ඩෙංගු මර්දන කටයුතුවලට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි

ඩෙංගු මර්දන කටයුතුවලට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි


ඩෙංගු මර්දන කටයුතුවලට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි

(15.05.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු මර්දන කටයුතු සඳහා පැමිණෙන සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි පැවැත්වූ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේදී ගතවූ දින දෙක තුළ මදුරු කීටයින් බෝවන ස්ථාන 3,142 ක් හඳුනාගෙන තිබෙනවා.

බස්නාහිර පළාත හා රථවාහන කොට්ඨාසය මගින් සිදුකරන ලද මෙම වැඩසටහනේදී පුද්ගලයින් 3,344 දෙනෙකුට අවවාද කළ බවයි එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ඩෙංගු මර්දන වැඩසටහනට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පළාත්පාලන ආයතන කම්කරුවන්, ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන් සහ වෙනත් පුද්ගලයින් ඇතුලු 7,351 දෙනෙකු එක්ව සිටිනවා.

එමෙන් ම ඩෙංගු රෝගී තත්වය හේතුවෙන් මෙම වසර තුළ මරණ 22 ක් වාර්තාවී ඇති බව‍යි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින්ද ආරියරත්න පවසන්නේ.

කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ මේ වනවිට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 33,742 කු වාර්තාවී ඇති බවයි ෴

+++++++++++

කලාප 59 කට ඩෙංගු අධි අවදානමක්

(15.05.2023 – 21:31 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා විය හැකි අධි අවධානම් කලාප 59 ක් සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ මේ දක්වා සිදු කළ පරීක්ෂා කිරීම්වලදී නිවාස 1,308 කට ඩෙංගු අවදානම සහිත රතු නිවේදන නිකුත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළා.

වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 33,742 ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

ඒ අතරට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7017 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7602 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1984 දෙනෙකු අයත්.

ඩෙංගු රෝගය හේතුවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 22 ක්.

මහනුවර, කෑගල්ල, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසනවා.

+


ලංකා සතොස, කිරිපිටි සහ සීනි මිල අඩුකරයි

(15.05.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ දෙකක (2) මිල අඩුකර තිබෙනවා.

අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06 කින් පහත දැමුනු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243 කට මිලදි ගත හැකි බවයි එම ආයතනය සදහන් කළේ.

එමෙන්ම, ලංකා සතොස ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1080 ක් ෴


නිවසකට පහර දී මුදල් කොල්ල කෑ හමුදා සැරයන්වරයෙක් අත්අඩංගුවට

(15.05.2023 – 14:37 +0530 – hirunews.lk/sinhala)

නිවසකට පහර දී මුදල් කොල්ල කෑ හමුදා සැරයන්වරයෙකු දඹුල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් හමුදා සැරයන්වරයා දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය (13) වන දා මෙම කොල්ල කෑම සිදුව ඇති අතර අද (15) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හමුදා සැරයන්වරයාගේ පහරදීමෙන් රුපියල් ලක්ෂයකට (1,00,000) අධික හානියක් එම නිවෙසට සිදුව ඇති අතර රුපියල් 90,000 කට අධික මුදලක් කොල්ල කා ඇති බව ද දඹුල්ල පොලීසිය පවසනවා ෴


උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව යළි අර්බුදයක

(15.05.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලින් අද (15) සිට ගුරුවරුවත් ඉවත් වූ බව ඇගයීම් කටයුතුවල නිරන ගුරුවරු පවසනවා.

පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 5,000 ක අත්තිකාරම් මුදල අද (15) දක්වාම නොලැබීම් හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නාට්‍ය හා රංග කලාව, පෙරදිග බටහිර කර්ණාටක සංගීතය චිත්‍ර ගෘහ විද්‍යාව පිළිතුර පනු බැලීමෙන් ගුරුවරු ඉන්ට සිටිති. කොළඹ ගම්පහ සහ කුරුණෑගල ඇගයීම් මධ්‍යස්ථානවල මේ වනවිට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නතර වී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ හෙට (16) දිනය වනවිට අවශ්‍ය දීමනා ගෙවීමට පියවර ගෙන ඇති බවයි ෴

+


නොරොච්චෝලේ තුන්වන (3) ජනන යන්ත්‍රය දින 100 කට අක්‍රිය කෙරේ

(15.05.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala)

නොරොච්ච්ලේ ගල් අගුරු බලාගාරයේ තුන්වන (3) ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් සඳහා දින 100 ක කාලයකට අක්‍රිය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ලබන ජුනි මස 13 වැනිදා සිට අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය කරන බවයි.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයට 30 වන ගල් අඟුරු නෞකාව ගොඩබස්වා තිබෙනවා.

ඒ සමඟම මෙම වාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු සම්පූර්ණ වී ඇති අතර අමාත්‍ය කංචන විජේසේකර පැවසූවේ වෘත්තීය සමිති සහ මාධ්‍ය වාර්තා කළ පරිදි විදුලි කප්පාදුවක් සිදුනොවනු ඇති බවයි ෴


විමල්ගේ විරෝධතාවට අදාළ වාචික දේශන ලබන මස 16 වනදා ඉදිරිපත් කරන්නැයි නියෝග

(15.05.2023 – 17:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාවලට අදාල වාචික දේශන ලබන මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළා.

ඒ ඊට අදාල නඩුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණේ.

නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (15) අධිකරණයට පැමිණ සිටියා ෴


අරලගංවිල ශ්‍රී බෝධිමළු විහාරයේ මුදල් සොරකමක්

(15.05.2023 – 17:17 +0530 – hirunews.lk/sinhala)

අරලගංවිල ශ්‍රී බෝධිමළු විහාරයේ ආවාස ගෙය කඩා මුදල් සොරාගත් විහාරස්ථාන දායක සභාවේ සාමාජිකයෙකු සොයා අරලගංවිල පොලිසිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ආවාසගෙයි අල්මාරියක් තුළ තිබී රුපියල් ලක්ෂ තුනකට (3) අධික මුදලක් එම පුද්ගලයා විසින් සොරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් තායිලන්තයේ සංචාරයක් සඳහා මෙම මුදල් එක්රැස් කරගෙන සිට ඇති බවට ද වැඩිදුරටත් කරුණු අනාවරණය වී තිබෙනවා.

මුදල් සොරා ගත් බව කියන දායක සභාවෙ සාමාජිකයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අරලගංවිල පොලීසිය විමර්ශන සිදුකරනවා ෴


ජුලි 01 වැනිදා සිදුකෙරෙන විදුලි ගාස්තු සංශෝධන අද (15) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසමට

(15.05.2023 – 18:32 +0530 – hirunews.lk/sinhala)

ජුලි 01 වැනිදා සිදුකෙරෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන ලංවිම යෝජනාව අද (15) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ ප්‍රතිපත්ති තීරණ සහ ගාස්තු පිරවීමේ අවශ්‍යතා අනුව සෑම වසරකම ජනවාරි 01 සහ ජූලි 01 යන දෙදින තුළ ගාස්තු සංශෝධනය කිරීමට ලංවිම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවන්නේ ෴


නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17)

(15.05.2023 – 18:32 +0530 – hirunews.lk/sinhala)

ජනපති නියමයෙන් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙනවා.

නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17) සිදු කිරීමට නියමිතයි ෴


සිසුන්ගෙන් මුදල් සහ ජංගම දුරකථන කොල්ලකෑ දෙදෙනෙකු (2) සොයා විමර්ශන

(15.05.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

උපකාරක පන්ති යන බව පවසා විනෝද ගමනක් ගිය සිසුන්ගෙන් මුදල් සහ ජංගම දුරකථන කොල්ලකෑ දෙදෙනෙකු (2) සොයා අවිස්සාවේල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි සිසුන් පිරිසක් උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසා නිවෙස්වලින් පිටත්ව ගොස් තිබූ අතර ඔවුන් පන්තිවලට සහභාගී නොවී අවිස්සාවේල්ල වෙහෙර කඩගල විහාරස්ථානයේ කඳු ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබුණා.

එම ස්ථානයට පැමිණි යකඩ පොලු රැගත් දෙදෙනෙකු (2) විසින් සිසුන් දණ ගස්වා ජංගම දුරකථන සහ මුදල් රැගෙන පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

අවිස්සාවේල්ල පොලිසිය විසින් මෙම සිසුන්ගේ භාණ්ඩ සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු (2) හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරනවා ෴


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට මැදිහත් නොවන බව IMF පවසයි

(15.05.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)

වාණිජ ණය හිමියන් සහ ශ්‍රී ලංකාව අතර වන ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බව එම අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් ප්‍රකාශ කළා.

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ සහභාගිත්වයෙන් අද (15) පස්වරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළකළේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වන විට මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් කියා සිටියා.

එහිදී මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පොලි අනුපාතය සහ අනෙකුත් රටවල පිරිනමා ඇති පොලී අනුපාතයමද යන්න ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ණය පහසුකමෙහි පොලී අනුපාතය 2037 වසර තෙක් ඇස්තමේන්තු ගතකර ඇත්තේ 5% ක් ලෙස බවයි.

මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (15) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *