ආගමන විගමන කාර්යාලයේ ජාවාරමක් ගැන හිරු CIA අනාවරණයක්

ආගමන විගමන කාර්යාලයේ ජාවාරමක් ගැන හිරු CIA අනාවරණයක්


ආගමන විගමන කාර්යාලයේ ජාවාරමක් ගැන හිරු CIA අනාවරණයක්

(17.05.2023 – 21:44 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක තැරැව්කරුවන්ගේ ජාවාරමක් හෙළිකර ගැනීමට ‘හිරු CIA’ කණ්ඩායම සමත් වී තිබෙනවා.

මේ ජාවාරම්කරුවන් බහුතරය මත්දුව්‍යවලට ඇබ්බැහි වූවන් බවයි ඒ පිළිබඳව දින කිහිපයක් තිස්සේ සිදු කළ විපරම්වලින් වලදී අනාවරණය වී ඇත්තේ.

දිවයිනේ නන් දෙසින් බොහෝ දුර කතර ගෙවාගෙන විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාව බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට මෙලෙස රැඳී සිටින්නේ, බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනයි.

රැයක් දවාලක් නොමැතිව දින ගණන්, මේ ජනතාව රැඳී සිටින්නේ, තම විදේශ ගමන් බලපත්‍රය කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්.

එහෙත්, ආගමන විගමන කාර්යාලය අවට වෙසෙන ඇතැම් පුද්ගලයින් සහ එහි පැමිණෙන තවත් ජාවාරම්කරුවන් මේ පිරිස දෙස විමසුම් ඇසින් බලා සිටින්නේ මුදල් ගරා ගැනීමේ ගිජු අපේක්ෂාවෙන් පමණයි.

එහිදී හමු වූ මෙම ජාවාරමේ නිරත වන පුද්ගලයින් මත්ද්‍රව්‍යවලට බොහෝ සෙයින් ඇබ්බැහි වූ පුද්ගලයින්.

මීට අමතරව, ආගමන විගමන කාර්යාලයේ නිලධාරීන් හා සම්බන්ධ වී මෙම ජාවාරමේ නිරත වන තවත් ජාවාරම්කරුවන් බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අරක්ගෙන සිටින බවයි වාර්තා වන්නේ.

සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අයදුම් කරන පුද්ගලයින්ට, මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්දින සේවාව හරහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම ජාවාරම්කරුවන් අවස්ථාව සළසා දෙනවා.

ඒ අදාළ පෝලිමට ඔවුන්ව සූක්ෂම ලෙස ඇතුළත් කරමින්.

ආගමන විගමන කාර්යාලයේ නිලධාරීන්ද මීට සම්බන්ධ බවට ද සාක්ෂි ලැබී තිබෙන බව සඳහන්.

මෙම ජාවාරම්කරුවන් හරහා ඇතැමුන් පැය කිහිපයකින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නේ නිවැරදි ක්‍රමවේදය ඔස්සේ පැමිණනෙ ජනතාව දින කිහිපයක් ඒ වෙනුවෙන් රස්තියාදු වන පසුබිමකයි.

මෙලෙස ජනතාවගෙන් මුදල් ගරා ගන්නා මෙම ජාවාරම්කරුවන් ඒවා වැය කරන්නේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමටයි.

+


සරසවි ඇදුරන්ගෙන් විභාග දෙපාර්තමේන්තුවට චෝදනාවක්

(17.05.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

සති තුනකට (3) අඩු කාලයකදී උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයිම් සිදුකළත් ප්‍රතිඵල නිකුත් කිරිමට කල් ගතවන්නේ විභාග දෙපාර්තමේන්තුවේ ආකාර්යක්ෂමතාව හේතුවෙන් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ කියා සිටියේ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් කිරිමෙන් පසු කෙටි කාලයක් තුළ එහි ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළයුතු බවයි.

මේ අතර, රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුව ඇති බලපෑම පිළිබඳව ජනාධිපතිවරයා සමඟ හෙට (18) සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කියා සිටියා.

මේ අතර සිය දීමනා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගැනීමත් සමඟ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට ගුරුවරුන්ගේ දායකත්වය මේ වනවිට ලබාදී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

කෙසේ වෙතත් එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ මීට පෙර පැවැත්වු විභාගවල ඇගයීම් කටයුතු වෙනුවෙන් ගුරුවරුන්ට අදාළ ගෙවීම් මෙතෙක් සිදු කර නොමැති බවයි ෴


වෛද්‍ය සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

(17.05.2023 – 14:48 +0530 – hirunews.lk/sinhala)

කාන්තා රෝගීන් වඳ භාවයට පත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නම කියැවුණු වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් විසින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (16) නිෂ්ප්‍රභ කර තිබෙනවා.

විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම ඉදිරියට ගෙන යාමට අවසර දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් වෙනුවෙන් නීතිඥ රුෂ්ඩි හබීබ් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ කුරුණෑගල පොලිස් ස්ථානයේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පොලිස්පති චන්දන වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්.

1979 අංක 48 දරණ් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පෙත්සම්කරු විසින් අභියෝගයට ලක් කර තිබුණා.

වෛද්‍ය ෂිහාබ්දීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ දී වගඋත්තරකරුවන් ද්වේෂ සහගතව, අත්තනෝමතික ලෙස සහ නීති විරෝධී ලෙස කටයුතු කර ඇති බව පෙත්සම්කරු සඳහන් කළා.

වෛද්‍ය ෂිහාබ්දීන් අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ අඛණ්ඩව රඳවා තබා ගැනීම ‘නීති විරෝධී, අසාධාරණ, අසමාන සහ බලය අයුතු ලෙස භාවිත කිරීමක්’ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියා තිබෙනවා.

නීතිඥ හෆීල් ෆාරිස් සමඟ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි තිබෙනවා ෴


පුද්ගලයින් විදේශ ගතකරන බවට පවසමින් මුදල් වංචාකළ අයෙක් අත්අඩංගුවට

(17.05.2023 – 15:10 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අදාළ ආයතනයට විරුද්ධව පැමිණිලි 31 ක් තම කාර්යාංශය වෙත ලැබුණු බවයි.

පුද්ගලයින් විදේශගත කරන බව පවසමින් රුපියල් ලක්ෂ 42 ක මුදලක් අදාළ ආයතනය මගින් වංචාකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය මගින් මෙම ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් මෙහෙයවූ බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට

(17.05.2023 – 16:14 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් මෙහෙය වූ මහර බන්ධනාගාර ජේලර්වරයෙකු ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ පොලිසිය සඳහන් කළේ බන්ධනාගාර ජේලර්වරයා ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු කළ ඉල්ලීමක් මත ‘අයිස්’ නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට පැමිණීමේදී ගම්පහ – කිරිදිවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

සෙසු සැකකරුවන් ගම්පහ – උග්ගල්බඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටියා.

සැකකරුවන් අද (17) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මවගේ පෙම්වතාගේ පොලු පහරින් දරුවා මරුට

(17.05.2023 – 16:49 +0530 – hirunews.lk/sinhala)

මවගේ අනියම් පෙම්වතාගේ පොලු පහරින් බරපතළ තුවාල ලැබූ දාහත් (17) හැවිරිදි පුතෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන කාර්මිකයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකාර පුද්ගලයා පසුගිය දොළොස් (12) වැනි දා බීමත්ව නිවෙසට පැමිණ මිය ගිය දරුවාගේ මව සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර එම අවස්ථාවේ දී දරුවා විසින් ඔහුට බැන වැදී තිබෙනවා.

දරුවා පවසා ඇත්තේ “බීල ආවනං සද්ද නැතුව ඉන්න” ලෙසයි.

එම වචනයට කිපුණු සැකකරු යකඩ පොල්ලකින් දරුවාට පහර දී තිබෙන බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පහරකෑමෙන් තුවාල ලැබූ දහහත් (17) හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිසා ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එහිදී මෙම දරුවා මියගොස් ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කළේ ෴


‘එක්ස්ප්‍රස් පර්ල්’ හිමිකරුවන්ට එරෙහිව නඩු

(17.05.2023 – 16:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් ‘එක්ස්ප්‍රස් පර්ල්’ සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර පවසනවා.

මෙම හිමිකම් පෑමේ ඉල්ලීම සිදු කරන ලද්දේ පසුගිය අප්‍රේල් 25 වෙනිදායි.

අදාළ නඩු විභාගය මැයි 15 වැනිදා සිංගප්පූරු මහාධිකරණය හමුවේ කැඳවන ලද අතර, එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරමක් ජුනි 01 වැනිදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට සලකා බලමින් සිටිනවා.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

මේ අතර අදාල වන්දි ලබාගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 250 ක මුදලක අල්ලසක් ලෙස ලබාගැනීම ගැන පසුගියදා පාර්ලිමේන්තුවේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද කථාබහට ලක්වු අතර එහිදි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපති දර්ශනි ලහඳපුරට ද ‍චෝදනා එල්ල කෙරුණා.

+


මෙරට ඛනිජ සම්පත්වලට නව එළියක්

(17.05.2023 – 17:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට පතල් කර්මාන්තයේ ආයෝජන අවස්ථා වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් Fortescue Future Industries හි විධායක සභාපති ආචාර්ය Andrew Forest සමඟ භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීන් ඊයේ (16) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදේශකටයුතු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ද සහභාගී වී සිටියා.

හෝරා කිහිපයක් පැවති මෙම සාකච්ඡාවේ දී මෙරට භූ විද්‍යා ක්ෂේත්‍රයේ නව්‍යතා රැසක් පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

පතල් ක්ෂේත්‍රයේ පවතින අවස්ථා ගවේෂණය කිරීමටත්, සම්පත් ප්‍රයෝජනයට ගැනීමටත්, වර්ධනය වැඩි දියුණු කිරීමටත් හැකිවන ආයෝජන අපේක්ෂාවන් ආකර්ෂණය කර ගැනීමට ද මෙහි දී අවධානය යොමු වී තිබෙනවා ෴


ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයෙන් සහාය

(17.05.2023 – 17:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සඳහා සිය මූල්‍ය ආයතන වෙත සහාය වෙන බව චීන විදේශ අමාත්‍යාංශය අද (17) ප්‍රකාශ කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් චීනය නිශ්චිතව සහ අඛණ්ඩව ක්‍රියාකාරීව කටයුතු කරන බවයි.

මෙහිදී ශ්‍රී ලංකා රජය පවසා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බවත් චීනය ඇතුළු ණය හිමියන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්ය ෴


ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

(17.05.2023 – 23:25 +0530 – hirunews.lk/sinhala)

‘විදුලි බල, ඛනිජ තෙල්, රෝහල් සේවා’ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ෴


වගා ආරක්‍ෂණ‍ය වෙනුවෙන් ගිනි අවි ලබා දේ

(17.05.2023 – 23:40 +0530 – hirunews.lk/sinhala)

වගා ආරක්‍ෂණය සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබෙනවා.

වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත් වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි හෙතෙම සඳහන් කරන්නේ.

වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කරනවා.

වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත් වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මේ පියවර ගත් බවයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *