සාමාන්‍ය පෙළ විභාගයට හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැළැස්මක්

සාමාන්‍ය පෙළ විභාගයට හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැළැස්මක්


සාමාන්‍ය පෙළ විභාගයට හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැළැස්මක්

(16.05.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම සඳහා සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් එය ඊයේ (15) විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර වෙත භාරදුන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. සාමාන්‍ය පෙළ විභාගය මේ මස 29 වනදා සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වීමට නියමිතයි.

එබැවින් නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වනවා.

එමෙන්ම, ඩෙංගු වසංගතය හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල්හි ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදුකරන ලෙසටයි අදාළ බලධාරින් වෙත දැනුම්දී ඇත්තේ.

මේ අතර, උසස් පෙළ විභාගයේ ඇගයීමේ කාර්යයන් සදහා සම්බන්ධ වී සිටින පරීක්ෂකවරුන් වෙත ගෙවීමට නියමිත දීමනාවෙන් කොටසක් අත්තිකාරකමක් ලෙස ලබාදීමට පියවර ගත් බවද ඔහු කියා සිටියා.

රුපියල් 5000 ක අත්තිකාරම් මුදල ගෙවීම තවදුරටත් ප්‍රමාද කිරීම හේතුවෙන් ඇතැම් ගුරුවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලින් ඉවත්වී සිටින බව ඊයේ (15) දහවල් හිරු ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණ කළා.

කෙසේ වෙතත්, එම පුවත වාර්තා වීමත් සමග විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ අදාළ අත්තිකාරම් මුදල ගෙවීමට කටයුතු කරමින් සිටින බවයි ෴

++++++++++

සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට විශේෂ පණිවිඩයක්

(16.05.2023 – 15:30 +0530 – hirunews.lk/sinhala)

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්‍ෂකයන් ඒ සඳහා අයදුම්පත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී පවසනවා.

ඉල්ලුම්පත යොමු කළ ද මෙතෙක් ජාතික හැදුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන් එම දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති අයදුම්කරුවන් නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරියාවරයා සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කළ යුතු බවද සඳහන්.

තහවුරු කිරීමේ ලිපිය නොලැබු අයදුම්කරුවන් 011 522 6100 හෝ 011 522 6126 යන දුරකථනවලට ඇමතීමෙන් විමසීම් කළ හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ෴

+++++++++

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳ දැනුම්දීමක්

(16.05.2023 – 17:48 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම මෙම මස 23 වන දින මධ්‍යම රාත්‍රී 12:00 සිට තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරනවා.

23 වනදා සිට විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම හා විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කළේ 23 වැනිදා සිට අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.

යම් පුද්ගලයෙකු අදාළ නියෝග කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම්දෙන ලෙසයි ඔහු සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජුනි මස 08 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී පැවැත්වීමට නියමිතයි ෴


පවතින සහල් තොග සත්ව ආහාර සඳහා යොදා නොගැනීමේ තීරණයක්

(16.05.2023 – 11:13 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග යොදා ගැනීමට නිර්දේශ ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ (15) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇති බව සඳහන්.

2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනමත් සමග මෙරට බඩඉරිගු වගාවේ අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 ක් දක්වා අඩු වීම නිසා පසුගිය වසරේදී සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු විශාල හිඟයක් පවතින අතර දැනට පවතින බඩඉරිඟු ප්‍රමාණය අනුව සත්ත්ව ආහාර සැකසීම සඳහා තවත් මෙට්‍රික් ටොන් 217,633 ක් අවශ්‍යව බවයි සඳහන් වන්නේ.

ඒ අනුව බඩඉරිඟු ප්‍රමාණය සඳහා සහල් යොදා ගැනීමේ හැකියාවක් ඇතත් යල කන්නයේ අස්වනු නෙලා ගන්නා තෙක් පවතින සහල් හා වී තොග සත්ත්ව ආහාර සඳහා යොදා නොගැනීමටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇතිඋ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


සෙවණඟල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

(16.05.2023 – 12:29 +0530 – hirunews.lk/sinhala)

දරුවාගේ අත් ඔරලෝසු පළහිලව්වකට මැදිහත් වූ පියෙකු පුද්ගලයින් තිදෙනෙකු (3) විසින් එල්ල කළ පිහි පහරකින් ඊයේ (15) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ලෝක ළමා දිනයේ දී එම දරුවා විසින් පුද්ගලයෙකුගෙන් අත් ඔරලෝසුවක් ආපසු දෙන පදනම යටතේ ලබා ගෙන තිබෙනවා.

එම දරුවා අතින් එම ඔරලෝසුව අස්ථානගත වී තිබූ අතර එය සම්බන්ධයෙන් ඔරලෝසු හිමිකරු සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදුකර තිබෙනවා.

මෙම පිහි පාරපාර එල්ල කළ ප්‍රධාන සැකකරු ‘කමාන්ඩෝ කබ්බා’ නමින් හැඳින්වෙන යුධ හමුදා සෙබළෙලක් වන අතර ඝාතනයට ආධාර අනුබල දුන් ‘බඹරා’ සහ ‘ඇරියස්’ යන අන්වර්ත නාම වලින් හැඳින්වෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


අනාරක්ෂිත තත්ත්වයේ සිටි දරුවන් තිදෙනෙකු (3) පොලිස් බාරයට

(16.05.2023 – 18:40 +0530 – hirunews.lk/sinhala)

කුසට අහරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනෙකු (3) සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.

12 හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති දැරියක සහ ඇයගේ අවුරුදු 7 ක් සහ 8 ක් වයසැති සොහොයුරන් දෙදෙනකු (2) ඔවුන්ගේ ආරක්ෂාව පතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දරු තිදෙනා (3) ගේ පියා මියගොස් ඇති බව පොලිසිය කියයි.

මව රෝගී තත්වයෙන් ප්‍රතිකාර නොලබා මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ නිවස තුළ බිම වැතිරී සිටිය දී රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

පිරිමි දරු දෙදෙනා (2) කලකට පෙර පාසල් ගොස් ඇති බවත් පවතින අගහිඟකම් මධ්‍යයේ පාසල් ගමන අතහැර ගොස් ඇති බවත් පොලීසිය පවසනවා.

මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම්.කේ. රමණී විසින් දරු තිදෙනා (3) ඔවුන්ගේ බාරයට ගෙන මව රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරු තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර සුදුසු භාරකාරත්වයට පත් කරන ලෙසට ඉල්ලා සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


මිනිස් ශරිරයේ සියළුම අවයව කොටස් පැහැදිලි කරන අවුරුදු 7 ක පාසල් සිසුවිය

(16.05.2023 – 11:53 +0530 – hirunews.lk/sinhala)

මිනිස් ශරිරයේ සියළුම අවයව කොටස් පින්තුර දර්ශනයක් මගින් පැහැදිලි කරන පාසල් සිසුවියක් පිලිබදව බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ දෙවන (2) වසරේ අධ්‍යාපනය හදාරන මෙම සිසුවිය නමින් ‘සංකර්දාස් කංෂිකා’.

කුඩා කල සිටම මිනිස් ශරිරයේ සියළුම කොටස් පිලිබදව හසල දැනුමක් ඇති සංකර්දාස් කංෂිකාට මෙම දැනුමට අමතරව ලෝකයේ සියළුම රටවල් සහ එහි අගනුවරවල් , ශ්‍රි ලංකාවේ රජ පෙලපත පිලිබදව සහ ශ්‍රි ලංකා ධජය සහ රාජ්‍ය ලාංජනය පිලිබදවද පැහදිළි කිරීමට කිරීමට හැකියාවක් පවතිනවා.

ඇයගේ දක්ෂතාවයන් පිලිබදව අදහස් දක්වන පියා වන තංගරාජ් සංකර්දාස් සහ මව වන පාරමනාදන් භාමිණි යන දෙපල පවසා සිටියේ තම වැඩිමහල් දියණියට කුඩා කල සිටම මනා දැනුමක් ඇති බවයි.

දැනට පින්තුර දර්ශන මගින් විදහා දක්වන තරුණු පිලිබදව ඇයට කිසිදු අධ්‍යාපනයක් පාසල තුල හෝ නිවසේදි ලබා දි නොමැති බවයි දෙමව්පියන් වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ ෴


ශ්‍රී ලංකා රුපියල ඉහළ යයි

(16.05.2023 – 12:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙලස ඉහළ ගොස් තිබෙනවා.

එහි අද (16) ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 305.43 ක් ලෙසයි.

විකුණුම් මිල සනිටුහන් වූයේ 318.79 ක් ලෙසයි ෴


WhatsApp භාවිතා කරන අයට අති විශේෂ නව අංගයක් එක් වෙයි

(16.05.2023 – 11:15 +0530 – hirunews.lk/sinhala)

Meta විසින් WhatsApp වෙත නව විශේෂාංගයක් එක් කර තිබෙනවා. එමඟින් පරිශීලකයින්ට විශේෂිත Chat ලොක් කිරීමට ඉඩ සලසා තිබීම විශේෂත්වයක්.

මෙය මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකි බවයි Meta සමාගම පවසන්නේ.

Chat එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කරන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවයි Meta සමාගම සඳහන් කරන්නේ.

මෙම නව විශේෂාංගය හරහා තම Chat රහසිගතව තබා ගැනීමට අවශ්‍ය පරිශීලකයන් සඳහා අමතර ආරක්ෂාවක් සපයනු ලබයි.

මේ හේතුවෙන් යමෙකු ඔබගේ දුරකථනය අතට ගත්ත ද, ඔවුන්ට ඔබගේ අවසරයකින් තොරව ඔබගේ Lock කර තිබෙන Chat වෙත ප්‍රවේශ වීමට හා ඒවා දකින්නට නොලැබෙනු ඇති අතර, එය වට්ස්ඇප් මගින් ලබාදුන් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන සුවිශේෂී අංගයක් ලෙසයි බොහෝදෙනෙක් පවසන්නේ.

මීට අදාල විශේෂ වීඩියෝවක් පහතින් වේ :

මේ අතර මෙටා ආයතනය සතුව පවතින වට්සැප් විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා.

මෙම නව විශේෂාංග තුන වන්නේ, ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත් කිරීම (Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන (Documents with captions)යි.

මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට මෙටා ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෙහි නවතම අනුවාදයක් ස්ථාපිත කළද, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි බව සඳහන් වනවා.

Polls – තනි-ඡන්ද ගණනය කළ හැකි විකල්පයක්. මේ හරහා යම් කරුණු වලට අදාළව නිශ්චිත පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද සඳහන් වනවා.

Forward media with caption – මෙම නව විශේෂාංගය හරහා සිරස්තලයක් සමඟ තොරතුරු වට්සැප් සඳහා නිකුත් කළ හැකියි. මෙයට ඡායාරූප, වීඩියෝ සහ GIF ඇතුළත් වනවා.

Documents with captions – පරිශීලකයින්ට තමන් වෙත ලැබුණු ලේඛනයක් සොයා ගැනීම පහසු කරවීම සඳහා ශීර්ෂ පාඨ සමඟ ලේඛන ඉදිරිපත් කළ හැකිවීම විශේෂත්වයක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *