නැගෙනහිර පළාත ඔසවා තබන්නට සහයෝගය දුන් සැමට ස්තුතියි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ධුරයෙන් සමුගනිමින් කියයි

නැගෙනහිර පළාත ඔසවා තබන්නට සහයෝගය දුන් සැමට ස්තුතියි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ධුරයෙන් සමුගනිමින් කියයි


නැගෙනහිර පළාත ඔසවා තබන්නට සහයෝගය දුන් සැමට ස්තුතියි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ධුරයෙන් සමුගනිමින් කියයි

(17.05.2023 – 22:08 +0530 – lankaleadnews.com)

ආණ්ඩුකාර ධුරයෙන් සමුගත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තම ධුරයේ වැඩ කටයුතු නිමා කරමින් විශේෂ මාධ්‍ය සාක්ච්ඡාවක් පැවැත්වීය.

ඒ වසර තුනහමාරක (3½) පමණ කාලයක් ආණ්ඩුකාර ධුරයේ රැදී සිටීමට තමන්ට සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පුදකිරීම සඳහාය.

ආණ්ඩුකාරවරියක් ලෙස තමන්ට නැගෙනහිර පළාතේ තම සේවය උපරිමයෙන් කරගෙන යාමට හැකිවූයේ කිසිඳු දේශපාලනයකට ගැති නොවී ස්වාධීනව කටයුතු කළ නිසා බවත්, ආණ්ඩුකාරවරුන් දේශපාලනික නොවී කටයුතු කිරීම මගින් සියලු පාර්ශවයන්ට එක හා සමානව තම සේවය ලබාදීමට හැකි වන බවත් අනුරාධා යහම්පත් මහත්මිය මෙහිදී පැවසුවාය.

නැගෙනහිර පළාත විවිධ ජනවර්ග, ආගම් හා සංස්කෘතීන්ගෙන් සමන්විත ප්‍රදේශයක් වුවත් තමන්ට එම සියලු ජනතාවට එක හා සමානව සේවය කිරීමට හැකි වූ බවද, විවිධ දේශපාලන බලපෑම් එල්ල වුවද කිසිඳු දේශපාලන පාර්ශ්වයකට ගැති නොවී වැඩකටයුතු කළ නිසා ජනතාව තමන් හා ඉතා සමීප වූ බවද ඇය සඳහන් කළේය.

නැගෙනහිර පළාතට සෑම රටකින්ම පාහේ තානාපතිවරු පැමිණ ඇති බවත්, විදේශ රටවල සිට පැමිණෙන අයට නැගෙනහිර පළාතේ ආයොජන සඳහා ඉඩකඩ සපයාදුන් බවත්, චීන තානාපති කාර්යාලයෙන් හා යුවෑන් රාජ්‍යයෙන් මෙම ආයෝජන ව්‍යාපෘති පිළිබඳව උනන්දුව ප්‍රකාශ කළ බවත් අනුරාධා යහම්පත් මහත්මිය මෙහිදී පැවසීය.

තමන් ආණ්ඩුකාරවරිය ලෙස නැගෙනහිර පළාතේ ලැබූ වඩාත්ම වැදගත් ජයග්‍රණය වූයේ නැගෙනහිර පළාතේ අධ්‍යාපනය ඉහළට ඔසවා තීබීමට හැකිවීම බව ඇය සඳහන් කරයි.

එමෙන්ම එම පළාතේ කෘෂි සංස්කෘතිය දියුණු කිරීමත්, යුද්ධයෙන් අසරණ වූ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විසඳුම් ලබාදීමට හැකි වීමත් තමන් ලැබූ ජයග්‍රහණ බවයි ඇය පවසන්නේ.

මෙරට ‘පන්සිල් පද පහ’ රකින සමාජයක් බිහිකළ යුතු බවත්, එමගින් රට පත්ව ඇති ආර්ථික, දේශපාලනික හා සමාජ පරිහානිය වළක්වා ගත හැකි බවත් මෙම මාධ්‍ය හමුවේදී ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මේ අතර, ජාතික සංවිධාන එකමුතුව පවසන්නේ ආණ්ඩුකාර ධුරයෙන් සමුගත් අනුරාධා යහම්පත් මහත්මියගේ සමාජ මෙහෙවර වෙනුවෙන් හා ඇයගේ ඉදිරි කටයුතු වෙනුවෙන් දිගින් දිගටම පෙනීසිටින බවයි.

+


ඇඹිලිපිටියේ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

(17.05.2023 – 06:41 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය උඩවලව මාර්ගයේ 98 හන්දිය අසල දී ඊයේ (16) යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 ක තරුණයෙකු බව සඳහන්.

ඔහුට වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක වැදී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇඹිලිපිටිය පොලීසිය මේ පිළිබඳ වැඩි දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


මහඉලුප්පල්ලම ප්‍රදේශයේ රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

(17.05.2023 – 07:58 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවෙක් බව සඳහන්.

මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පැවති උපකාරක පන්තියකට සහභාගී වී පාපැදියෙන් යළි නිවසට පැමිණෙමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට ඔහු මුහුණ පා ඇති අතර මෙහිදී සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය සිසුවාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු සිසුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණද ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කර ගත නොහැකිව පැමිණ සිසුවාගේ ගැටුණු බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ සිය නිවසට මීටර් 500 ක් පමණ දුරකින් අදාළ සිසුවා මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දුන් බවත් ය ෴

+++++++++

15 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට පත් කළ කාර් රථය පැහැරගත් එකක් බව හෙළි වෙයි

(17.05.2023 – 12:22 +0530 – hirunews.lk/sinhala)

මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පැවති උපකාරක පන්තියකට සහභාගී වී පාපැදියෙන් යළි නිවසට පැමිණෙමින් සිටිය දී කාර් රථයක ගැටී ජීවිතක්ෂයට පත් වූ 15 හැවිරිදි පාසල් සිසුවා අනතුරට ලක් කළ එම රථය පැහැරගත් රථයක් බව හෙළි වී තිබෙනවා.

රූපවාහිනි ඇන්ටනා සවි කිරීමට පැමිණි පුද්ගලයකුව තියුණු ආයුධයකින් කපා ඔහු සතුව තිබූ මෙම කාර් රථය පැහැරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රූපවාහිනි ඇන්ටනාවක් සවි කිරීමට පැමිණෙන ලෙස පැමිණිලිකරුට කාන්තාවක් විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර ඒ අනුව යාපනය හන්දියට පැමිණිලිකරු පැමිණ සිටියදී එම ස්ථානයට පැමිණි යුවල ඊයේ (16) සවස මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත් සිසුවා දෙසට ඉදිරියෙන් පැමිණි මෙම මෝටර් රථය සිසුවාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු සිසුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණද ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

එම කාර් රථය පැද වූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම පිළිබඳ තව දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


සාමාන්‍ය පෙළ පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපැල් කිරීම ඇරඹේ

(17.05.2023 – 08:42 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර සහ කාලසටහන් විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතද මේ වනවිට තැපැල් කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

එම කටයුතු පෙරේදා (15) ආරම්භ කළ බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ..

විභාග ප්‍රවේශපත්‍ර නොලද පාසල් අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර, පාසල් ප්‍රධානීන් වෙතද, පෞද්ගලික අපේක්ෂකයන්ට අයදුම්කරුවන් වෙතද හෙට (18) සිට විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමේ අවස්ථාව පවතිනවා.

ඒවායේ යම් සංශෝධනයක් සිදුකරගැනීමට නම් මැයි 24 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

2022 සාමාන්‍ය පෙළ විභාගය මේ මස 29 වනදා සිට ජූනි 08 වනදා දක්වායි පැවැත්වීමටයි සැළසුම් කර තිබෙනවා..

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා ඉල්ලුම් කර නොමැති අයදුම්කරුවන් හැකි ඉක්මණින් අදාළ අයදුම්පත ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලෙසයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලැබී නොමැති අයදුම්කරුවන්ට 011 522 6100 අංකය හෝ 011 422 6126 අංකයෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට හැකියාවක් පවතිනවා ෴


අද (17) උණුසුම් දර්ශකය ඉහළට

(17.05.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අද (17) දිනයේ උණුසුම් දර්ශකය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඬු පෙරළීම් වැනි තත්වයන්ද ඇතිවිය හැකි අතර ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටීම මෙන්ම කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොසිටීමද සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ.

පවතින උණුසුම හමුවේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කර සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ෴


ලබන වසරේ (2024) සිට කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට පියවර

(17.05.2023 – 09:24 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ සිට සියලුම පාසල්වල 6 යේ සිට 13 ශ්‍රේණි දක්වා කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණය යන විෂයන් ඉගැන්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (16) පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ එහි නියමු ව්‍යාපෘතිය ලබන මස අගදී තෝරාගත් පාසල් විස්සක (20) ක්‍රියාත්මක කරන බවයි ෴


වෙන්නප්පුවේ මවක් සහ දරුවන් දෙදෙනෙකු (2) අතුරුදන් වී ඇති බවට පැමිණිලි

(17.05.2023 – 10:01 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව ප්‍රදේශයේ මවක් සහ දරුවන් දෙදෙනෙකු (2) අතුරුදන් වී ඇති බවට පියා විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුගිය 07 වන දා සිට මෙලෙස සිය බිරිඳ සහ දරු දෙදෙනා (2) ආගිය අතක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමක දී වෙන්නප්පුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මවගේ දුරකතනරය ක්‍රියා විරහිත කර ඇති අතර තොරතුරු කිහිපයක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි ෴


දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ සේවකයින් සංකේත වර්ජනයක

(17.05.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala)

ආදායම් ඉලක්ක සපුරා තිබිය දී දිරි දීමනා කප්පාදු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දේශීය ආදායම් සේවකයින් අද (17) සංකේත වර්ජනයක නිරතවනවා.

මේ සඳහා විධායක ශ්‍රේණි නිළධාරීන් ඇතුළු අනෙකුත් සියලු ශ්‍රේණිවල නිළධාරීන් එක්ව සිටි බවයි දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පුෂ්ප කුමාර කියා සිටියේ ෴


බහාලුම් 14,000 ක් ප්‍රවාහනය කළ හැකි නෞකාවක් පළමු වරට කොළඹ වරායට

(17.05.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala)

බහාලුම් 14,000 ක් ප්‍රවාහනය කළ හැකි සිංගප්පූරු ධජය යටතේ ලියා පදිංචි කළ ‘වෑන් හයි ඒ 10’ නෞකාව කොළඹ වරායට පළමුවරට සේන්දු වුණා.

එය පිළිගැනීම සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද පැමිණ සිටි අතර මෙම නෞකාව මීටර 335 ක දිගින් සහ මීටර 51 ක පළලින් යුක්තයි.

අග්නිදිග ආසියානු කලාපයේ සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත සෘජු සේවා සැපයිම මෙම නෞකාව මගින් සිදු කෙරෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *