින් ඇඳ වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එය අනතුරක්ද දිවි නසා ගැනීමක්ද යන්න පිලිබදව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මිට පෙර ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ ෴


වාහනය පෙර භාවිත කළ අයිතිකරුවන්ගේ නම් ලියාපදිංචි කිරීමේ සහතිකයෙන් ඉවත් කෙරේ

(18.05.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඇතුළත් කළ වාහනය භාවිත කළ පෙර අයිතිකරුවන්ගේ පූර්ණ ලයිස්තුව 2023 මැයි 17 වන දින සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නෙ ආසන්නම පෙර හිමි කරුවාගේ තොරතුරු පමණක් සහතිකයේ ඇතුළත් කරනු ඇති බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පරිගණක දත්ත ගොනුවේ පෙර අයිතිකරුවන්ගේ සම්පූර්ණ තොරතුරු දිගටම පවත්වාගෙන යන බව ද එම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

වාහනයක් අලෙවි කිරීමට යෑමේ දී මෙම පෙර අයිතිකරුවන් ලයිස්තුව මෝටර් රථය ලියාපදිංචි කිරීමේ සහතිකයේ පැවතීම විශාල ගැටලුවක් බවද දිගින් දිගටම ප්‍රකාශ වීම නිසා මෙම තීරණය ගත් බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ෴


14 වන ජාතික රණවිරු සැමරුම් දින උළෙල හෙට (19) පස්වරුවේ බත්තරමුල්ලේදී

(18.05.2023 – 22:05 +0530 – hirunews.lk/sinhala)

14 වන ජාතික රණවිරු සැමරුම් දින උළෙල හෙට (19) පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වීමට නියමිතයි.

මෙහිදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් සමඟ පැවති 30 වසරක යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සිදුකෙරෙනු ඇති ෴


අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

(18.05.2023 – 22:15 +0530 – hirunews.lk/sinhala)

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කිරිබත්ගොඩ පොලිසිය විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත‍යි.

මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සිසුන් කැලණිය සරසවිය අසල අද (18) සවස ආරම්භ කරන ලද සිසු විරෝධයක් අතරතුරදීයි.

මෙහිදී සරසවි සිසුන් රැසක් පන්දම්ද රැගෙන සරසවි භූමියේ සිට කොළඹ – මහනුවර මාර්ගය දෙසට ගමන් කර ඇති අතර එහිදී පොලිසිය විසින් දැඩි රැකවල් යොදා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *