පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ

පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ


පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ

(18.05.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 14 ක පිරිමි දරුවෙකු යන්තම්පලාව නගරයේ දී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වී තිබෙනවා.

කාත්තන්කුඩිය ප්‍රදේශයේ සිට සිය මස්සිනා බැලීම සදහා කුරුණෑගල රෝහලට පැමිණ තිබු අදාළ දරුවා ආපසු යාමට උත්සහ කිරීමේ දී නොදැනුවත්කම හේතුවෙන් බස් රථය වැරදී තිබෙනවා.

එහිදී නැවත කුරුණෑගලට යන ආකාරය විමසීමට අසල වූ ලීසිං සමාගමකට මෙම දරුවා ගොස් ඇති අතර එහි සේවය කල සේවකයින් තිදෙනෙකු (3) විසින් මෙම දරුවාව බරපතල ලිංගික අපයෝජනයන්ට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සැල වීමත් සමග ප්‍රදේශයේ තරුණයින් විසින් අදාළ ලිසින් සමාගම වටකරමින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිසිය පැමිණිමේ ප්‍රමාදයත් සමග සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් ඇති බවටයි තරුණයින් චෝදනා කරන්නේ.

+


බ්‍රසීලය ශ්‍රී ලංකාවට වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

(18.05.2023 – 11:01 +0530 – hirunews.lk/sinhala)

බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය හරහා බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජය (ABC) ඖෂධ අන්තර්ගත කුප්පි 10,000 ක් ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මෙම වෛද්‍ය පරිත්‍යාගය ලබාගෙන තිබෙනවා.

ඊයෙ (17) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති Sergio Luiz Canaes වෙතින් මෙම පරිත්‍යාග සිදු වුණා.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ඉස්මතු කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මෙම සුහද ක්‍රියාව අගය කරන බව බ්‍රසීල රජය ප්‍රකාශ කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඕ.එල්. අමීරාජ්වාඩ් සහ අනෙකුත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා ෴


ඩොලරය රු. 300 නුත් පහළට

(18.05.2023 – 11:43 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (මැයි 18) රු. 300 න් පහළ අගයක් දක්වා අඩු වුනා.

ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය දැක්වෙන සටහන්වල එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අගය රු.300 සීමාවට වඩා පහළ අගයක් ගනු ලැබුවා.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.59 ක් වන අතර විකුණුම් මිල රු. 313.52 ක් ලෙස දැක්වුනා.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92 ක් වන අතර විකුණුම් මිල රු. 310 ක් ලෙසයි දැක්වුනේ.

සම්පත් බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300 ක් ලෙසත් විකුණුම් මිල රු. 312 ක් ලෙසත් දක්වා තිබුණා.

මහ බැංකු වාර්තා අනුව 2022 වර්ෂයේ අප්‍රෙල් මස සිට ඉහළ ගිය ඩොලරය මෙලෙස පහත වැටී ඇත්තේ මාස 13 කට ආසන්න කාලයකට පසුවයි ෴


ආගමන විගමන දෙපාර්තමේන්තුවට සී.අයි.ඩී. කණ්ඩායමක්

(18.05.2023 – 12:33 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීමට මුදල් ලබාගන්නා පිටස්තර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් එම පරිශ්‍රයට යොදවා තිබෙනවා.

මීට අමතරව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින්ගේ සහයද ලබාගෙන ඇති බවයි ආගමන විගමන පාලක හර්ෂ ඉලු‍ක්පිටිය සඳහන් කළේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට ඒවා කඩිනමින් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් ලබාගන්නා පුද්ගලයින් කණ්ඩායමක් පිළිබදව ‘හිරු සී.අයි.ඒ.’ ඊයේ (17) විශේෂ අනාවරණයක් සිදු කළා.

ඇතැම් අවස්ථාවල මෙම පුද්ගලයන්ට දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේද ආශිර්වාදය ලැබෙන බවටයි එහිදී චෝදනා එල්ලවුණේ.

මෙම අනාවරණයෙන් පසු වගකිවයුතු අංශ මේ පිළිබදව කඩිනම් අවධානය යොමුකර තිබුණා.

ඒ අනුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහය ලබාගෙන ඇති බවයි ආගමන විගමන පාලක හර්ෂ ඉලු‍ක්පිටිය කියා සිටියේ.

එමෙන්ම, ජුනි මස මුල සිට ජනතාව කිසිම විටෙක තම විදේශ ගමන් බලපත්‍රය සකස් කරගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීම අවශ්‍ය නොවනු ඇති.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ අයදුම්පත්‍රය ඔන්ලයින් ඔස්සේ යොමුකළ හැකි බවයි ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ.

ඊට අදාළ ගෙවීම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගිණුමකට බැරකළ හැකි අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සිය ඇඟිලි සළකුණු ලබාදිය හැකියි.

පසුව දින තුනක් (3) තුල විදේශ ගමන් බලපත්‍රය ලියාපදිංචි තැපෑලෙන් නිවසට ලබාදෙන බවයි ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ.

මේ අතර, සියලුම රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය, විදුලිය, ඉන්ධන සහ දුරකථන වෙනුවෙන් භාවිත කරන ලද මාසික ඒකක ගණන ඇතුළත් තොරතුරු වාර්තාවක් කැඳවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ ජුනි මස 30 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා මාස 06 ක කාලයක් සඳහා මාසික වැයවී ඇති ඒකක ගණන පිළිබඳ දත්ත ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

+


මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

(18.05.2023 – 12:49 +0530 – hirunews.lk/sinhala)

හෝටල් ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 65 ක් ලබා ගෙන වංචාවක් සිදු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව ඕල්කට් මාවත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බව පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා ෴


යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීමට යාමේ දී උණුසුම් තත්ත්වයක්

(18.05.2023 – 12:52 +0530 – hirunews.lk/sinhala)

යුධ සමයේ මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද (18) පෙරවරුවේ දී බොරැල්ල කනත්ත වටරවුමේ දී පැවැත් වුණා.

එහි දී එම ස්ථානයට පැමිණි පාර්ශවයක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පොලීසිය සහ කැරලි මර්ධන ඒකකය මැදිහත් වී පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කළේ ෴


දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණයක්

(18.05.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති උණුසුම් සහිත කාලගුණ තත්ත්වය, නිරිත දිග මෝසම ආරම්භ වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එළැඹෙන 20 වනදාත් 25 වනදාත් අතර කාලයේදී නිරිත දිග මෝසම සක්‍රීය වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම, උතුර, උතුරු – මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් උණුසුම් දර්ශකය, අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව වාර්තා වනවා.

මේ අතර, ගතවූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය සෙල්සියස් අංශක 37.3 ක් ෴


‘හූකා’ දුම්කොළ කිලෝග්‍රෑම් 8,010 ක් රේගු භාරයට

(18.05.2023 – 15:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු විශ්ලේශණයෙන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සැක කටයුතු බහාලුමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බහාලුම පරීක්ෂා කිරීමේ දී එය තුල තිබී ‘ශිෂා’ නමැති උපකරණය භාවිතා කර ‘වාෂ්ප දුම් පානය’ සඳහා අවශ්‍ය වන ‘හූකා තරලය’ (Hookah Tobacco) අඩංගු පැකට්ටු තොගයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහි මුළු ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 8010 ක් වන ග්‍රෑම් 50 බැගින් අඩංගු කුඩා පැකට්ටු 160,200 ක් අඩංගු වී තිබෙනවා.

මෙහි වෙළඳපළ වටිනාකම රුපියල් 164,000,000 ක් පමණ වන බවට තක්සේරු කර තිබෙන්නේ.

මෙම තරලය තුල නිකොටින් 0.05% අඩංගු අතර මෙය ලංකාවට ආනයනය සීමා කර ඇති ද්‍රව්‍යයක්.

මෙම බහාලුම ව්‍යාජ සමාගමක නමට ශ්‍රී ලංකාවට ඒවා තිබූ බවයි වාර්තා වන්නේ ෴


විදුලි ගාස්තු සශෝධන ඉල්ලීම උපයෝගිතා කොමිසම පිළිගන්නේ නැහැ

(18.05.2023 – 15:16 +0530 – hirunews.lk/sinhala)

ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට තුනක (3%) විදුලි ගාස්තු අඩුකිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිගත නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට

(18.05.2023 – 16:01 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පුත්තලම මද්‍රාසා ශාලාවකට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු (කථිකාචාර්යවරුන් දෙදෙනෙකු (2) ඇතුළුව) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (18) නියෝග කළා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මැයි 31 වැනි දා දක්වායි ෴


මත්ද්‍රව්‍ය තොගයක් යාත්‍රාවකින් ගෙන ගිය පිරිසක් නාවික හමුදා භාරයට

(18.05.2023 – 16:32 +0530 – hirunews.lk/sinhala)

දකුණු මුහුදේ යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් රුපියල් කෝටි 240 කට ආසන්න වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ එම මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි 6 දෙනෙකුද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 6 දෙනෙකු සමඟ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙතෙක් ගණනය කර නැහැ.

නාවික හමුදාවේ විජයබාහු නෞකාව මගින් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි කටයුතු සඳහා කොළඹ වරාය වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *