කොළඹ නගරයේ ස්ථාන රැසක ආරක්ෂාව අදත් දැඩි වේ

කොළඹ නගරයේ ස්ථාන රැසක ආරක්ෂාව අදත් දැඩි වේ


කොළඹ නගරයේ ස්ථාන රැසක ආරක්ෂාව අදත් දැඩි වේ

(14.05.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂාව භාර රජයේ ඉහළ ප්‍රධානියෙකු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ, කොළඹ විශ්වවිද්‍යාලය මුල් කරගනිමින් රජයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට රජයේ ඉහළම අංශ වෙත ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් තවදුරටත් මෙලෙස ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

එම බලපෑම කොළඹ විශ්වවිද්‍යාලය මුල් කරගෙන ක්‍රියාත්මක වන බවට එම බුද්ධි තොරතුරේ සඳහන්ව ඇතැයි, ආරක්ෂාව භාර රජයේ ඉහළ ප්‍රධානියෙකු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.

එම හේතුව මත කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසකට, පොලිසියට අමතරව, ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකයද යොදවා තවදුරටත් ආරක්ෂාව තරකිරීමට පියවර ගත් බව අදාළ ප්‍රධානියා සඳහන් කළා.

ආරක්ෂාව භාර අදාළ ප්‍රධානියා පැවසුවේ, මෙලෙස ගත් ආරක්ෂක පියවර හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය මුල් කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සාහය මේ වනවිට නැවතී ඇති බවයි.

+


ශ්‍රී ලංකා ගුවන් සේවය රුපියල් බිලියන 165 ක් පාඩු ලබයි

(14.05.2023 – 20:52 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525 ක පාඩුවක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 165 ක් පමණ අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගතය අවසන් වීමෙන් පසු 2022 වසරේ ගුවන් සේවා කර්මාන්තයට හොඳ කලක් උදා වුවත් එම වසරේ පාඩු ලැබූ ගුවන් සේවා තිබෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන් එක් සේවයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේදී අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව තුන් (3) ගුණයකින් වැඩි වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ ෴


නීතිවිරෝධී යතුරුපැදි තරගයක යෙදුණු 8 ක් අත්අඩංගුවට

(14.05.2023 – 22:14 +0530 – sinhala.adaderana.lk)

බම්බලපිටිය මුහුදු මාර්ගයේ නිසි අවසරයකින් තොරව යතුරුපැදි ධාවන තරගයක නියැලුණු තරුණයින් 8 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම යතුරුපැදි 5 ක් ද එම කොට්ඨාස නිලධාරින් සිය භාරයට ගෙන ඇත.

බම්බලපිටිය මුහුදු මාර්ගයේ එම යතුරුපැදි ධාවන තරගය සංවිධාන කර තිබුණි.

කොළඹ අපරාධ කොට්ඨාසය පවසන්නේ TikTok මගින් අද (14) අලුයම් කාලයේ තරුණයින් මීට කැඳවාගෙන ඇති බවය.

එමෙන්ම නීතිවිරෝධී ලෙස යතුරුපැදි ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඔවුන් TikTok සමාජ මාධ්‍යට එක්කර තිබුණි.

මාර්ගයේ ධාවනය වූ රථවලට සහ පදිකයින්ට බාධා වන අයුරින් යතුරුපැදි විශාල ප්‍රමාණයක් එලෙස මාර්ගයේ ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

ඇත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 17 – 23 ත් අතර පසුවන්නන්ය.

+


ඩොලර් හොයන්න තාම වැඩපිළිවෙළක් නෑ – ධම්මික පෙරේරා

(14.05.2023 – 21:47 +0530 – sinhala.adaderana.lk)

තවමත් මෙරටට තුළ ඩොලර් සෙවීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

අද (14) මිද්දෙණියේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඒ බව සඳහන් කළේය.

“ලංකාවේ බදු ක්‍රමය මේ වගේ තත්ත්වයට ඇතිවෙලා තියෙන්නේ ඇයි? ඩොලර් හිඟයත් එක්ක ආනයන අඩුවෙලා තියෙනවා. එතකොට ආනයන අඩු වුණාට පස්සේ ‘කස්ටම් ඩියුටි’ එක ගහන ඒ මුදල් අඩුවෙලා තියෙනවා. ඒ මුදල් අඩු වුණාට පස්සේ ඒ මුදල් ටික හොයාගන්න අනෙක් තැන්වලින් බදු වැඩිකරලා තියෙනවා. එතකොට ඒක තමයි මූලික දේ. මෙකේ මූලිකම ප්‍රශ්නය ඩොලර් නැතිකම නේ. එතකොට ඩොලර් නැතිකමට ඩොලර් හොයන්න වැඩපිළිවෙළක් තවමත් නැහැ.”

+


රෝහලට යන්න ගිය කැබ් රථය ඇළට යයි – CCTV

(14.05.2023 – 16:46 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුරය, රාජාංගනය යාය 5 ප්‍රදේශයේ දී කැබ්රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයක් අසල ඇති ඇළකට පෙරළී යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබේ.

උදෑසන 06:45 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් කැබ් රථය පදවාගෙන ගිය තරුණයාට කිසිදු අනතුරක් සිදුවී නොමැත.

දරුවෙකු ප්‍රසුත කිරීම සඳහා රෝහල්ගතව සිටින සිය බිරිඳට ආහාර රැගෙන යන අතරතුර එම තරුණයා එම අනතුරට ලක්ව තිබුණි.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තඹුත්තේගම පොලීසිය මගින් සිදුකරනු ලබයි.

https://www.youtube.com/watch?v=WKZLTazrboQ

+


කොස්ලන්ද සිද්ධියට අදාළව දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(14.05.2023 – 12:33 +0530 – hirunews.lk/sinhala)

කඳවුරු බැඳ සිටිය දී වල් අලි ප්‍රහාරයකට ලක්ව මියගිය තරුණියට සහ ඇගේ පෙම්වතාට එම ස්ථානයේ කඳවුරු බැඳීමට ආධාර උපකාර කළ දෙදෙනකු (2) කොස්ලන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුතලේ සහ පූනැගල තුන්වැනි (3) අදියර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (14) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


කළුතර සිසුවියගේ මරණයට අදාළ ලැඟුම්හලේ ඉදිකිරීම නීති විරෝධීයි – නාගරික සංවර්ධන අධිකාරිය

(14.05.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අදාළ ලැගුම්හල ඉදිකර ඇත්තේ නීති විරෝධීව බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, ඊට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණංතුංග එම අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.

මීට පෙර අමාත්‍යවරයා විසින් අදාළ ලැඟුම්හලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවනු ලැබුවා.

අදාළ ගොඩනැගිල්ල ඉදි කිරීමේදී අනුමත උපරිම බිම් සැලැස්ම ඉක්මවා ඇති බවත්, ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූළ නොවීමත් සහ පිටුපස අවකාශය, අලෝකය සහ වාතාශ්‍රය සඳහා වන රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවත් අදාළ පරීක්ෂණ අදාළ වාර්තාවේ සඳහන්ව තිබුණා.

ඒ අනුවයි අදාළ ඉදිකිරීම නීතිවිරෝධී බවට තීරණය කර ඇත්තේ ෴


ෆාතිමා මුනව්රාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14)

(14.05.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

රැකියා ස්ථානයට යමින් සිටිය දී ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ ෆාතිමා මුනව්රාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) මහනුවර ජාතික රෝහලේ දී සිදු කෙරෙනවා.

ඇයව ඝාතනය කර තිබුණේ, එම ප්‍රදේශයේම එළුවන් බලා ගන්නා රැකියාවක නිරත තරුණයෙක්.

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ ෆාතිමා මුනව්රාගේ දේහය එම ප්‍රදේශයේම ළඳු කැලෑවක වළ දමා තිබියදී ගොඩගත්තේ, ඝාතනය කළ 24 හැවිරිදි තරුණයාගේ පාපොච්චාරණයට අනුවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ෆාතිමාගේ දේහය මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගිය අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) පැවැත්වෙන බව පොලිසිය ප්‍රකාශ කළා.

අදාළ තරුණිය ඝාතනයට ලක්ව තිබුණේ පසුගිය ඉරිදා, රැකියාවට යමින් සිටින අවස්ථාවේදීයි.

එම ප්‍රදේශයේම එළුවන් බලා ගන්නා රැකියාවේ නිරත තරුණයෙකු මෙම ඝාතනය කර තිබු අතර, තරුණිය අතවරයට ලක් කිරීමට උත්සාහ කළද ඇය ඊට විරුද්ධ වූ නිසා ඝාතනය කළ බව, ඝාතකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ පාපොච්චරණයේදී පවසා තිබුණා.

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරු රඳවා තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව අප කළ විමසීමකදී පොලිසිය ප්‍රකාශ කළා.

+


ඝාතනය වූ ෆාතිමාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වේ

(14.05.2023 – 18:19 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය ලක් වූ ෆාතිමා නැමති තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තෙබෙනවා.

මහනුවර ශික්ෂණ රෝහලේ දී ඇගේ මරණ පරීක්ෂණය සිදු කළ බව සඳහන්.

එහි දී අනාවරණය වී ඇත්තේ ඇය දූෂණයට ලක් වී නොමැති බවයි.

ඇගේ ගෙල සිර කිරීමෙන් මෙම මරණය සිදු වූ බවට එම වාර්තාවේ සඳහන්.

ඇගේ මරණයට සැකකරු ලෙස අත් අඩංගුවට ගත් එම ප්‍රදේශයේ එළුවන් බලා ගන්නා තාරුණයා ෆාතිමාගේ ඝාතනය පිළිවඳ පාපොච්චාරණය කර තිබෙනවා.

ඇගේ අවසන් කටයුතු අද (14) පස්වරුවේ වැලිගල්ල ඇල්පිටිය මුස්ලිම් පොදු සුසාබ භූමියේ දී සිදු කෙරුණේ සියලු දෙනාගේ ම ඇසට කදුළක් එකතු කරමින් ෴

+++++++++

ගම්පොල තරුණිය ඝාතනයේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

(14.05.2023 – 18:50 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල – ඇල්පිටිය ප්‍රදේශයේ තරුණිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද (14) දින ගම්පොල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

+

මේ අතර, පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් තඹුත්තේගම – හුරිගස්වැව ප්‍රදේශයෙන් අද (14) වාර්තා වුණා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ තුසිත කුමාර සෝමපාල හෙවත් ‘කට්ටා’ නමැති අයෙක්.

+

එමෙන්ම, වාරියපොල – මිනුවන්ගැටේ – වල්පාළුව ප්‍රදේශයේ වතුර වලක තිබී පසුගියදා සොයා ගත් තරුණයන් දෙදෙනා (2) ජිවිතක්ෂයට පත්ව ඇත්තේ විදුලිසැර වැදීමෙන් බවට අනාවරණ වී තිබෙනවා. ඒ ඊයේ (13) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්.

මෙම තරුණයින් දෙදෙනා (2) දින කිහිපයක සිට අතුරුදන්ව සිටි අතර පසුව ඔවුන්ගේ සිරුරු මෙලෙස වතුර වලක තිබී හමුවුණා.

පොලීසිය සඳහන් කළේ සතුන්ට අටවා තිබූ විදුලි රැහැනක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට ද හෙළි වී ඇති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *