නුවරඑළිය රෝහලේ රෝගීන්ගේ පෙනීම අහිමිවීම ගැන පරීක්ෂණයක්

නුවරඑළිය රෝහලේ රෝගීන්ගේ පෙනීම අහිමිවීම ගැන පරීක්ෂණයක්


නුවරඑළිය රෝහලේ රෝගීන්ගේ පෙනීම අහිමිවීම ගැන පරීක්ෂණයක්

(06.05.2023 – 14:56 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුටම පෙනීම අහිමි වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

රෝගීන් පවසන්නේ අදාළ ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු තමන්ට ඇස් නොපෙනීම නිසා යළි රෝහලට ඇතුළත්වීමට සිදුවූ බවයි.

එලෙස නුවරඑළිය රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලින් අනතුරුව පෙනීම අහිමිවී ගිය තවත් රෝගීන් 06 දෙනෙකු පමණ ප්‍රතිකාර ගන්නා බවයි වාර්තා වන්නේ.

ජාතික අක්ෂි රෝහලේ ඖෂධයක් භාවිත කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් පසුගියදා තාවකාලිකව එහි ශල්‍යකර්ම සිදුකිරීම නතර කෙරුණා.

ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ඖෂධය භාවිත කිරීමෙන් පසු මෙම සංකූලතාවය ඇති වූ බව සඳහන්.

එම ඖෂධ සාම්පල, ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීමෙන් පසු මතභේදයට තුඩුදුන් අදාළ ඖෂධ කාණ්ඩය රෝහල්වලින් ඉවත් කිරීමටද පියවර ගනු ලැබුවා ෴


රිදීමාලියද්ද දෙහිගම ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

(06.05.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)

රිදීමාලියද්ද දෙහිගම ප්‍රදේශයේදි පුද්ගලයෙකු ඝාතනය කර ලඳු කැලෑවක සඟවා තිබියදි සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.

ඝාතනයට සම්බන්ධ සැකකරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහියංගනය පරගම්මන ප්‍රෙද්ශයේ සිට පසුගිය තුන්වැනිදා (03) රිදීමාලියද්ද දෙහිගම ප්‍රදේශයට ගවයින් වෙළදාම සදහා පැමිණි පුද්ගලයෙකු අතුරුදන් වි ඇති බවට ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එලෙස අතුරුදන්ව සිටියේ අවුරුදු 62 ක් වයසැති මොහොමඩ් අබ්දුල් ෂාපූර් නමැති සිව්දරු (4) පියෙකු වන අතර, ඒ වන විට ඔහු සතුව රුපියල් ලක්ෂ හතරක (4) මුදලක් තිබි ඇති බව ද ඥාතීන් පොලීසියට පවසා තිබෙනවා.

ඒ අනුව රිදිමාලියද්ද පොලීසියේ මැදිහත් වීමෙන් පොලිස් නිල සුනඛයින්ද යොදාගනිමින් පරීක්ෂණ ආරම්භ කළා.

අතුරුදන්ව සිටි පුද්ගලයා පැමිණි යතුරු පැදිය දෙහිගම උලැල්ල ප්‍රෙද්ශයේ කැලෑවක සගවා තිබියදි සොයාගත්තා.

වැඩිදුරටත් කළ විමර්ශනවලදි අනාවරණ වි ඇත්තේ එම පුද්ගලයා දෙහිගම ප්‍රෙද්ශයේ නිවසකට පැමිණ ඇති බවයි.

ඒ අනුව එම නිවසේ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් කළ ප්‍රශන් කිරීම්වලදි සිද්ධියේ සුළ මුල සොයා ගැනීමට පොලීසියට හැකිවුණා.

එහිදි අනාවරණ වි ඇත්තේ අදාළ පුද්ගලයා ඝාතනය කර ප්‍රදේශයේ ලඳු කැලැවක සැඟවු බවයි.

ඒ අනුව සැකකරු ද සමග එම ප්‍රදේශයට ගිය පොලීසියට ඝාතනය සදහා යොදාගත් කැත්ත, ඝාතනයට ලක්වු පුද්ගලයාගේ ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය සැකකරුගේ නිවස ආසන්නයේ වලදමා තිබියදි සොයාගැනීමට හැකි වී තිබෙනවා.

සැකකරුගේ පාපොච්චාරණයට අනුව රිදිමාලියද්ද උණගොඩකන්ද රක්ෂිතයේ කුඩා දොල පහරක සඟවා තිබූ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ සිරුර ද සොයා පොලීසිය ගත්තා.

37 හැවිරිදි සැකකරු පොලීසියට පවසා ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ ගවයින් දෙදෙනෙකු (2) තමන් බලාගන්නා බවත්, ඊට අදාළ කුලියෙන් රුපියල් 3000 ක් ඉල්ලු අවස්ථාවේදි ඇති වු බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පහරදීමක් සිදුකළ බවයි.

සිරුර ගොඩගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලීසිය සදහන් කළා ෴


කාන්තාවක් දූෂණය කළ තරුණයෙක් අත්අඩංගුවට

(06.05.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පොහෝ දිනයේ තම නිවසේ සිල් සමාදන් වෙමින් සිටී 47 හැවිරිදි කාන්තාවක් දූෂණයට කළ 27 හැවිරිදි තරුණයෙකු වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයා වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දූෂණයට ලක් වූ කාන්තාව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව වැලිකන්ද පොලීසිය සඳහන් කළා.

වතුර වීදුරුවක් ඉල්ලමින් නිවසට පැමිණ ඇති මෙම තරුණයා නිවසේ කිසිවෙක් නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව අදාළ කාන්තාව දූෂණයට ලක් කර ඇති බව‍යි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී කාන්තාවගේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණි ප්‍රදේශවාසීන් විසින් සැකකාර තරුණයා අල්ලාගෙන ඇති අතර තරුණයාගේ පියා පැමිණ තරුණයා මුදවාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් එම තරුණයා සහ පියා වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ෴


නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පිරිසක් නාවික හමුදා භාරයට

(06.05.2023 – 15:11 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයන් 20 දෙනෙකු නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය සහ එම කලපු ප්‍රදේශයේ ඊයේ (05) සවස සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

මොවුන් නීතිවිරෝධීව අධි ආලෝක ධාරා යොදා ගනිමින් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතුවල නිරතව සිට ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඩිංගි යාත්‍රා 8 ක් සහ ධීවර ආම්පන්න සමග නාවික හමුදා භාරයට ගත් මෙම ධීවරයන් අවුරුදු 19 ත් 59 ත් අතර වයසේ පසුවන පුල්මුඩේ, ත්‍රිකුණාමලය, මන්නාරම, මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ ෴


පස්සර – මඩොල්සිම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (06) පස්වරුවේ යථා තත්ත්වයට

(06.05.2023 – 15:16 +0530 – hirunews.lk/sinhala)

අධික වැසිත් සමඟ පස්සර – මඩොල්සිම – පිටමාරුව ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනාගමනය අවහිර වී තිබූ මාර්ගය අද (06) පස්වරුව වනවිට යථා තත්ත්වයට පත් කළ හැකි බව පොලීසිය පවසනවා.

කුරුවිගොල්ල පාලම ආසන්නයේ පෙරේදා (04) දින රාත්‍රියේ එම ස්ථානය නාය යාමට ලක්වූ අතර ඊයේ (05) එම මාර්ගයට ගල් කිහිපයක් කඩාවැටී තිබුණා ෴


මූල්‍ය වංචාවක් සිදු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(06.05.2023 – 16:21 +0530 – hirunews.lk/sinhala)

ප්‍රංශයට යවන බව පවසා තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටියකට (1,00,00,000) වැඩි මුදලක් සහ ගුවන්ගමන් බලපත්‍ර වංචනිකව ලබා ගත් පුද්ගලයෙකු කටුනායක පොලීසිය අද (06) අත්අඩංගුවට ගත්තා.

46 හැවිරිදි ඔහු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

මොහුට එරෙහිව කටුනායක පොලීසියට පැමිණිලි 8 ක් ලැබී තිබූ අතර, පොළොන්නරුව, වීරගුල, රාගම ඇතුළු පොලිස් ස්ථාන රැසකට ද පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව‍යි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


ඔක්ස්සිජන් සිලින්ඩර සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

(06.05.2023 – 16:24 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව මහ රෝහලේ පිරවු හා හිස් ඔක්ස්සිජන් සිලින්ඩර් අසූවක් (80) සොරකම් කර පිට පළාත්වලට විකුණු එම රෝහලේ ඔක්ස්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහායකයා ඇතුළු හයදෙනක් (6) අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම සිලින්ඩර පටවා තිබූ ලොරි රථයක් සමඟ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවා පොළොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන පුද්ගලයෙක්.

එමෙන්ම අනෙක් සැකකරුවන් හෙයියන්තුඩුව සහ රාජගිරි‍ය ප්‍රදේශයේ පදිංචි ඔක්ස්සිජන් සිලින්ඩර් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වලට සැපයුම් කරන පුද්ගලික ආයතනයක සේවකයින් බවයි පොලිසිය සඳහන් කළේ.

පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකට අනුවයි අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහයකයා එක් (1) ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 30,000 ටත් 40,000 කටත් අතර මිලකට පෞද්ගලික ඔක්සිජන් සැපයුම්කරුවන්ට අලෙවි කර ඇතැයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

+


කොළඹට ජල කප්පාදුවක්

(06.05.2023 – 18:44 +0530 – hirunews.lk/sinhala)

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටවන බැවින් 2023 මැයි මස 08 වනදා සඳුදා පෙ.ව. 10:00 සිට එදින රාත්‍රි 06:00 දක්වා පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණඩලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියළු අතුරු මාර්ගවල ජල සැපයුම මැයි 08 වන දින අත්හිටවන බවයි වාර්තා වන්නේ.

මෙම ජල සැපයුම අත්හිටු වීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර තිබෙනවා ෴


මට්ටක්කුලිය ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙක් (1) අත්අඩංගුවට

(06.05.2023 – 19:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මට්ටක්කුලිය පොලිස් වසමේ කුඹි කැලේ ප්‍රදේශයේ දි පුද්ගලයෙකු (1) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සතුව මයික්‍රෝ ගිණි අවියක්, පතුරන් ගැබක්, එම ගිණි අවියට යොදන උන්ඩ 10 ක්, හෙරොයින් ග්‍රෑම් 15 ක්, ජංගම දුරකථන 2 ක් තිබී ඇති බව සඳහන්.

මේ පිළිබඳ මට්ටක්කුලිය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


බලංගොඩ පුද්ගලයෙකු (1) දින 4 ක සිට අතුරුදන්

(06.05.2023 – 19:12 +0530 – hirunews.lk/sinhala)

බලන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් පසුගිය 03 වැනිදා පෙරවරුවේ සිට අතුරුදන්ව සිටිනවා.

අතුරුදන්වූ පුද්ගලයාගේ පියා පැවසුවේ තම පුත්‍රයා නිවසේ නිදා සිටියදි ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව නිවසින් බැහැරට ගිය බවයි.

එලෙස නිවසින් බැහැරව ගිය ඔහු අද (06) වනතුරුත් යළි පැමිණ නැහැ.

මේ සම්බන්ධයෙන් ඔහුගේ හිතවතුන් විසින් බලංගොඩ පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව පොලිස් නිල සුනඛයින්ද යොදාගනිමින් අතුරුදන් වු පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළත් මෙතෙක් ඔහු සොයාගැනීමට හැකි වී නැහැ.

මෙම පුද්ගලයා අතුරුදන් වු බලන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ මීට වසර පහකට (5) පෙර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටීමට නියමිතව සිටි දරුවෙකු ද අතුරුදන් වු අතර අද වනතුරුත් එම දරුවාද සොයා ගැනීමට හැකියාව ලැබී නොමැති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *